මේ අවුරුද්දේ අග මම එයාගෙ ළඟට යනවා-කාවින්ද්‍යා දුල්ෂානි




ජනප්‍රිය රංගන ශිල්පිනි කාවින්ද්‍යා දුල්ෂානි පසුගියදා යුග දිවියට ඇතුළත් වුණා. කාවින්ද්‍යාගේ අත ගත් වාසනාවන්තයා තමයි බුද්ධික ජයවර්ධන. ඉතින් ආදරණීය සැමියත් ළඟින්ම තියාගෙන අලුතින් පටන් ගත්ත විවාහ ජීවිතේ රසමුසු තැන් හදගැස්ම අපත් සමඟ බෙදා ගන්නට ඇය අමතක කළේ නැහැ. 


ඔයත් දැන් ආදරණීය බිරියක්.  කොහොමද ඔයාට බුද්ධිකව මුණගැහෙන්නේ කියන තැනින්ම අපි කතාව පටන්ගමු නේද?


ජීවිතේ නම් සුන්දරයි. හරිම සතුටින් කාලේ ගෙවෙනවා මේ ටිකේ නම්. මගේ ආදරණීය සැමියා බුද්ධික සින්දු ලියන කෙනෙක්. ඒ වගේම නිෂ්පාදකවරයෙක්. එයාම ලියපු සින්දුවක මියුසික් වීඩියෝ එකකට මාව සම්බන්ධ කරගන්නවා. ඉතින් එයා මාව සම්බන්ධ කරගන්නත් හේතුව එයා මීට අවුරුදු දෙකකට ඉස්සෙල්ලම මාව ෆලෝ කරලා තියෙනවා. ඒ කියන්නේ මට කැමැත්තෙන් ඉඳලා තියෙනවා. මං කරන වැඩ එහෙම බලලා තියෙනවා. එහෙම ඉඳලා තමයි මට එයාගේම වැඩකට කතා කරලා, ඒත් එක්කම කතාබහක් ඇති වෙලා තමයි අපි දෙන්නා ආශ්‍රය කරන්න පටන් ගත්තේ. ඒ කතාබහ ඉතින් ආදරේකට පෙරළෙනවා හරිම සුන්දර විදිහට. ඉතින් ඒ ආදරේ නිසාම අපි දෙන්නා විවාහ වෙනවා.


එතකොට කාවින්ද්‍යා විවාහයත් එක්කම කලාවට සමුදෙන්නද හිතාගෙන ඉන්නේ?


නැහැ. කලාවට සමුදෙන්නේ නම් නැහැ. ඒ වගේම කොහෙත්ම කලාවට සමුදෙන්න ඕනෑ වෙන්නෙත් නැහැ. මම වගේම බුද්ධිකත් කලාවට ළෙන්ගතු කෙනෙක්. ඉතින් එයත් කැමැති මම දිගටම කලාව එක්ක ඉන්නවට. හැබැයි වැඩි කාලයක් එයා වෙනුවෙන් වෙන් කරන්න වෙනවා. ඒ කියන්නේ වැඩි කාලයක් අපේ විවාහ ජීවිතයට දෙන්න වෙනවා. මොකද එයා දැනට ජීවත් වෙන්නේ වෙන රටකනේ. ඉතින් කලාවට වඩා වැඩි කාලයක් පවුල් ජීවිතේ වෙනුවෙන් කැප කරන්න වෙනවා. ඉතින් ඒ කැපකිරීම මම බොහෝම ආසාවෙන්, ආදරෙන් කරන්න බලාපොරොත්තු වෙනවා.


ඒ කියන්නේ කාවින්ද්‍යාත් ඉක්මනින්ම ලංකාව හැර සදහටම මෙල්බර්න් යනවද?


මෙහෙමයි, විවාහයත් එක්කම අපි දෙන්නා ප්ලෑන් කරලා තියෙන්නේ අපි දෙන්නා එක තැනකට එන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසාම අනිවාර්යයෙන්ම මේ අවුරුද්දේ අග වෙනකොටවත් මට එයා ළඟට යන්න වෙනවා. ඒ වුණත් මම නිතර ඉතින් ලංකාවට එනවා යනවා. ඒ අතරතුර කලාවට සම්බන්ධ වෙනවා’ එහෙම තමයි ඉතින්.


කාවින්ද්‍යා වෙඩින් එක දවසේ වැඩිපුරම නැටුවේ ආදරණීය මාමණ්ඩිත් එක්ක. කියමුද ඒ ලස්සන ඩාන්ස් ගැනත් පොඩ්ඩක්?


ඇත්තටම ඔව් අනේ. ඒක හරිම සුන්දර අත්දැකීමක්. ඇත්තටම බුද්ධිකට වඩා බුද්ධිකගේ තාත්තට තමයි ලස්සනට නටන්න පුළුවන්. බුද්ධිකම තමයි තාත්තවයි මාවයි ඩාන්සින් ෆ්ලෝ එකට ඇදල අරගෙන ඩාන්ස් කරන්න සෙට් කළේ. ඒ ඩාන්ස් එක නම් අමතක කරන්නම බැරි ලස්සනම මතක සටහනක්.


ඉතින් ඔබව හොයාගෙන ආපු බුද්ධික ගැන මොනවද කියන්න තියෙන්නේ?


ඇත්තටම මගේ ජීවිතේ අම්මටයි තාත්තටයි පස්සේ මට ලැබුණු වටිනම දේ තමයි ඔහු. ඇත්තටම බුද්ධික වගේ කෙනෙක් ලබන්න මම වාසනාවන්ත වුණා කියලා හිතුවම හරිම සතුටුයි. ජීවිතේ පටන් ගන්නේ එයත් එක්ක. ජීවත් වෙන්න පටන් ගන්නේ එයත් එක්ක. ඒක වචනවලට පෙරළන්න තේරෙන්නේ නැහැ.


කාවින්ද්‍යා බුද්ධික ගැන කියනකොට ටිකක් විතර හැඟීම්බර වුණා නේද, ඉතින් කාවින්ද්‍යාට මේ තරම් වටිනා දෙයක් හම්බ වෙන්නේම කලාව නිසා, ඒ නිසාම කලාවට ආවේ කොහොමද කියලා මතක් කරමු නේද?


ඔව්. එහෙම තමයි වටින දේවල් ගැන කතා කරද්දී ටිකක් සෙන්සිටිව් වෙනවනේ. ඇත්තටම මම කලාවට එන්නේ 2015 ITN අවුරුදු කුමාරි තරගය හරහා. මම අන්තිම ‍ෙදාළොස් දෙනා අතරට තේරෙනවා. ඊට පස්සේ ඒ නාළිකාවේ ටෙලි නාට්‍යයකට අන්තිම ‍ෙදාළොස් දෙනා අතරින් කෙනෙක් තෝරනවා. ඒ සඳහා මට අවස්ථාව ලැබෙනවා. ඒ ටෙලිනාට්‍යයේ නම මේඝා, ඊට පස්සේ නිසල සඳ ඔබ, මුතුමලී, පැහැසරා සහ සිඳු කියන ටෙලිනාට්‍ය හරහා ජනතාව ආදරේ කරන චරිත නිරූපණය කරන්න මට පුළුවන් වෙනවා. ඒ විදිහට තමයි මම කලාව සමඟ බැඳෙන්න පටන් ගන්නේ.


ඒත් එක්කම කාවින්ද්‍යා මේ දවස්වල කලා කටයුතු ගැනත් අපි මතක් කරමු නේද?


උතුරු සුළඟ කියන මගේ පළමුවැනි සිනමා පටය ඊයේ පෙරේදා වෙනකොට සිනමාශාලාවලට ආවා. ඒ වගේම මේ දවස්වල කෝලම් කුට්ටම කියන ටෙලිනාට්‍ය ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා. ඒ සඳහා ගොඩාක් හොඳ ප්‍රතිචාරත් ලැබෙනවා. ඒ වගේම අනිච්චාවත සංඛාරා කියන ටෙලිනාට්‍ය ජාතික රූපවාහිනියේ විකාශය වෙන්න පටන් ගන්නවා. ඒවා තමයි ඉතින් මේ දවස්වල කලා කටයුතු.


ඒ වගේම පවුලේ විස්තර දැනගන්නත් ඔබට ආදරේ කරන හැමෝම බලාගෙන ඉන්නවා?


මම තමයි ඉතින් ගෙදර ලොකු අක්කා. අම්මයි තාත්තයි නංගිලා තුන්දෙනයි තමයි මට ඉන්නේ. දැන් ඉතින් මගේ හස්බන්ඩ් එයාගේ මවුපියන් ඇතුළුව මගේ ආදරණීය පවුල අංගසම්පූර්ණයි.


දූවරුම හතර දෙනෙක් ඉන්න පවුලක ලොකු දුව විදිහට කාවින්ද්‍යා රංගනයට එනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?


මුලදි මගේ තාත්තා නම් අකැමැති වුණා මම රඟපානවට. ඒත් මගේ රඟපෑම දැකලා ගොඩාක් අය මං ගැන කතා කරන්න පටන් ගත්තා. ඒ චරිතවලට ආදරේ කරන්න ගත්තා. ඒත් එක්කම තාත්තත් මගේ හොඳ ප්‍රේක්‍ෂකයෙක් වුණා. පස්සේ මගේ කලා කටයුතුවලට ලොකුම ශක්තිය වුණෙත් මගේ ආදරණීය තාත්තා. ඒ වගේම මගේ හස්බන්ඩ් බුද්ධිකත් කලාව ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නිසා ඔහුගෙන් ලැබෙන සහායත් දැන් මට පුදුම ශක්තියක්.


දුලී සමන්මලී නැලිගම





Previous Post Next Post