මගේම කියල ගීත නම් තවම ගායනා කරල නෑ - සුජානි මධුවන්ති

 


ගායනයට, නර්තනයට, රංගනයට සේම චිත්‍ර ඇදීමට ද ඈ එකසේ දක්ෂය.මේ දින වල පුංචි තිරයේ කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ සුද්දිගේ යාළුවා ඇයයි. එහි භාග්‍යා ලෙසින් ප්‍රේක්ෂක නෙතට වශී කෘතවන ඈ නමින් සුජානි මධුවන්තිය. කතා කරමු පුංචි තිරයේ මේ දවස්වල ප්‍රේක්ෂක හද ගත් භාග්‍යා සමඟ.


මේ දවස් වල කලා තොරතුරු කොහොමද?


කෝලම් කුට්ටම ටෙලි නාට්‍යයේ රූපගත කිරීම්වලත් මියුසික් වීඩියෝ කීපයකත් කටයුතු කරමින් තමයි මේ දවස්වල කාලය ගත කරන්නේ.


මියුසික් වීඩියෝ සඳහා රංගනයෙන් දායක වුණා ද?


ඔව්. තීක්ෂණ අනුරාධගේ මියුසික් වීඩියෝවක රඟපෑවා.


කලා ක්ෂේත්‍රයට ඔබ පාතබන්නේ?


අද මම රංග ශිල්පිනියක් ලෙස පේ‍්‍රක්ෂකයෝ දැක්කත් මම මුලින්ම කලා ක්ෂේත්‍රයට පා තබන්නේ ගායිකාවක් ලෙසින්.


ඒ කියන්නේ රංග ශිල්පිනියක් වන්නට පෙර ඔබ ගායිකාවක්?


2021 වසරේ තමයි මම මියුසික් ෆීල්ඩ් එකේ වැඩවලට මුලින්ම සම්බන්ධ වෙන්නේ. හිරු ස්ටාර් රියලිටි ෂෝ ප්‍රෝගෑම් එකට සම්බන්ධ වුණා. එහි හැත්තෑ දෙවැනි තැනට එනකන් මම ආවා. ඊට කලින් ඉදලම මම මියුසික්වලට ආශා නිසාම ආරාධනා වලට සංගීත කණ්ඩායම්වල ගීත ගායනා කළා. දැන් වුණත් මට එළිමහන් ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවා.


ඔබටම ආවේණික ගී පරාසයක ද ගායනයෙන් නියැළෙන්නේ?


මගේම කියල ගීත නම් තවම ගායනා කරල නෑ. කිසිම ගායිකාවකගේ ගීත සඳහා මම කොටුවෙලා නෑ. නොයෙක් මාදිලියේ ගීත ගායනා කරනවා.


වැඩි වශයෙන් මොන පරාසයේ ගීත ද ඔබේ හඬින් ගැයෙන්නේ?


වෙස්ටන් ටයිප් එකේ ගීත. මම ගොඩක් ආසයි කොරින් අල්මේදා මහත්මියගේ ගීත ගායනා කරන්න. වෙස්ටන් ටයිප් ගීත මම සින්ග් කරන කොට මගේ හඬ බොහෝ විට ඇගේ වොයිස් එකට සමානයි. අවුට් ඩෝ ප්‍රසංගවල දී වැඩි රසිකයන්ගේ ඉල්ලීමත් වෙස්ටන් ටයිප් ගීත වෙනුවෙන්.


අදටත් ප්‍රසංග සඳහා සහභාගි වන ගායිකාවක්?


ඔව් මට ආරාධනා කළොත් රසිකයන් පිනවන්න මම ඒ දේ පිළිගන්නවා. මගේ කියල සින්දුවක් නම් තවම නෑ. ඉදිරියේදී මගේම ගීතයක් කරන්න බලාපොරොත්තු වෙනවා.


ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඔබ බලාපොරොත්තු වන්නේ ගායිකාවක් වශයෙන් ද?


ගායිකාවක් වශයෙන් ඉදිරියට යන්න මගේ බලාපොරොත්තුවක් නෑ. ගායනය මගේ විනෝදාංශය. මම එක දේ කට කොටුවෙලා ඉන්න ආස නෑ. මට ගොඩක් දක්ෂතා තියනවා. ඒ හැම දක්ෂතාවයකින්ම ඉදිරියට යන්න තමයි මම කැමැති.


මොනවද ඒ ඔබ තුළ තියන විශේෂ දක්ෂතා.


මට හොඳට චිත්‍ර අඳින්න පුළුවන්. නර්තනය පුුළුවන්. රංගනය පුළුවන්. ඉදිරියේදී මම ඇක්ටින් ෆීල්ඩ් එකේ රංග ශිල්පිනියක් ලෙස කටයුතු කරන්න තමයි කැමති.


රංගන ශිල්පිනියක් ලෙස හා පුරා ඔබ රංගනයේ දොරටු විවර කරගත්තේ?


2021 වසරේ අගභාගයේ නාඩගම්කාරයෝ ටෙලි නාට්‍යයේ අවසන් භාගයටනේ. කෝලම්කුට්ටම ටෙලි නාට්‍ය ලින්ක් වන්නේ නාඩගම්කාරයෝ ඩාන්සින් ගෲප් එකේ ඩාන්සින් කරන ළමයෙක් ලෙස තමයි. මගේ රංගන ජීවිතය ආරම්භ වන්නේ ඒ ඩාන්සින් ගෲප් එක කෝලම්කුට්ටම නාට්‍ය සඳහාත් සම්බන්ධ වූ නිසා එහි සාමාජිකාවක් ලෙස මුලින්ම කෝලම්කුට්ටම ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා.


කොහොමද එතකොට කෝලම් කුට්ටමේ භාග්‍යා වන්න ලැබෙන්නේ?


නාට්‍යය තුළ ඩාන්සින් ගෲප් එකේ හිටිය අපිව කැරැක්ටර්වලට වෙන් කරන්න අපිට වර්ක් ෂෝප් එකක් තිබ්බා. භාග්‍යා ලැබෙන්නේ ඒ වර්ක් ෂොප් එකේදී. අපිට දෙන පරීක්ෂණයකින් අනතුරුව.


කොහොමද මේ දවස්වල කෝලම් කුට්ටමේ භාග්‍යාට ලැබෙන ප්‍රතිචාර?


ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. බොහෝ අය භාග්‍යාට ආදරෙයි. මගේ රසිකයෝ මාව හඳුනාගෙන මාත් එක්ක කතා කරන අවස්ථා තියනවා. ඒ වෙලාවට මට ගොඩක් සතුටුයි. මගේ පළවෙනි ඩ්‍රාමා එක නිසා ඒ පේ‍්‍රක්ෂක ආදරය මට ගොඩක් වටිනවා. මටත් ඒ අත්දැකීම නැවුම්, භාග්‍යාගේ තියන අහිංසකකමට ගොඩක් අය ආදරය කරනවා. ඒ පේ‍්‍රක්ෂක ප්‍රතිචාර හරිම ඉහළයි.


සුජානි අද රංගනය තුළින් භාග්‍යාවෙලා මේ පෙරළියට ඔබ රංගනය හැදෑරුවද?


මම ගිරිවුල්ල වික්‍රමශිලා මධ්‍ය මහා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේ එහිදී. නර්තනය මම හැදෑරුවා. විෂයක් ලෙස පාසල් අධ්‍යාපනය අවසන් කරන තුරු. පාසලේ මිියුසික් කළේම නෑ. පාසල් අධ්‍යාපනය නිමා වුණාට පස්සේ මම මියුසික් හැදෑරීම කරන්න පෙලඹුණා. නමුත් මට පාසල් අවධියේ ගායන හැකියාව තිබුණා. ගායන තරඟවලට සහභාගි වුණා. ඇක්ටින් සම්බන්ධ කිසිම දෙයක් කරල තිබුණේ නෑ. ස්ටේජ් එකක නැගල රඟපානවා තියා කතා කරන්නත් මට බයයි. ලැජ්ජයි. ඒ නිසා මම ඒවට කොහොත්ම ගියේ නෑ. නමුත් මේ රංගන අවස්ථාව මට ලැබීම අහඹු දෙයක්.


කොහොමද අහඹු සිදුවීම් සිදු වුණේ?


මම මියුසික් කර කර ඉන්න කොට මගේ යාළුවෙක් පෝස්ට් එකක්. එෆ්.බී. එකේ දාල තිබුණා. සද්ධා මංගල සුරියබණ්ඩාර මහතාගේ ක්ලාස් එකෙන් දැන්වීමක් දාල තිබුණා. ටෙලි නාට්‍යයක් සඳහා අලුත් නවක නළු නිළියන් ගන්නවා කියල අයදුම් කරන්න කියල දැන්වීමට මමත් ඉල්ලුම් කළා. මම ඒකට ෆෝටෝ එකක් ඇරියා. ඒ අනුව මට කැඳවීමක් ලැබුණා. කොළඹට එන්න කියලා. ඔඩිෂන් එකකට නමුත් ඒ ආවත් එතන ඔඩිෂන් එකක් තිබුණේ නෑ. මාව තෝරගෙන තිබුණා. මට ස්ක්‍රිප්ට් එකක් දීල මේක කරල පෙන්නන්න කිව්වා. මම කළා. ඒ දේ ඕකේ වුණා. මාව හදල ගන්න පුළුවන් කිව්වා. හෙට ඉඳල වැඩේට ලෑස්ති වෙන්න කිව්වා. කැමැති ද රඟපාන්න ඇහුවා. මගේ සාමාන්‍ය ගතියක් තියනවා බෑ කීමක් නෑ. උත්සාහ කරමු කිව්වා. ඊට පස්සේ මට කිව්වා පහළ ඩාන්සින් අයිටම් එකක් පුරුදු වෙනවා. ඒක පුහුණු කරලා අපිට පෙන්වන්න පුළුවන් ද ඇහුවා. මම හා කිව්වා. ඒ විධියට මම අභියෝගය භාරත්තා. ඒ කණ්ඩායම සමඟ මාත් මගේ හැකියාව ඒ අයුරින්ම කරල පෙන්නුවා කියන දේ ඉක්මනින් අල්ලගෙන. කරන්න පුළුවන් උණ කාරයෙක් තමයි අපිටත් ඕනේ කියල ඒ අය මාව තෝරාගත්තා.


මේ වෙනකොට ඔබට ඔවුන්ගේ වෙනත් නිර්මාණ සඳහා ආරාධනා කරල තියනවද?


මම තවම මේ ක්ෂේත්‍රයට අලුත් ඒ නිසාම මම ඒ වගේ ලැබුණු ආරාධනාව තුළ තිබු චරිතය මට ලොකු වැඩි නිසා මම බෑ කිව්වා.


මොනවගේ චරිතයකට ද ඒ ආරාධනාව ලැබුණේ?


මෙහෙණින් වහන්සේ කෙනෙක් ගේ චරිතයකට ඒ නිර්මාණය තුළ මට ද්විත්ව චරිතයක් කරන්න තිබුණා. ගිහි ජිවිතය වගේම මගේ මහණවීමේ ජිවිතයක් ඇතුව ඒක නිසා. තවම ඒ වගේ අභියෝගාත්මක චරිත නිරූපණයකට මම තාම ආධුනික නිසාවෙන් මම ඒකට බැහැ කිව්වා.


සුජානි අභියෝගවලට බය කෙනෙක්ද?


නෑ. මම ඇක්ටින් ඉගෙනගෙන ආපු කෙනෙක් නොවෙයිනේ. ඒ නිසා ඒ නිර්මාණයට මගෙන් අවැඩක් සිදු වුණොත් ඒකට වග කියන්නේ කවුද එහෙම වුණොත් මම නැවත වෙනත් නිර්මාණයකට දායක කරගන්නේ නැති වෙන්න පුළුවන්. ඒ බයට මම බෑ කිව්වා.


ගායනය විනෝදාංශයක් කරගෙන රංගනය වෘත්තීය කරගන්න හදන සුජානි ඔය වගේ අභියෝග ප්‍රතික්ෂේප කරන කොට කොහොමද වෘත්තීමය නිළියක් ලෙස ඉදිරිය සාර්ථක කරගන්නේ?


මම හිතනවා හෙමින් ගමන හොඳයි කියලා. එක පාරට උඩ යනවාට වඩා ටිකෙන් ටික උඩ යන කොට ලැබෙන අත්දැකීම් වැඩියි. මම ක්ෂේත්‍රයට ආපු මුල් කාලයේ තමයි ඒ ඩබල් ඇක්ටින් ආරාධනාව ලැබුණේ. එතකොට මට අත්දැකීම් කොහෙත්ම නැති තරම්. හැබැයි සමහරවිට මේ කාලයේ මට ඒ ආරාධනාව ලැබුණා නම් සමහරවිට මම බෑ කියන එකක් නෑ. මම ඇක්ටින් ෆීල්ඩ් එකේ මේ වනවිට හිටිය කාලය හරිම අඩුයි.


ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න නම් මේ ක්ෂේත්‍රය හදාරන්න උත්සාහයක් නැද්ද?


මම දැනට පාඨමාලාවක් හදාරමින් ඉන්නේ රංගනය පිළිබඳ. ඒක ඉවර වුණා කියල නෑ. මට හොඳයි කියල හිතෙන තවත් තැනකට ගිහින් හරි මේ ගැන තව තව ඉගෙන ගන්න මම ආසයි.


ඔබ වේදිකාවට අකමැති නිළියක් ද?


කැමැතියි. ඒකට ලොකු කැපකිරීමක් කළ යුතු දෙයක්.


ඒක නේද ඔබ වැනි ආධුනික ශිල්පිනියකට හොඳම පදනම?


මම පිළිගන්නවා හොඳම පාසල වේදිකාව කියලා නවකයකුට ඉගෙන ගන්න. මට වේදිකා නිර්මාණයකටත් කතා කළා. ප්‍රශ්නයකට තිබුණේ කෝලම් කුට්ටම් ෂූටින් දවස් වලට තමයි ඒ නාට්‍යයේ රිහසල් දවස් තිබුණේ. ඉතිං ආශාව තිබුණත් යන්න ලැබුණේ නෑ. මාලි ජයවීර මහත්මිය තමයි මට ඒ අවස්ථාව ලබාදුන්නේ. දිලිප් රෝහණ මහතාගේ වේදිකා නිර්මාණයක් සඳහා දායක වන්න.


භාග්‍යා වන්න ඔබ වස්තුබීජ සොයා ගත්තේ?


මට කිසිම අත්දැකීමක් තිබුණේ නෑ. අඩුම තරමින් රඟපාන්න කලින් මාදු ගඟ දැකලවත් තිබුණේ නෑ. ඔරුවක ගිහින් තිබුණේ නෑ. කිසිම අත්දැකීමක් නොමැතිව තමයි මට භාග්‍යාගේ චරිතය ගොඩනඟන්න සිද්ධ වුණේ. කොටින්ම කිව්වොත් කැරැක්ටර්එක ගොඩ නඟාගත්තේ කොහොමද කියලවත් මට අත්දැකීමක් කොහෙත්ම තිබුණේ නෑ. හැම අත්දැකීමක්ම ලැබුණේ දර්ශන තලයේ සෙට් එකේදී. අධ්‍යක්ෂ සිවගුරුනාදන් මහතා කැමරා අධ්‍යක්ෂවරයා ඇතුළු කෘරූ එකේ සියලු දෙනා මට මේ චරිතය ගොඩනගන්න අවශ්‍ය වටපිටාව කියලා දුන්නා. මමත් එකකම රඟපාන කාවින්ද්‍යා අක්කාගෙන් වුණත් මම ගොඩක් දේ අහලා ඉගෙන ගත්තා. භාග්‍යා කියන්නේ යාළුවට බොහොම ළෙන්ගතු අහිංසක කෙනෙක් කියන දේ මම තේරුම් ගෙන තිබුණා. ඒක නිතර කට්ටිය මගේ ඔලුවට කිය කිය කාවැද්දුවා. එහෙම තමයි මම භාග්‍යාගේ කැරැක්ටර් එක ගොඩනඟා ගත්තේ.


ඉතා කෙටි කාලයක් තුළ ඔබේ රංගනයේ ගුරුවරු බවට පත්වන්නේ කවුද?


ප්‍රසන්න මහගමගේ ගුරුතුමන්, සද්ධාමංගල මහතා සිවගුරුනාදන් මහතා චමීර, මෞලි, තීක්ෂණ අයියල සහය අධ්‍යක්ෂ ධනංජය මංචනායක, කැමරා අධ්‍යක්ෂ ප්‍රභාත් දර්ශන මගේ තියන අඩු පාඩු හදාගන්න මට ගොඩක් උදවු උපකාර කරනවා.


ගායිකාවක් ලෙස ඉදිරියට යන්න රංගනය ඔබව බාධාවක් නොවෙයිද?


යම් අපහසුතාවක් තියනවා. නමුත් මම ඉස්සරහට ගායනය පැත්තෙන් වැඩක් කරනවා. මගේ කියල සින්දුවක් කරමින් ඒ කටයුත්ත මම පටන් ගන්නවා. එතකන් පොඩි නැවතීමක් තියනවා. මම තවම ගොඩනැඟෙන කෙනෙක් නිසා එකම කරගෙන යන්න අමාරුයි. එකක් කරල තැනකට ඇවිත් අනික් දේ සඳහා යොමුවෙන එක හොඳයි කියල මම හිතනවා.


යහළුවෙක් කිව්ව නිසා රංගනයට ගියාට ඔබේ දෙමාපියන් කැමැති වුණා ද රංග ශිල්පනියක් වනවාට?


මගේ අම්මා තුෂාරා දමයන්ති අම්මාගේ හීනයක් තිබුණා. මගේ කලා හැකියාව නිසාවෙන් කවදා හෝ මාව ටී.වී. එකේ දකින්න. මගේ අම්මාට මා ගැන ලොකු විශ්වාසයක් තියනවා. කවදාවත් මම නම කැත කරගන්න වැඩ කරන්නැති කෙනෙක් කියන දැඩි විශ්වාසය ඇයට තියනවා. ඒත් අම්මා නිතර මම ගැන හොයල බලනවා. මම යන එන තැන ඉන්න හිටින තැන් ගැන සොයා බලමින් ඇය මා සමීපයේ නැතිවුණාත් මගේ සෙවණැල්ල වගේ මා පසුපස දැනුමුතුකම් ලබාදෙනවා. මම රෑක ෂෝ එකකට ගියත් අම්මාගේ මල්ලිගේ පුතාල මාත් එක්ක තනියට යන්න මගේ ආරක්ෂකයන් වෙලා තියනවා. මම පවුලේ එකම දරුවා.


උඩරට පහතරට නර්තන ශිල්පිනියක් ලෙස තමයි ඔබ රංගනයට එක් වන්නේ?


මම පාසල් යන කාලයේ පටන් නර්තනය හැදෑරුවේ ගිරිවුල්ලේ ඉනෝකා ගොඩගම රංගායතනයේ මගෙන් කිසිම මුදලක් නොගෙන තමයි එහි ගුරුතුමිය වූ ඉනෝකා ගොඩගම මහත්මිය නර්තන දැනුම මට ලබාදුන්නේ. ඒ කෘතගුණ ස්තූතිය මම මේ වෙලාවේ එතුමිය සිහිපත් කරමින් පිරිනමනවා. පහත රට නර්තනය මම ඉගෙන ගෙන තිබීම මට ලොකු ශක්තියක් වුණා. මුලින්ම නාඩගම්කාරයෝ අවාසාන භාගයට එකතු වෙන්න.


හැමදාම භාග්‍යා හැටියට ඉන්නද කල්පනාව?


නෑ. දැන් මම ආසයි කටකාර, විසේකාර චරිත කරන්න. ආධුනික කෙනෙක් හැටියට කාගෙත් උපකාර ලබමින් ඉගෙන ගන්න ආසයි. තවත් නිර්මාණ ලැබුණොත් ඉදිරියේදී රංගනයේ තවත් කඩඉම් ජයගන්න මම කැමැතියි.


මුල්ම රඟපෑමේ අමතක නොවන සිදුවීම් එහෙමත් ඇති නේද?


නැතුව නැතුව මාදූ ගඟේ ඔරුවෙ යනකොට එක දවසක් අපිව ඈතට ගහගෙන ගියා. සැඩ පහරට හසුවෙලා. තව දවසක් ඉස්සො දාන්න ගිහින් ඉන්නකොට අපිව කුණාටුවකට අහුවුණා. ඔරුව පෙරළෙන්න තරම් සුළඟ සැර වුණා. මහවැස්සේ තෙමීගෙන ඔරුවෙ වතුරත් ඉහින්න වුණා. යාන්තම් එදා නම් ළඟ බෝට්ටුවක් තිබුණ නිසා හිතට ආව බය ටිකක් අඩුවුණා.


 



Previous Post Next Post