හිනා නොවී කැතට සින්දු කියන - ට්‍රැෆික් මයික්



අපි පාරට බැස්සොත් නිතරම බනින්නේ ට්‍රැෆික් ලයිට් වලට. මොකද පාරෙ අපිට ඕනෑ විදිහට යන්න බෑනෙ” මේ ට්‍රැෆික් ලයිට් හින්දා. හැබැයි අද අපි කතා කරන්න හදන්නේ ඔය කියන ට්‍රැෆික් ලයිට් ගැන නම් නෙමෙයි. මේ දවස්වල සමාජ මාධ්‍යවල හරි හරියට ජනප්‍රිය ට්‍රැෆික් මයික් ගැන. හිනා නොවී කැතටයි ලස්සනටයි සින්දු කියන මේ දෙන්නව මහපාරට බැස්සහම නිතර දකින්න ලැබෙනවා. අමුතු විදිහට පාරෙ සින්දු කියන ලක්ෂාන් සහ ඔෂෙන්ලා හඳුන්වන්නේ ට්‍රැෆික් මයික් කියලයි. 

ත්තටම මොකක්ද මේ ට්‍රැෆික් මයික් කියන්නේ?

අපිට ස්ටී්‍රට් මියුසික් කන්සෙප්ට් එක ලංකාවට ගේන්න වුවමනාවක් තිබුණා. ඒකට පාර කපා ගන්න හදපු වැඩේ තමයි ට්‍රැෆික් මයික් කියන්නේ.

මේක කාගෙ අදහසක්ද?

මම ලක්‍ෂාන්. මම තමයි ඔය සින්දු කියන්නේ. මෙහෙම දෙයක් කරමු කියලා මුලින්ම යෝජනාව අරගෙන ආවේ මම. පාරෙ ගිහිල්ලා සින්දු කියන්න අපිට පොඩි ලැජ්ජාවක් තිබුණා. අන්තිමේ ඔෂෙන් වැඩේට කැමැති වෙලා වැඩේ පටන් ගත්තා.

සෙනඟ මැද්දට ගිහිල්ලා මේ වැඩේ කරමු කියලා කිව්වේ කවුද?

මම තමයි යෝජනා කළේ. මේ වගේ ගොඩක් දේවල් පිටරට තිබෙනවා. ලංකාවට මේක තවම අලුත්. මුලින්ම සෙනඟ මැද්දට ගිහිල්ලා කැතට කියලා අන්තිමේ සින්දුව හොඳට කියන්න පටන් ගත්තා.

හිනා නොවී කැතට කොහොමද සින්දු කියන්නේ?

මුලදී නම් හිනා නොවී කියන්න බැරිවුණා. මුල්ම කාලෙ මගේ දිහා බලලා එක්කෙනක් හිනාවෙන්න පටන් ගත්තා. ඒ වෙලාවෙ මටත් ඇත්තටම සින්දුව කියාගන්න බැරිවුණා. ඒ වෙලාවෙ වැඩේ කරන්නේ නැතිව අකුලගෙන ආපු අවස්ථාත් නැතිවම නෙමෙයි. දැන්නම් වැඩේ පුරුදුවෙලා හින්දා අවුලක් නෑ.

ඔහොම සින්දු කියන්න ගිහිල්ල බැණුම් අහපු අවස්ථාත් තියෙනවාද?

බැණුම් අහපු අවස්ථා නම් අඩුයි. බැණුම් අහල අපි ගුටිකන්න කලින් සින්දුව ලස්සනට කියලා එතැනින් මාරුවෙන හින්දා වැඩේ අවුලක් වෙලා නැහැ.

මුල් කාලෙ කෝච්චියෙත් සින්දු කිව්වා නේද?

ඔව්” එහෙම කළා. නමුත් කොච්චියේ සද්දෙත් එක්ක එතැන ඉන්න අයට බාධාවක් වන හින්දා අපි ඒ වැඩේ කරන්න ගියේ නැහැ.

 මේ වැඩේ පිටිපස්සෙ ඉන්න කට්ටිය කවුද?

මගේ යාළුවො තමයි ඔක්කොම ඉන්නේ. මගේ පිස්සු වැඩවලට සපෝර්ට් කරන සෙට් එකක් ඉන්නවා. අපි දෙන්න විතරක් වීඩියෝ එකේ හිටියට මෙතැන ලොකු පිරිසක් ඉන්නවා. සින්දු අහන කට්ටියගේ ප්‍රතිචාර එක කැමරාවකට හසුකරගන්න එක තමයි වැදගත්ම දේ. ඒක කරන්න හරිම අමාරු වැඩක්. කැමරා කරන්නත් අපිත් එක්ක හයදෙනෙක් විතර යනවා.

ගීතවල මුල් ගායකයෝ බැණපු අවස්ථා තියෙනවා ද?

ගීතවල මුල් ආර්ටිස්ට්ලා අපිට එහෙම බැණල නැහැ. මම කියන්නෙ අපි ඒ ගීතවලට කරන්නේ අපහාසයක් නෙමෙයි කියලයි. අවධානය ගන්න තමයි අපි එහෙම කරන්නේ.

 ගායනය ඔබලාගේ වෘත්තිය ද?

අපි දෙන්නම වෙන රස්සාවක් කරන ගමන් තමයි මේ වැඩේ කරන්නේ. ඉස්සරහට වෘත්තියක් විදිහට ගායනය කරන්න අදහසක් තියෙනවා.

 මේ වෙනකොට ගීත කීයක් අප්ලෝඩ් කරලා තියෙනවා ද?

යූටියුබ් වීඩියෝ තුනක් අප්ලෝඩ් කරල තිබෙනවා. කෙටි වීඩියෝ අටක් අප්ලෝඩ් කරල තියෙනවා. ඉතිං අද වෙනකොට සබ්ක්‍රයිබර්ස්ලා ලක්‍ෂයේ සීමාව පසුකරලා තියෙනවා. වීඩියෝ තුනකින් මෙච්චර ආදරයක් ලැබීම ඇත්තටම සතුටුයි.

 ඉස්සරහට මොනවද කරන්න හදන්නේ?

ස්ටී්‍රට් මියුසික් කියන කන්සෙප්ට් එක පිටරටවල තියෙනවා. අපේ රටේ තවම ඒ සංස්කෘතිය නෑ. ඒකට ඉඩක් හැදිලත් නෑ. අපිට ඕනැ වුණේ ස්ටී්‍රට් මියුසික් කියන කන්සෙප්ට් එකට තල්ලුවක් දෙන්න” ඉඩක් හදන්න. අපේ ලොකුම බලාපොරොත්තුව ඒක තමයි.

මේ කන්සෙප්ට් කරන්න ගිහිල්ල පොලිසියෙන් බැණුම් ඇහැව්වෙ නැතිද?

මුලදී නම් වැඩේ කරන්න යද්දි බයවුණා. මොකද පොලිසියෙන් අවසරයක් ගන්න වෙයිද කියලත්. ඒ හින්දම අපි පොලිසියට ගියා අවසරයක් ගන්න. පොලිසියේ මීටින් එකක් තිබුණ හින්දා ඒ අවසරය ගන්න බැරිවුණා. අන්තිමේ අපි වෙන තැනකට ගිහිල්ලා වැඩේ කළා.

එක දවසක් නම් අපි වාහනය රෝන් සයිඩ් නවත්වල ෂූට් කරන්න ගිහිල්ලා එදානම් පොඩි දඩයක් කන්න වුණා.

දිනේෂ් විතාන





Previous Post Next Post