මම තමයි බියුටි පැජන්ට් එකක හිමිකාරීත්වය දරන ලෝකයේ එකම කාන්තාව-රාධිකා ගුණවර්ධන




රාධිකා ගුණවර්ධන කියන්නේ පසුගියදා තිරගත වුණු ලොක්ඩවුන් චිත්‍රපටයත් එක්ක කියවුණු නමක්. 2013 වසරේ චීනයේ පැවැති ලෝක විවාහක රූ රැජන තරගයේ ජයග්‍රාහී කිරුළ පලඳිමින් ශ්‍රී ලාංකේය නාමය ලෝක ඉතිහාසයට එක්කළේ ද ඇයයි. එපමණක් නොව ඉන්ටර්නැෂනල් පැජන්ට් එකක හිමිකාරීත්වය දරන ලොව එකම කාන්තාව ද ඇයයි. පසුගිය ජුලි 29 වැනිදා අවසන් වුණු Miss. World Tourism තරගයේ නිර්මාතෘවරිය ලෙසින් ඒ අභියෝගය සාර්ථකව ජයගත් රාධිකා ජාත්‍යන්තර පැජන්ට් එකක හිමිකාරීත්වය ලංකාවට හිමිකර දුන් ලාංකේය දිරිය දියණියකි. මේ ඇය සමඟ කළ කතාබහයි.


මේ දවස්වල ඔබේ නම කියවෙන්නේ ලොක්ඩවුන් චිත්‍රපටය නිසා. මුලින්ම අපි ඒ ගැන කතා කරමු ද?


ලොක්ඩවුන් චිත්‍රපටය සඳහා මට ආරාධනා ලැබෙන්නේ සුනිල් ටී. ප්‍රනාන්දු මහත්මයාගෙන්. ඔහු තමයි සුනිල් ප්‍රේමරත්න සර්ට මං ගැන කියල තිබුණේ. ඔහු මගේ චූටි දුවත් ඉන්ටර්වීව් කරලා ලොක්ඩවුන් චිත්‍රපටයට තෝරගත්තා. එයාගෙ නම අශ්ලි ලියානා. මේක එයාගෙ පළවෙනි සිනමා අත්දැකීම. මීට කලින් ටීවි වෙළෙඳ දැන්වීම්වල විතරයි ඉඳල තියෙන්නේ. හැමෝම කියනවා එයා හොඳට ඇක්ට් කළා කියලා. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්නෙ චුලක්ෂි. එයා වෛද්‍යවරියක්. එයාගෙ යාළුවගෙ චරිතය තමයි මං කරන්නෙ. වෛද්‍යවරියකගේ චරිතයක් කරන මුල්ම අවස්ථාව. ඒකත් ප්‍රධාන චරිතය එක්කම යන එකක්.


ඔබට මේක විශේෂයි නේද?


මේකේ මං වගේම මගෙ දුවල දෙන්නත් රංගනයෙන් දායක වෙන නිර්මාණයක්. චූටි දුව වගේම ලොකු දුව ඇන්ඩ්‍රියා එලීසාත් සම්බන්ධ වුණා. ඒ දෙන්නත් එක්ක එකම නිර්මාණයකට දායක වෙන්න ලැබීම සතුටක්.


අම්ම කෙනෙකුට දරුවෙකුගෙ දක්ෂතාවක් ඇස් දෙකෙන් දැකීම සතුටක්. චූටි දුවගෙ රංගනය ගැන මොකද හිතෙන්නෙ ?


හරිම සතුටුයි. ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මීට කලින් එයා ටීවී වෙළෙඳ දැන්වීම්වලට විතරයි මුහුණ දීල තිබුණේ. වෙළෙඳ දැන්වීම්වලදි කැමරාවට කෙළින්ම ෆේස් කරනවනෙ. ෆිල්ම් එකේදිත් එයා කැමරාව දිහා කෙළින්ම බැලුවා. එතකොට අධ්‍යක්ෂතුමා බොහොම ආදරෙන් පුතේ, මේක වෙළෙද දැන්වීමක් නෙවේ මේක ෆිල්ම් එකක්. කැමරාව දිහා කෙළින්ම බලන්න එපා කියලා පළමු දවසේ ට්‍රේන් කළා. ඊට පස්සෙ දවස් දහයම එයා ලස්සනට වැඩේ කළා.


ලොක්ඩවුන් කිවුවම එකපාරම මතක් වෙන්නෙ කොරෝනා කාලය. ඒ වගේ අත්දැකීමක් ද මේ?


මේක ලොක්ඩවුන් කාලෙ හා සම්බන්ධ සිදුවීමක් වුණත් චූටි දරුවෙක් වටා ගෙතුණු ලස්සන කතාවක්. මේකෙන් සමාජයට ලොකු පණිවුඩයක් දෙනවා. මවුපියන් විදිහට අපි පුංචි දරුවන් ගැන ඇහැගහගෙනම ඉන්න ඕන. චූටි වැරැද්දක් ඇති ඒ පුංචි ජීවිත විනාශ වෙලා යන්න. මමත් දරුවන් තුන්දෙනෙක්ගේ අම්ම කෙනෙක්. මං ඒ තුන්දෙනා මගේ ඇස් මානෙම තියාගන්නවා. ගෙදර පසුබිමෙන් තමයි ළමයි හොඳ නරක ඉගෙන ගන්නෙ. අපි මූලික අඩිතාලම දාල දුන්නොත් ඒ දරුවන්ගේ අනාගතය අඳුරු වෙන්නෙ නෑ කියල තමයි මං විශ්වාස කරන්නෙ. ලොක්ඩවුන් කියන්නෙත් ඒ වගේ පොඩි ළමයෙක් වටා ගෙතුණු හරිම ලස්සන කතාවක්. හැමෝටම බලන්න කියලා ආරාධනා කරනවා.


රාධිකා ක්ෂේත්‍රයට එන්නෙ නිරූපණය හරහා නේද?


ඔව්, 2013 වසරේ චීනයේ පැවැත්වුණු ලෝක විවාහක රූ රැජන තරගයේ ගෝල්ඩ් මෙඩ්ල් එක වගේම 2015 Mrs Asia International Tittle එකත් දිනුවා. ඒ ජාත්‍යන්තර ටයිට්ල් දෙකක් එක්ක ලංකාවෙ තිබුණු බියුටි පැජන්ට් ඒවත් ගත්තම ටයිට්ල් 15ක් දිනලා තියෙනවා. Miss Working Girl – 2005 බියුටි පැජන්ට් එකේ ජයග්‍රහණයත් එක්ක තමයි ක්ෂේත්‍රයට පිවිසුණේ.


දැන් ඔබ කරන්නේ වෙනම භූමිකාවක්?


මං හිතුවා තවදුරටත් පැජන්ට්වලට තරග කරන්නෙ නැතුව ලබාගෙන තියෙන අත්දැකීම් එක්ක රටට දෙයක් කරන්න ඕන කියලා. ඒ අරමුණෙන් තමයි පසුගියදා අවසන් වුණු Miss World Tourism තරගය රටවල් 28ක සහභාගීත්වයෙන් ලංකාවෙ පැවැත්වුවේ. ඒකෙ නිර්මාතෘවරිය මම. ලංකාවට අයිතිය තියෙන එකම ලෝක පැජන්ට් එක. අනිත් එක තමයි බියුටි පැජන්ට් එකක අයිතිය මෙතෙක් කල් තිබුණෙ පිරිමි අයට විතරයි. මම තමයි බියුටි පැජන්ට් එකක හිමිකාරීත්වය දරන ලෝකයේ එකම කාන්තාව. ඒකත් විශේෂත්වයක්. මේ හැම දේකදිම මගේ මහත්තයා එරංජ වීරසිංහ මගෙ හෙවණැල්ල වගේ ළඟ හිටියා. එයා නැත්නම් මට මෙච්චර දෙයක් කරගන්න බෑ. Miss World Tourism Private Ltd එකට තමයි ඒ පැජන්ට් එක අයිති.


පසුගිය ජූලි 29 වස්කඩුව සිට්‍රස් හෝටල් පරිශ්‍රයේදී පැවැති අවසන් වටයෙදි වෙනිසියුලා තරගකාරිය ජයග්‍රහණය කළා. අපි තරගකාරිනියන් දළදා මාලිගාව, නෙල්ලිගල වගේ තැන්වලට එක්ක ගියා. දළදා මාලිගාවෙ ඉඳන් ඔවුන් තමන්ගෙ භාෂාවෙන් දළදා මාලිගාව බලන්න එන්න කියලා ලෝකෙටම ආරාධනා කළා. ඒ හරහා අපේ ටුවරිසම් ලෝකයට ප්‍රමෝට් කරන්න හොඳ අවස්ථාවක් ලැබුණා. අනිත් විශේෂ කරුණ තමයි හැම තරගකාරිනියක්ම ලංකාවට ආවෙ එයාලගෙම වියදමින්. එයාලගෙ ඩිරෙක්ටර්වරු වගේම සමීපතම අයත් ආවා. ඒ හරහා විශේෂයෙන්ම හෝටල් ක්ෂේත්‍රයට හොඳ බලපෑමක් වුණා. ඒ විතරක් නෙවෙයි පසුගිය දා ආරම්භ වුණු LPL ඕපනින් එකේ කුසලානය අරන් ගියෙත් අපේ පැජන්ට් එකේ ජයග්‍රාහිකාව. ඒකෙ එනවුස්මන්ට් එක දුන්නෙත් Miss World Tourism ජයග්‍රාහිකාව තමයි මේ කුසලානය රැගෙන යන්නෙ කියලා. රටවල් එකසිය ගාණක මාධ්‍ය හරහා ඒක ලෝකයේ ප්‍රචාරය වුණා. තවත් ජාත්‍යන්තර ඉවෙන්ට් දෙකක් සඳහා දැනටමත් අවස්ථාව ලැබිලා තියෙනවා. ඒක මට වගේම අපේ රටටත් ලොකු ආඩම්බරයක්.






Previous Post Next Post