බණ්ඩා හරි වාසනාවන්ත චරිතයක් - කුසල් මධුරංග



වේදිකා නාට්‍ය කලාව ඔස්සේ කලා ක්‍ෂේත්‍රයට පිවිසි මේ කෙසඟ පුංචි කොලුගැටයා මෙරට ප්‍රේක්‍ෂකයා හඳුනාගන්නේ පාර දිගේ ‘බණ්ඩා’ගේ චරිතය හරහා යි. මාල කඩපු, පික්පොකට් ගහපු, අංචි ඇදපු මේ බණ්ඩා අන්තිමේ නැවතුනේ රයිගම් වේදිකාවේ ජනප්‍රියම නළුවාට හිමි සම්මානයත් දෝතට තුරුළු කර ගනිමින්. ඔහු සැබවින්ම ජනප්‍රිය වගේම දක්‍ෂ නළුවෙක්. ඊට හොඳම සාක්‍ෂිය ඔහු වේදිකාවේ 2007 වසරේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය මෙන්ම 2013, 2014, 2015 වසරවල හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගැනීමය. කුසල් මධුරංග නමැති මොහු මේ දිනවල ඔබට, මට මුණගැසෙන්නේ සුනිල් ප්‍රේමරත්නයන් අධ්‍යක්‍ෂණය කළ, නීල් සංජීව සහ සංගීත් අල්ගම නිෂ්පාදනය කළ ‘ලොක්ඩවුන්’ සිනමාපටය වගේම ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂණය කරනු ලබන, සද්ධාමංගල සූරියබණ්ඩාර තිර රචනය සිදුකරන, සිරස නාලිකාවේ විකාශය වන ‘සර්කස්කාරයෝ’ ටෙලි නාට්‍යය හරහායි. ඉතිං ඔය අතරේ කුසල් හදිසියේම විදෙස්ගත වෙන්නත් යනවා. ඒ ආරංචි සියල්ලම ඔයාලට කියන්න අපි කුසල් මධුරංගට මේ සතිය වෙන් කරන්න හිතුවා.


කුසල් මධුරංග මේ දිනවල අතිශය කාර්යබහුල නළුවෙක් වෙලා නේද?


කාර්යබහුල වෙන්න ප්‍රධානම හේතුව තමයි වේදිකා නාට්‍ය කිහිපයකම දර්ශනවාර ප්‍රමාණයක් සංවිධානය වෙමින් පැවතීම. ඉතිං වේදිකා නාට්‍යකරුවෙක් විදිහට මම සතිඅන්තයේ වේදිකා නාට්‍ය කිහිපයකම රඟපානවා. ඊට අමතරව ටෙලි නාට්‍ය දෙකක රූගතකිරීම් සිදුකරනවා.


 ශිවගුරුනාදන් අධ්‍යක්‍ෂවරයාගේම නාට්‍ය දෙකක වැඩ. එහෙමද?


ඔව්. සද්ධාමංගලගේ තිරපිටපත් රචනයෙන්, ශිවගුරුනාදන්ගේ අධ්‍යක්‍ෂණයෙන් විකාශය වන ‘සර්කස්කාරයෝ’ ටෙලි නාට්‍යය වගේම අසංක සායක්කාරගේ තිර රචනයෙන්, ශිවගුරුනාදන් මහත්මයාගේ අධ්‍යක්‍ෂණයෙන් ‘ඇතුළුවීම තහනම්‘ ටෙලි නාට්‍යයත් මේ දිනවල විකාශය වෙනවා.



සර්කස්කාරයෝ හි ‘මචං අයියා’ ගැන කට්ටිය මොනවද කියන්නේ?


මේ චරිතය පොඩි විශේෂත්වයක් තිබෙනවා. ඒ හින්දා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ටෙලි නාට්‍යයකින් මාව ආදරවන්තයෙක් විදිහට කවුරුත් දැකල තිබුණේ නැහැ. පොඩි නැවුම් ගතියක් තිබෙනවා.


 පාරදිගේ බණ්ඩා අවසන් වුණහම දුකක් ඇති වුණාද?


ඔව්. පාරදිගේ ලංකාවේ බලපු නැති ප්‍රේක්‍ෂකයෙක් නැති තරම්. සෑහෙන, ප්‍රසිද්ධ ජනප්‍රිය වුණු ටෙලි නාට්‍යයක්. අවසානවීම කණ්ඩායමටම පොඩි වේදනාකාරී අත්දැකීමක් වුණා. නමුත් ඕනෑම දෙයක අවසානයක් තිබිය යුතුයි. ඒ හින්දා ටෙලි නාට්‍යයකටත් අවසානයක් තිබිය යුතුයි. ‘පාරදිගේ’ ජීවිතයේ අමතක කරන්නම බැරි ටෙලි නාට්‍යය වෙයි.



අද වෙනකොට කට්ටිය ‘බණ්ඩා’ ගැන මොනවද කියන්නේ?


සමහරු තවම කතා කරනවා. වෙන ටෙලි නාට්‍යයක ෂූටින් වෙලාවක ප්‍රේක්‍ෂකයෝ වට වුණත් කතා කරන්නේ බණ්ඩා කියලා. ඒක ඇත්තටම අමතක නොවන චරිතයක්. සෑහෙන කාලයක් මිනිසුන්ගේ ඔළුවේ තියේවි.


 ‘බණ්ඩා’, කුසල්ව ජනප්‍රිය නළුවා කරලා තමයි නැවැත්තුවේ, ලේසි නැහැ?


ඒක චරිතයක් විදිහට හම්බ වුණ මහා වාසනාවන්ත චරිතයක්.


 ‘පාරදිගේ’ බණ්ඩාගේ අලුත්ම ගේම තමයි ලොක්ඩවුන් අස්සෙ ආපහු ගේමක් ගහන එක?


සුනිල් ප්‍රේමරත්න මහත්මයාගේ අධ්‍යක්‍ෂණයෙන් සංගීත් අල්ගම සහ නීල් සංජීව දෙපළගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණ අලුත්ම චිත්‍රපටය තමයි ‘ලොක්ඩවුන්’ චිත්‍රපටය. මේකත් ඇත්තටම මේ දිනවල සිනමාහල්වල නරඹන්න පුළුවන්.


ලොක්ඩවුන් චිත්‍රපටය ගැන මොකද හිතෙන්නේ?


මේකත් ඇත්තටම චූටි කතාවක්. අපිට හොඳම අත්දැකීමක් තිබුණා කොරෝනා කාලය ගැන. ඒක අඩු වැඩි වශයෙන් හැම තත්ත්වයකම ජීවත්වන කෙනකුට බලපෑවා. ඉතිං ඒ වගේ රටම ලොක්ඩවුන් වෙලා තියෙන වෙලාවක සිද්ධවෙච්ච පොඩි කතාවක්. හැබැයි ඒක හරිම ලස්සන විදිහට සුනිල් ප්‍රේමරත්න මහත්මයා අධ්‍යක්‍ෂණය කළා. පවුලේ ඕනෑම කෙනකුට නරඹන්න පුළුවන් චිත්‍රපටයක්.


ලොක්ඩවුන් චිත්‍රපටයෙත් ‘බණ්ඩා’ගේ වගේ ගේම් එකක් ප්ලේ කරන්න නේද තියෙන්නේ?


ඔව්, ඒකෙ සාධාරණත්වවාදී ගේම් කාරයෙක් නෙමෙයි. ඇත්තටම ලොකු ගේම් එකක් තමයි පටන් ගන්නේ. හැබැයි ඒක වරදිනවා. ඒක ප්‍රධාන චරිතයක් නොවුණට මේ චරිතය හරහා තමයි කතාව එහෙමෙහෙ වෙන්නේ.


බණ්ඩාගේ ගේම් එක ලොක්ඩවුන් එකේදී වරදිනවා ද?


ඒක ඉතිං චිත්‍රපටය නරඹලාම බලන්න කියලා ප්‍රේක්‍ෂකයන්ට ආරාධනා කරනවා.


මේක ඔබේ පළමු සිනමා නිර්මාණය ද?


නැහැ. ඇත්තටම මීට කලින් මම සනත් ගුණතිලක මහත්මයාගේ ‘ගඟුලක ගිනියම’ කියලා චිත්‍රපටයක. ඒක තවම සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළේ නැහැ. සුනිල් ප්‍රේමරත්න මහත්මයාගේ ලොක්ඩවුන් චිත්‍රපටය මගේ දෙවැනි චිත්‍රපටය. තුන්වැනි චිත්‍රපටයේ රූගත කිරීම් ආරම්භ කරනවා මේ සැප්තැම්බර් මාසයේදී. මේක රූගත කරන්නේ ඔස්ට්‍රේලියාවේදී.


කුසල් හදිසියේම ඔස්ට්‍රේලියාවට යන්න සූදානමින් ඉන්නේ?


ඔව්. ඒ හින්දම තමයි මම මේ තරම් කාර්යබහුල වෙලා තියෙන්නේ. ෂූටින් කරන්න මාසයක් වගේ කාලයක් යනවා. ඒක සමබර කරගන්න ඕනෑ හින්දා මේ දවස් ටිකේ දිගට හරහට ෂූටින් යනවා.


කවදද ඔස්ට්‍රේලියාවට යන්නේ?


සැප්තැම්බර් 17 වැනිදා තමයි යන්න හිතාගෙන ඉන්නේ. මාසයක් විතර ඒකෙ රූගතකිරීම් සිද්ධවෙනවා.


කුසල් මධුරංග ජීවිතය ගැන ආපසු හැරී බැලුවොත්


ජීවිතය ගැන පිටුපස්සට හැරිල බලද්දී තමයි ජීවිතයේ එක එක තත්ත්වයන් දැක්කහම සතුටක් ඇතිවෙන්නේ. ඒක හරි වෙහෙසකාරී. ඒ වෙහෙසකාරීකම අදත් වෙනස්වෙලා නැහැ. ජීවිතයේ වෙන්න ඕනෑ කැපකිරීම් ටික මහන්සිය ඉස්සරහටත් එහෙම්ම දිගටම කරගෙන යන්න වෙනවා. කිසිම වෙලාවක මේ තත්ත්වය අතහැර ගන්න බැහැ.


කුසල් කියන්නේ ටාගට් එකට යන්න සෑහෙන කට්ටක් කාපු කොල්ලෙක්ලු. ඒ කතාව ඇත්තක් ද?


ඇත්තටම සෑහෙන මහන්සි වුණා. සෑහෙන දුකක් වින්දා. ඉස්කෝලෙ යන කාලෙ ඉඳන්ම දුක් වින්දා. ඕලෙවල්, ඒලෙවල් වගේම කැම්පස් යන කාලෙත් ඒවායින් අඩුවක් වුණේ නැහැ.


රස්සාවල් ගණනාවක් කළා කියන්නේ?


ඔව් රස්සාවල් කියන්නේ මම ඔෆිස් එකක වැඩ කරලා නැහැ. මම ඔය කාලෙන් කාලෙට විවිධ බිස්නස් කරල තියෙනවා. කොටින්ම කිව්වොත් පික්මී පවා දුවල තියෙනවා. ඒ හැම දේම කරන්න ඕනෑ වුණේ මම ආස කරපු දේට ළංවෙන්න ඕනෑ හින්දයි. අටේ ඉඳල හය විතර වෙනකම් තියෙන රස්සාවකට කොටුවෙන්න වුණා නම් මට මේ වැඩේ කරන්න බැරි වෙනවා.


රස්සාවකටම කොටුවුණා නම් බණ්ඩව අපිට හම්බවෙන්නේ නැහැ?


ඇත්තටම නැහැ. ජොබ් එකකට යන්න පුළුවන්කම තිබුණා. මම ඒ මට්ටමට ඉගෙනගෙනත් තිබුණා. විවිධ රැකියාවලිනුත් මට කතා කළා. හැබැයි මට තිබුණේ ඒ රස්සාව කරන්න, නැතිනම් මගේ අරමුණට යන්න. මට මාව මකාගෙන වෙන තැනක නියෝජනයක් වෙලා ඉන්න හරි අමාරුයි. එතකොට මම මාව මරාගෙනනේ ඒ වැඩේ කරන්නේ. ඒ වැඩේ වෙන්නෙත් නැහැ. ඒ වැඩේ වුණත් මම සතුටින් නෙමෙයි ඉන්නේ. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍යවල වැඩ කරන්නම ඕනෑ හින්දයි, ඒව නැති දවසට කරන්න පුළුවන් රැකියාවල් හොයාගත්තේ.


මේ වෙනකොට ඔබේ වෘත්තිය රංගනය ද?


මේ වෙනකොට මම මගේ වෘත්තිය විදිහට රංගනය තමයි තෝරාගෙන තියෙන්නේ.


ඒ දවස්වල කාපු කට්ටෙ ප්‍රතිඵලයක් තියෙනවා කියලා හිතනවාද?


ඔව්. ඇත්තටම ඒ කාපු කට්ටෙ ප්‍රතිඵල තමයි මම මේ දැන් අත්විඳින්නේ. ඒක එක දවසකින් දෙකකින් මාසෙකින් හැදුණු දෙයක් නෙමෙයි. කලාවට ඇලුම් කරපු දවසේ ඉඳලා වෙච්ච මහන්සියේ ප්‍රතිඵල තමයි මේ වෙනකොට මට ලැබෙන්නේ. ඒ ප්‍රතිඵල දැන් ලැබුණත් ඒ වෙනුවෙන් වැඩ කරන්නත් වෙනවා. ඒකත් ජීවිතයේ කට්ටක්. ඒකත් දිගටම කරන්නම වෙනවා.


නළුවා පවත්වාගෙන යෑමත් ලේසි නැහැ?


පැහැදිලිවම. රංගනය විතරක් නෙමෙයි, ඕනෑම රැකියාවක් ලේසි නැහැ. අපි හිතමු දේශපාලනඥයෙක් කියලා, ඔහුටත් අදාළ දේවල් ටික කරගෙන යන්න වෙනවානේ. මේක අපි තෝරාගත්ත පාරනේ. ඒ පාරෙ අපිට යන්න වෙනවා. ඒක කටුකයි කියලා මඟහැරලා දැම්මොත් ඉතිං ඒ ගමන එතැනින් ඉවර වෙනවානේ.


දැන් ඔබ ජනප්‍රිය නළුවා වෙලා ඉවරයි. හොඳම නළුවා සම්මානය ගන්න අදහසක් නැතිද?


ඔව්. එහෙම අවශ්‍යතාවයක් තියෙනවා. ඇත්තටම මම හොඳම නළුවා සම්මානය වේදිකා නාට්‍ය කිහිපයකදීම අරගෙන තියෙනවා. ඒක ටෙලි තිරයක දකින එකත් මගේ හීනයක් වගේම මගේ ප්‍රේක්‍ෂකයන්ගේ හීනයක්. ඒක අපි බලමු. යථා කාලයේදී හරි විදිහට නියම තැනකදී සිද්ධ වේවි කියල බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ගොඩක් දෙනෙක් දන්නේ නැහැ ඔබේ වේදිකාවේ භූමිකාව ගැන. ඒක ලේසි නැහැ?


මේ දවස්වල දයාසිරි වික්‍රමරත්නගේ ‘හරිම බඩු තුනක්’, ධර්මප්‍රිය ඩයස්ගේ ‘මම නෙමෙයි වෙන කෙනෙක්’, චාලක රණසූරියගේ ‘සඳුදා වැටෙන්නේ සිකුරාදට’, ධනංජය කරුණාරත්නගේ සිහින රඟහල කියන නාට්‍යත් ඇත්තටම ‘ලාස්ට් බස් එකේ කතාව’, ‘චන්‍ද්‍රවතී සමඟ රාත්‍රියක්’, ‘වැලන්ටයින් එනකම්’, ‘ඔබ සාපේක්‍ෂයි’, ‘දුවන උන් දෙන්නෙක්’ කියන කෙටි නාට්‍ය 5 ත් තමයි තියෙන්නේ. ඉතිං චන්‍ද්‍රාවතී සමඟ රාත්‍රියක් කියන නාට්‍යය තියෙනවා සැප්තැම්බර් 15, 16 කියන දවස් දෙකේ ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී.


ලංකාවෙන් යන්නේ ජාත්‍යන්තර වැඩකට ද?


නැහැ. ජාත්‍යන්තර වැඩකට නෙමෙයි. ලංකාවේ හිටපු නිෂ්පාදකවරයෙක්, ඔහුගේ පළමු චිත්‍රපටය නිර්මාණය කරනවා. චාලක තමයි ඔහුගේ නම. ඔහුගේ පළමුවැනි චිත්‍රපටය ඔස්ට්‍රේලියාවේ තමයි රූගතකිරීම් සිද්ධ වෙන්නේ. මම, නයනතාරා, වසන්ත විට්ටච්චි වගේ කිහිපදෙනෙක් සහභාගි වෙනවා. බුද්ධදාස විතානාච්චි මහත්මයා එහෙන් සම්බන්ධ වෙනවා.

 දිනේෂ් විතාන





Previous Post Next Post