අකමැති වෙනව කියන්නෙත් කැමැත්තක් ම තමයි-සම්පත් ජයවීර




රංගනය කියන්නෙ හදාරමින් වැඩ කළ යුතු ක්ෂේත්‍රයක්...“ මෙහෙම කියන්නෙ වේදිකාව, පුංචි තිරය හා සිනමාව තුළ තමන් නිරූපණය කරන සෑම චරිතයකටම උපරිම සාධාරණය ඉටු කරමින් ප්‍රේක්ෂක විචාරක අවධානයට නිරන්තරයෙන් පාත්‍ර වන රංගන ශිල්පි සම්පත් ජයවීර. කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ප්‍රදේශයේ ඉපිද අවිස්සාවේල්ල සීතාවක මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු මුලින්ම රූපවාහිනියට එක් වූයේ ශ්‍රීනාත් මද්දුමගේගෙ අපේ කාලෙ අවුරුද්ද සහ ජයන්ත චන්ද්‍රසිරිගෙ රැජින ටෙලි නිර්මාණ හරහායි. මේ දිනවල කෝලම් කුට්ටම සහ කොඩි ගහ යට ටෙලි නාට්‍යය හරහා රසික ආලින්දයට ගොඩවන සම්පත් “නැතුව බැරි මිනිහෙක්, ජූලි මාසෙ දවසක්, මම නෙවෙයි වෙන කෙනෙක්, සහ ලෝරන්ස්ගේ මනමාලි“ වේදිකා නාට්‍යය සමඟින් රට වටා සංචාරය කරනවා.


 වසර විසි පහක කලාවේ දීර්ඝ ගමනක යෙදුණ කෙනෙක් ලෙස අද මොකද හිතෙන්නෙ.?


මගෙ හැකියාවෙන් ලොකු ගමනක් ඇවිල්ල තියෙනවා. සම්මාන ලැබුණත් නැතත් කරන වැඩේ හරියට කරන්නයි මට ඕන.


චරිතවලට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවල විවිධත්වය ඔබට දැනෙන්නෙ කොහොමද?


කෝලම් කුට්ටමේ 'දොලේ බොස්'ට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෑතකදී අවසන් වුණ 'කී'ටෙලි නාට්‍යයේ චරිතයට 'දැක්කාම ගහන්න හිතෙනව' වගේ ප්‍රතිචාර ලැබෙනවා. යම් චරිතයකට අකමැති වෙනවා කියලා කියන්නෙත් ආදරේ තමයි. ඒ කියන්නෙ රංගනය ඇතුළෙ ශිල්පියා සාර්ථකයි.


 ඔබ නිර්මාණ තෝරාගෙනද රඟපාන්නෙ.?


අද වෙනකොට මම වෘත්තීමය රංගන ශිල්පියෙක් නිසා ලොකු තේරීමක් කරන්නෙ නැහැ. මං හිතන්නේ දැන් එහෙම තෝරා බේරා ගැනීම් කරන්න අපහසුයි. කාල ‍ෙව්ලාව තියෙන විදිහට නිර්මාණ භාරගන්නවා. හැබැයි පිටපත, සහභාගි වන ශිල්පීන් ගැන යම් අවබෝධයක් ලබා ගන්නවා.


 ඉගිළෙන මාළුවෝ චිත්‍රපටයේ නිරූපණය කළ ආන්දෝලනාත්මක චරිතය ගැන පසුතැවීමක් තියෙනවද.?


අපෝ නැහැ. මම කැමැත්තෙන් ඒ චරිතයට සම්බන්ධ වුණේ. පසුතැවීමක් එදා තිබුණෙත් නෑ. අදත් නැහැ.


 නාලිකවල ඉන්නෙ එකම මුහුණු ටිකක් කියන අදහස ඔබ පිළිගන්නවද.?


හැම නාලිකාවක්ම ඔවුන්ට ආවේණික විදියට සම්බන්ධතා ජාලයක් හදාගෙන තියෙනවා..'Good or bad publicity is good'කියල ප්‍රකාශයක් තියෙනවා. අවුරුදු කුමර කුමරියෝ, රියැලිටි තරග ජයග්‍රාහකයො, පෞද්ගලික වීඩියෝ වයිරල් වුණ අයත් රඟපානවා. සමහර නාලිකා වල වැඩසටහනකට නොගොස් වෙනත් නාලිකාවකට යන ශිල්පීන්ට ටෙලි නාට්‍යවල චරිත දෙන්නෙ නැහැ. නිෂ්පාදකවරුන් තමන් වියදම් කරන මුදලට කැමති ශිල්පීන්ව තමයි ගන්නෙ. සමහර අධ්‍යක්ෂකවරුත් තමන්ගෙ නිර්මාණයට එකතු කරගන්නෙ එකම ශිල්පීන්.


ඒක ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් නෙවෙයිද.?


ඇතැම් රටවල ප්‍රේක්ෂකයන්ට අවර ගණයේ නිර්මාණ විකාශනය කරන නාලිකාවලට එරෙහිව නඩු පවරන්න පුළුවන්. හැබැයි ලංකාවෙ මිනිස්සුත් දෙන දේ බලන්න හුරු වෙලා ඉන්නෙ. මේක මගෙ වෘත්තිය නිසා මමත් දීර්ඝ ටෙලි නාට්‍යවල රඟපානවා. හැබැයි මට මම කරන දේ සම්බන්ධයෙන් ස්වයං විවේචනයක් තියෙනවා. මම රඟපාන හැම ටෙලිනාට්‍යක්ම හොඳයි කියන්නෙ නෑ.


 වේදිකාවෙන් ක්ෂේත්‍රයට ඇවිත් එය අතෑරපු අය බොහොමයක් හිටියත් ඔබ දිගටම වේදිකාව අත්හැරියෙ නැත්තෙ ඇයි.?


ටෙලිනාට්‍යය භාරගන්නකොට ඒවයෙ ගුණාත්මකභාවය ගැන වැඩිය හිතුවෙ නැතත් වේදිකාව තුළ මම දායකත්වය ලබා දුන්න හැම නිර්මාණයක්ම විශිෂ්ටයි. රාජිත දිසානායක , ධර්මප්‍රිය ඩයස්, අතුල පතිරණ ඇතුළු නිර්මාණකරුවන් ගණනාවක් සමඟ මම වැඩ කළා. වේදිකාව කියන්නෙම අභ්‍යාසගත වීමක්.


 

'ජෝඩු ජෝඩු' වේදිකා නාට්‍යයෙන් පස්සෙ ඔබේ අධ්‍යක්ෂණ භූමිකාවට මොකක් වෙයිද.?


චිත්‍රපටයක් සහ ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.


 

පෞද්ගලික ජීවිතයෙ මුහුණ දුන්න අත්දැකීම් ගැන පසුතැවීමක් තියෙනවද .?


පසුතැවීමක් තියෙනවා. අපි කරන දේවල් හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. හැබැයි තැවි තැවී ඉන්නවා කියලා එකක් නැහැ. අපි හැමෝම ජීවිතේ ඉස්සරහට යන්න ඕනේ.


 

ඉදිරියේදි එන්න තියෙන නිර්මාණ මොනවද.?


මේ වෙන කොට ජාත්‍යන්තර සම්මාන කීපයක්ම ලබා ගෙන තියෙන ජගත් මනුවර්ණගෙ "රහස් කියන කඳු" චිත්‍රපටය සහ ටෙලි නාට්‍යය කීපයක් ඉදිරියට එන්න තියෙනවා.





Previous Post Next Post