අළු චරිතයක් නෙවෙයි මට ඕන කළු චරිතයක්-සචින් ලියනගේ




කියාදෙන්න ආදරේ තරම්‘ කියන්නේ තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබමින් විකාශය වන ටෙලි නිර්මාණයකි. සචින් ලියනගේ එහි අභියෝගාත්මක ද්විත්ව රංගනයක නියැළෙන්නේ නිර්වාන් සහ අනුත්තර ලෙසින් ප්‍රධාන භූමිකාවට පණ පොවමිනි. මියුසික් වීඩියෝ හරහා කලාවට අත්පොත් තැබූ සචින් අහස් මාළිගා ටෙලි නිර්මාණයෙන් රංගන දිවියේ දොරගුළු විවර කර ගත්තේය. නව පරපුරේ, දක්ෂ රංගන ශිල්පියකු වන ඔහු වෙනුවෙනුයි මේ ඉඩකඩ.


කොහොමද සචින් මේ දවස්වල වැඩකටයුතු?


කියාදෙන්න ආදරේ තරම් බොහෝදුරට මේ අවුරුද්දෙ අවසන් වේවි කියලා හිතනවා. ඒක නැවතත් රේටින් වෙන්න පටන් අරන්. ඒ කොහොම වුණත් දෙසැම්බර් වෙද්දි මං ඒකෙන් ඉවත් වෙන්න තීරණය කළා. වෙනත් නිර්මාණයකට දායක වෙන්න තියෙන කාලය දැන් පහුවෙලා කියලත් හිතෙනවා. ජානු ටෙලි නිර්මාණයත් මේ දිනවල රේටින්ස්වල ඉහළින්ම ඉන්නවා. තව අලුත් නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබිලා තියෙනවා. ඒ වගේම වාසව බදුගේගේ විසල් ආදරේ සිනමාපටයේ වැඩක් මේ දිනවල කෙරීගෙන යනවා.


නිර්වාන්ගේ චරිතය ප්‍රේක්ෂකයන් ගොඩක් ආදරෙන් වැලඳගෙන නේද?


මට හිතාගන්න බැරි තරම් ප්‍රතිචාර ලැබෙනවා. වයස් භේදයකින් තොරව හැමෝගෙම ආදරය ලැබෙනවා. සචින් කියන කෙනා ගැන ගොඩක් අය දැන ගත්තෙ කියාදෙන්න ආදරේ තරම් නිසා. නිර්වාන් ගැන නොදන්න කෙනෙක් නැති තරම්. මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය නිර්වාන් කිවුවත් හරි.


කියාදෙන්න ආදරේ තරම්හී ඔබ ද්විත්ව චරිතයක් කරන්නේ. ආධුනිකයෙක් විදිහට ඒක ඔබට අභියෝගයක් වුණේ නැද්ද?‍


ෂූටින් ගියාට පස්සෙ තමයි මාත් දැනගත්තෙ මේක ද්විත්ව චරිතයක් කියලා. මුලින් වෙනත් කෙනෙක් යොදාගන්න ඉඳල තියෙන්නෙ. අන්තිමට මටම කරන්න කිවුවා. මාත් හිතුවා මේක මගේ පළවෙනි මේන් රෝල් එක නිසා ඒ අභියෝගය භාර ගන්න. ගොඩක් අය මට උදවු කළා කැරැක්ටර්ස් බිල්ඩ්අප් කර ගන්න. කොහොමත් ද්විත්ව චරිතයක් කරනව කියන්නේ ලොකු අභියෝගයක්. එක කැරැක්ටර් එකක බොඩි ලැන්වේජ් එක අනිත් එකට ගෙනියන්න බෑ. කටහඬත් වෙනස් කරගෙන හරි පරිස්සමට මං අනුත්තරගේ කැරැක්ටර් එකටත් සාධාරණයක් කළා කියලා හිතෙන්නේ ලැබෙන ප්‍රතිචාරත් එක්ක.


ඔබ කොතරම් හොඳට නිර්වාන්ගෙ කැරැක්ටර් එක කළා ද කියනව නම් බොහෝ දෙනා ඔබයි ශලිනියි සැබෑ ලෝකෙදිත් ප්‍රේමවන්තයින් කියලා හිතුවා ?


සාමාන්‍යයෙන් ඕනෙම රටක කතාවක් යද්දි ඒ කතාවෙ ප්‍රධාන චරිත කතාවට විතරක් නෙවෙයි එළියෙදිත් ඒ විදිහට දකින්න තමයි ප්‍රේක්ෂකයො කැමැති. හොලිවුඩ් ද බොලිවුඩ් ද ලංකාවෙ ද කියන එක ඒකට අදාළ නෑ. ඒක එයාලගෙ වරදකුත් නෙවෙයි. එයාල ඒ චරිත ඇත්තටම ජීවත් වෙනව කියල හිතලා රාමුවෙන් එළියෙදිත් ඒ විදිහට බලාපොරොත්තු වෙනවා. ඒකයි ඩිරෙක්ටර්ස්ල නිර්මාණයක කෙමෙස්ට්‍රියක් හොයන්නෙ. කෙමෙස්ට්‍රියක් වැඩ කරනව කියන්නෙ ඒක රියැලිටියක් වගේ වෙනවා. ඒක තමයි මං හිතන්නෙ නිර්මාණයක ප්ලස් පොයින්ට් එක.


දිගටම ආදරවන්තයා වෙලාම ඉන්නද කැමැත්ත?


මට දැන් ආදරවන්තයාගෙන් වෙනත් චරිතයකට මාරු වෙන්න ඕන. ෂාරුක් ඛාන් අදටත් ආදරවන්තයා වෙනව වගේ මගේ ඇතුළෙත් ආදරවන්තයා කැරැක්ටර් එක කවදාවත් එක්ස්පයර් වෙන එකක් නෑ. මට ආසයි මෙතෙක් මං නොකරපු කැරැක්ටර් එකක් කරන්න. වී ටීවී සීරීස් එකේ රවීන් කණිෂ්ක, ශලිනි වගේ කාස්ට් එකක් එක්ක මට මේන් විලන් කැරැක්ටර් එකක් ලැබුණා. අපේ ආලින්දයේ ටෙලිවිෂන් එකටත් විලන් කෙනෙක් හරි ඒ වගේ වෙනස් කැරැක්ටර් එකකින් හරි එන්න ආසයි. අළු චරිතයක් නෙවෙයි මට ඕන කළු චරිතයක්.


සචින්ගෙ රංගනයට පිවිසීම ගැන කතා කළොත්?


මුලින්ම මම සම්බන්ධ වුණේ මියුසික් වීඩියෝවලට. නිරූපණ ක්ෂේත්‍රයෙත් කෙටි කාලයක් හිටියා. අහස් මාළිගා ටෙලි නාට්‍ය තමයි මට රංගනයට පිවිසීමේ අවස්ථාව ලබා දුන්නේ. ඒත් එක්කම නිරූපණය ඈත් වුණා. සචින් ලියනගේ රංගන ශිල්පියකු විදිහට මිනිසුන් අතරට ගියේ කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයෙන්. ඒක මගේ දෙවෙනි රංගන අත්දැකීම. ජානුත් ගොඩක් ප්‍රේක්ෂකයන් අතරට ගියා. මේ දවස්වල වාසව බදුගේගේ විසල් ආදරේ සිනමාපටයෙ වැඩක් කෙරෙනවා. ඉදිරියේදී මගේම තිර පිටපතකින් ටෙලි නිර්මාණයක් කිරීමේ බලාපොරොත්තුවක් තියෙනවා. නොවැම්බර් වෙද්දි ඒකෙ වැඩත් ආරම්භ වේවි.


පහුගිය දවසක සචින්ගෙ අම්ම වැඩසටහනකට සම්බන්ධ වෙලා ගීතයකට ගොඩක් සංවේදී වුණා නේද?


සාමාන්‍යයෙන් මං ප්‍රෝග්‍රෑම්වලට සම්බන්ධ වෙන කෙනෙක් නෙවෙයි. නිතරම මං හැංගිල ඉන්නයි උත්සාහ කරන්නේ. මාස 10කට විතර පස්සෙ තමයි ඔය ප්‍රෝග්‍රෑම් එකකට ගියේ. ඒකත් රංගන අයියගෙ ඉල්ලීමකට. අපේ අම්මත් හරි කැමැතියි වැඩසටහන්වලට යන්න. එයාටත් එන්න ඕන කිවුවම රංගන අයියා කිවුවා හරි මල්ලි එහෙනම් අපි අම්මත් එක්කත් ටිකක් කතා කරමු කියලා. එතැනදි තමයි ඔය සිද්ධිය වුණේ. අම්ම තමයි ඉතින් මගේ ලෝකෙම.


අම්මාගේ ආදරේ විතරක් ලැබුණම ඇති ද?


ආදරය කියන්නෙ හරි ලස්සන හැඟීමක්. මං හැමවෙලේම කියන දෙයක් තමයි හැඟීම් ගොඩක් එකතු වෙලා හැදෙන හැඟීමක් තමයි ආදරේ කියන්නේ. දැනට නම් ආදරවන්තයෙක් නෙවෙයි. මං බලාපොරොත්තු වෙනවා මට හොඳ සහකාරියක් හමුවෙයි කියලා.


 නාමලී ගමගේ





Previous Post Next Post