විනූට අලුත් තනතුරක් ලැබෙන්න යනවලු-විනූ උදානි




විනූ කියන්නේ රංගන ක්ෂේත්‍රයේ ඉන්න අතිශයින්ම ජනප්‍රිය චරිතයක්. ඒ වගේම ඇය මේ දිනවල යූටියුබ් එකෙත් බොහෝම ජනප්‍රියයි. ඒ අලුත්ම ආකාරයේ කෑම හදන්න කියලා දෙන සූපවේදිනියක් විදිහට. ඒ රසබර තොරතුරු දැන ගන්න “පුංචි තිරයේ චෙෆ් විනූ“ එක්ක කතා කළා. 


මොකක්ද ඔබේ අලුත්ම රස රහස.


මේ දවස්වල ගොඩක් අය කතා වෙනවා මම හදපු කෑමක් ගැන. මගේ සැමියා වැඩසටහන්වලට ගියාම ගොඩක් වෙලාවට කියන දෙයක් තමයි මට රසට උයන්න පුළුවන් මම Food Hacker කෙනෙක් කියලා. ඔහු එහෙම කියන්නේ මම කොහේ හරි ගිහින් කෑමක් කාලා ආවාම, ඒ කෑම එක ගෙදරදි හදන්න උත්සාහ කරනවා. මම කවදත් උයන්න කැමතියි. ඒ වගේම මගෙ සැමියා මම උයන දේවල් කන්නත් කැමතියි. මම හිතුවා මම රසට උයන දේවල් මගේ ආදරණීය ප්‍රේක්ෂකයන් එක්කත් බෙදාගන්න ඕනේ කියලා. ඒ නිසයි මගේ යූටියුබ් චැනල් එක හරහා අලුත් අලුත් කෑම වට්ටෝරු ගැන කියලා දෙන්න පටන් ගත්තේ. දැන් ඒකට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.


නිළියක් වුණ ඔබ සූපවේදිනියක් වුණේ කොහොමද?


අපේ අම්මා නිතර කියන දෙයක් තමයි මට හොඳ අත් ගුණයක් තියෙනවා කියන එක. අම්මලත් එක්ක ගෙදර ඉන්න කාලේ මම හුඟක් කාර්යබහුල කෙනෙක්. ඒ කාලේ මම කළේ අත්උදවු දෙන එක විතරයි. කොරෝනා කාලේදී හැම ක්ෂේත්‍රයකම වැඩ අඩු වෙනකොට තමයි මම උයන පැත්තට නැඹුරු වුණේ. ඒ කාලේදී තමයි මට කසුන්ව හමුවෙන්නෙත්. මම හිතුවා කෑම පිසීම කියන්නේ බිරිඳකගේ වගකීමක් කියලා. මම එහෙම හිතුවේ විවාහ වෙන්නත් කලින් සිටමයි. ගෙදර ඉන්න කාලේ ඉඳලම මම අලුත් අලුත් කෑම අත්හදා බලන්න පටන් ගත්තා.


 

ඔබ දැන් වැඩි නැඹුරුතාවක් දක්වන්නේ ටෙලිනාට්‍ය රංගන ශිල්පයට වඩා, සාමාජ මාධ්‍ය තුළ ඉදිරිපත් කිරීම්වලටද?


මම ගොඩාක්ම පෙනී සිටියේ ටෙලි නාට්‍ය සහ සිනමාව කියන ක්ෂේත්‍ර දෙකේ. අද වෙනකොට මම වැඩි වශයෙන් පෙනී ඉන්නේ නිවේදන සහ වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදිහට. ස්වාධීන රූපවාහිනී සේවයේ සහ ස්වර්ණවාහිනී නාලිකාවේත් මම වැඩසටහන් කීපයක්ම කරනවා. ඊට අමතරව මම ටෙලි නාට්‍යවලට වඩා සිනමා රංගනයට තමයි වැඩිපුරම කැමැති.


 

ඔබ රූ රැජිනක් ලෙස කිරුළු දැරූ කෙනෙක් නේද?


මම 2012 දී තමයි ඒ කිරුළ දරන්නේ “දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා“ විදිහට මම තෙරී පත්වෙනවා. ඒ තරගයේ ඉන්න මුල් කාලයේදී තමයි මට ටෙලි නාට්‍ය සඳහා ආරාධනා ලැබෙන්නේ. ටෙලි නාට්‍ය වල රඟපාන්න අදහසක් මට ඒ දවස්වල තිබුණේ නැ. නමුත් රූ රැජින ලෙස තේරී පත් වුණාට පස්සේ එම නාලිකාවෙන්ම මට තවත් ටෙලි නාට්‍යකට ආරාධනා ලැබෙනවා. මාව නිළියක් ලෙස හඳුන්වා දෙන්නේ දෙරණ රූපවාහිනි නාලිකාව. ඒ කාලේ මම තරුමලී විදිහට ජනප්‍රිය වෙනවා.


 ඔබ 2019 දී නෙල්සන් මැන්ඩෙලා සාම තානාපතිනිය ලෙස පත්වෙනවා. ඒ ගැනත් කතා කළොත්?


ඒක මට ලැබුණු සුවිශේෂී තෑග්ගක්. මට ඒ උත්සවයට පැමිණෙන්න කියලා විතරයි ආරාධනා ලැබෙන්නේ. ගියාම තමයි දන්නේ මට ඒ වගේ තනතුරක් ලැබෙනවා කියලා. ඒක මගේ ජීවිතයේ අමතක නොවන දවසක්. මම හිතනවා මගෙන් ක්ෂේත්‍රයට කළයුතු දේවල් මම කරලා තියනවා කියලා. ඒ නිසා ලැබුණු ඇගයීමක් කියලා. ඒ වගේම ළඟදීම ඒ හා සමාන තවත් තනතුරක් ලැබෙන්න නියමිතයි. ඒක ලැබුණාට පස්සේ කියන්නම්.


 ඔබේ සැමියා කසුන්ගෙන් ලැබෙන්නේ මොන වගේ සහායක් ද?


මං හිතන්නේ ජීවිතයේ ලැබුණු තෑගි අතර හොඳම තෑග්ග තමයි මගේ සැමියා. එයා හොඳ සහයෝගයක් දෙනවා මගේ වැඩවලට. එයා බොහෝම අමාරුවෙන්, මහන්සියෙන් ජීවිතය ජයගත් කෙනෙක්. එයා දන්නවා ජීවත් වෙන්න ඕනේ කොහොමද කියලා. මාත් එක්ක උත්සවවලට ගියාම මට වඩා ප්‍රතිචාර තියෙන්නේ එයාට. ඒ තරමට එයා හරිම එකමුතුයි හැමෝම එක්ක. එයා තමන්ගේ මවුපියන්ට වගේම මගේ මවුපියන් ගැනත් සොයා බලනවා. මම හුඟක් වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් මගේ සැමියා වුණ එක ගැන.





Previous Post Next Post