පාළුවක් තියෙනවා එයත් ළඟදීම එයි කියලා හිතනවා-අනූජ් රණසිංහ




අනූජ් රණසිංහ කියන්නේ මෙරට සිනමාවේ කඩවසම් ඒ වගේම කැපී පෙනෙන දක්ෂතා පෙන්වන රංගන ශිල්පියෙක්. අනූජ් මේ දිනවල ඉන්නෙ නවසීලන්තයේ. විදෙස්ගතව ගෙවන ජීවිතේ වගේම හෙට දවසේ කලාව ගැන රසඳුන කළ කතාබහයි මේ….


කොහොමද ජීවිතේ


ජීවිතේ හොඳයි. ජීවිතේ අලුත් පිටුවක් පටන් ගත්ත.


අනූජ් රට හැර ගිහින් ද?


මේ දේවල් එකපාර සිදුවුණ දේවල් නෙවෙයි. මගේ ජීවිතේ මම කොහොමත් එක එක වකවානුවලදි එක එක දේවල් අත්හදා බලන්න උත්සාහ කළා. කාලයක් ජොබ් එකක් කළා. මොඩ්ල් කරන්න සහ රඟපාන්න ආසාවක් තිබ්බ නිසා ඒ හැමදේම කළා. මගේ යටි හිතේ ලොකු ආසාවක් තිබ්බා මාස්ටර් කරන්න. ඒ හීනේ සැබෑ කරගන්න නවසීලන්තයට ආවේ. හොඳින් හැමදේම සෙට්ල් වෙලා වැඩකටයුතු කරගෙන යනවා.


කොහොමද අලුත් දෛනික ජීවන රටාව?


දෛනික වැඩකටයුතු කියන්නෙ යුනිවසිටි එකේ වැඩ කටයුතු කරගෙන යනවා. පුරුදු පරිදි මම ජිම් යනවා. තව මට මෙහෙ මොඩ්ල් ඒජන්සි එකකට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ හරහා මොඩ්ල් කරන්න අවස්ථාවක් ලැබුණා. මෙහේ මගේ පළවෙනි කමර්ෂල් එක ලබන සුමානේ කරනවා. ඔය දේවල් බැලන්ස් එකේ කරගෙන යනවා.


ආදරණීය බිරිඳ ලංකාවේ ද?


යශෝධා නම් ලංකාවේ. එයාගෙ ජොබ් එක පුරුදු පරිදි කරගෙන යනවා. අපි බැඳලා අවුරුද්දක්වත් නැහැ. පාළුවක් තියෙනවා. නමුත් අපි දෙන්නම හිතලා අපේ ජීවිතේ අනාගතය ගැන හිතලා ගත්ත තීරණයක්. පුළුවන් තරම් ඉක්මනට එයත් එයි කියලා හිතනවා.


කලින් වතාවන්වලට වඩා වෙනස් හැඟීමක් දැනෙන්න ඇති මෙවර විදෙස්ගත වීම…?


ඔව්. කලින් විවිධ අවස්ථාවන්වලදි විදෙස්ගතව සිටියත්, මේ සැරේ එද්දි ඊට වඩා වෙනස් හැඟීමක් දැනුණා. යශෝධා එක්ක විවාහ වෙලා ජීවිතේ එකට ගත කරලා ආදරේ පිරුණු අවස්ථාවක විදෙස් ගත වුණේ. ඒ හැමදේම කළේ යම්කිසි කැපකිරීමක් මත. නිතරම අපි කතා කරනවා. අම්මා තාත්තා නිතරම කතා කරනවා. ඒ නිසා හැමදේම හොඳින් සිද්ධ වෙයි කියලා හිතනවා.


අවුරුදු කීයකින්ද නැවත එන්නෙ…?


කොහොමත් මට අවුරුදු එකහමාරක් දිගටම ඉන්න සිද්ධ වෙනවා. ඊට පස්සෙ එන්න අදහසක් තියෙනවා. විශේෂයෙන්ම මගේ මිත්‍ර හර්ෂ එක්ක අලුත් චිත්‍රපටයක නිෂ්පාදන කටයුතු කරන්න අදහසක් තියෙනවා. මගේ රංගන ජීවිතේ ඒ බලාපොරොත්තුත් ඉටු කර ගන්න ඕනේ. කොහොමත් තව අවුරුදු එකහමාරකින් දෙකකින් නිර්මාණයකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ දේවල් ඉෂ්ට වෙයි කියලා හිතනවා.


ඔබේ රංගනය මේ දිනවල ප්‍රේක්ෂකයන්ට දකින්න ලැබෙන නිර්මාණ ගැන කිව්වොත්…?


මේ දවස්වල ITN නාලිකාවේ විකාශය වූ ෆෝචූන් රෙසිඩන්ට්සිහි රංගනයෙන් දායක වුණා. ඒ වගේම ලොකු නිර්මාණයක් එන්න තියෙනවා. ඒ රජිත හිරාන්ගේ රයිඩර් චිත්‍රපටය. එහි මාධ්‍යය දැක්ම පසුගිය දවසක තිබ්බා. මගේ යාළුවො සහ යශෝධා ගිහින් තිබ්බා බලන්න. මට ඒ අවස්ථාවට සහභාගි වෙන්න බැරි වීම ගැන දුකයි. මේ අවුරුද්ද තුළ නැත්නම් ලබන වසර මුල තිරගත වෙන්න නියමිතයි. ඒකට ලැබෙන ප්‍රතිචාර ගොඩක් හොඳයි. ක්‍රියාදාම චිත්‍රපටයක මට ලොකු ටැලන්ට් එකක් පෙන්වන්න ලැබුණු අවස්ථාවක්. අපි හිතන්නෙ නැති පරාසයක ඩිරෙක්ටර්ගේ කාර්යය රජිත හිරාන් ඉටු කළා. මම හිතනවා අතිසාර්ථක චිත්‍රපටයක් වෙයි කියලා.


මේ කාලය තුළ ලැබෙන ප්‍රතිචාර කොහොමද?


ලංකාවෙන් එනකොට තිබ්බ ප්‍රතිචාර හොඳයි. මම අන්තිමට කරපු නිර්මාණ සහ මම කරපු හිරු 119 වැඩසටහන සඳහා හොඳ ප්‍රතිචාර තිබ්බා. පුදුමයක් වුණේ මෙහෙ ආවට පස්සෙ අපේ ලාංකිකයන් මාව හඳුනාගෙන කතා කරනවා. ඒ අයගේ ප්‍රතිචාර ලැබෙනවා. මෙහේ ඉන්න ආටිස්ලා හමුවෙනවා. ගොඩක් සතුටුයි ලංකාවේ සහ මෙහෙදි ලැබෙන ප්‍රතිචාර ගැන.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මගේ මාස්ටර් එක ඉවර කර ගන්න එක. ඒක තමයි ප්‍රධාන අරමුණ.


කලාව මග හැරෙයිද?


මම කවදාවත් කලාවෙන් ඈත් වෙන්නෙ නැහැ. කලාව කියන්නෙ මගේ ජීවිතේ වෙනස් පැත්තකට ගෙනගිය දෙයක්. සිනමාවේ දිගටම රැඳී සිටින්නයි මම බලාපොරොත්තු වෙන්නෙ. ඒ නිසාමයි මම මේ තීරණය ගත්තේ. කොහොමත් අවුරුද්ද ට සිනමා නිර්මාණ දෙකක් වගේ සිද්ධ වෙන්නෙ. මගේම කියන නිර්මාණ සිනමාවට දායාද කිරීමත් මගේ අරමුණක්. ඒ නිසා සේද මාවතෙන් පස්සෙ මගේම නිර්මාණයක් සිනමාවට දායාද කරන්නයි ලොකුම අරමුණ.





Previous Post Next Post