අධ්‍යක්ෂණය කියන වැඩේ නොවුණෙම මගේ කම්මැළිකම නිසා-ලාල් කුලරත්න




ලාංකේය සිංහල සිනමාව, වේදිකාව සහ ටෙලිනාට්‍ය තුළ සිය අනන්‍යතාව ගොඩනඟාගත් මේ අපූරු කලාකරුවා බොහෝ දෙනකු හ¾දුනන්නේ සුහද කොකා චිත්‍රපටයේ ලියන මහත්තයා සහ බට්ටි ටෙලිනාට්‍යයේ අදිරියෙං ලෙසින්ය. වෘත්තියෙන් ගුරුවරයකු වූ මොහු වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය බොහොමයකට සිය රංගන දායකත්වය ලබාදී ඇත. ප්‍රේක්ෂකයන්ගේ ජනාදරයට පත්වූ කලාකරුවකු ලෙස හැඳින්විය හැකි මොහු නමින් ලාල් කුලරත්නය. මේ සො¾දුරු කලාකරුවා මෙවර හදගැස්මට අදහස් දැක්වූයේ මෙලෙසින්. කොහොමද මේ දවස්වල ගෙවන ජීවිතේ?


කලාකරුවෝ කියල වෙනසක් නැහැ. රටේ පවතින තත්ත්වය එක්ක අනෙක් මිනිස්සු වගේම අපිත් ජීවත් වෙනවා. නමුත් සතුටෙන් ඉන්නවා.


මේ දිනවල ඔබ නිරතවන කලා කටයුතු ගැන කතා කරමුද?               


ඇත්තටම මේ දිනවල හිරු රූපවාහිනි නාළිකාවේ විකාශය වන ටෙලිනාට්‍යකට රංගනයෙන් දායකවනවා. එහි විදුහල්පතිවරයාගේ චරිතයටයි මම රංගනයෙන් දායක වන්නේ. නමුත් ඉස්සර තරම්ම දැන් කලා කටයුතුවලට සම්බන්ධවනවා අඩුයි.


ඔබ රංගනයෙන් දායක වූ චිත්‍රපට සහ ටෙලිනාට්‍යවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


සුහද කොකා වගේ චිත්‍රපටවලට මිනිස්සු ගොඩාක් කැමැතියි. ලියන මහත්තයගේ චරිතයට ගොඩාක් හොඳ ප්‍රතිචාර ලැබුණා. බට්ටි ටෙලිනාට්‍යයේ අදිරියංගේ චරිතයත් ඒ වගේ. තවමත් මිනිස්සු ඒ චරිතයට ආදරෙයි. ඒ වගේ චරිත මෑතකදී නම් මට හමුවුණේ නැහැ. ඒ වගේ නිර්මාණත් දැන් දැන් බිහිවනවා අඩුයි.


ක්ෂේත්‍රයේ  ප්‍රවීණ රංගන ශිල්පියකු ලෙස ඔබ දායක වූ චිත්‍රපට ගැන කතා කළොත්?


චිත්‍රපට කිහිපයකටම මම රංගනයෙන් දායක වෙලා තිබෙනවා. සමහර චරිත නම් ප්‍රේක්ෂකයන්ට තවමත් එදා වගේම මතකයි. වලාපටල චිත්‍රපටයේ සැරයන් බණ්ඩා, සුහද කොකා චිත්‍රපටයේ ලියන මහත්තයා, සුදු කළුවර චිත්‍රපටයේ හීන් මැණිකේගේ තාත්තා, ගිනි අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ පද්මෙගේ සහකාරයා වැනි චිත්‍රපට කිහිපයකටම රංගනයෙන් දායක වුණා. සිකුරු හතේ චිත්‍රපටයේත් පොඩි චරිතයකට රංගනයෙන් දායක වුණා. නමුත් ඒ චරිතයට ගොඩාක් ප්‍රේක්ෂකයෝ ආදරෙයි. මොකද චරිතයක දිග පළල නෙවෙයි වැදගත් වන්නේ ඒ පුද්ගලයාගේ රංගන හැකියාව.


ඔබට ලැබුණ සම්මාන ගැන කතා කළොත්?


ජයලත් මනෝරත්නයන්ගේ තලමල පිපිලා නාට්‍යයේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය මම දිනාගත්තා. ඒ වගේම අශෝක හඳගම මහත්මාගේ නැඟෙනහිර වෙරළෙන් ඇසෙන ටෙලිනාට්‍යයේද  හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනාගත්තා.


දක්ෂ චරිතාංග නළුවකු ලෙස ඔබ චරිත තෝරාගැනීමේදී සැලකිලිමත් වන දේවල් මොනවාද?


මම වෘත්තියෙන් ගුරුවරයෙක්. දැන්නම් සේවය කරන්නේ නැහැ. නමුත් චරිත තෝරාගැනීමේදී ආපහු රැකියාවට යන්නට හැකි මට්ටමේ චරිත තමයි මම තෝරාගත්තේ. අපට ඉස්සර නම් පිටපත චරිතයට තෝරාගැනීමේදීම ලැබුණා. නමුත් දැන්නම් එහෙම ලැබෙන්නේ නැහැ. ඒ නිසා අධ්‍යක්ෂ දෙස බලලා තමයි තීරණ ගන්න වෙලා තියෙන්නේ. එහි හොඳ සහ නරක දෙපැත්තම තිබෙනවා. ඒ වගේම දක්ෂ රංගන ශිල්පියකුට හැකියි ඕනෑම දුර්වල පිටපතක් වුවත් සාර්ථක නිර්මාණයක් කරන්න.


ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු ලෙස වර්තමාන නළු නිළියන් එක්ක වැඩ කරන එක ඔබට මොන වගේ අත්දැකීමක්ද?


පෞද්ගලිකව මට නම් කිසිම දවසක ගැටලුවක් ඇතිවෙලා නැහැ. සාමාන්‍ය හැසිරීමේදී නම් පරම්පරා ගැටුම හැරෙන්නට වෙන දෙයක් මම දකින්නේ නහැ.  


වර්තමාන නළු නිළියන් රඟපෑමේදී නම් අත්දැකීම් මදිකම මත යම් යම් ගැටලු මතුවනවා. අපි වසර ගණනක්ම වේදිකාවෙන් අත්දැකීම් ලබාගෙනයි ටෙලිනාට්‍යට ආවේ. නව පරම්පරාවට ඒ සම්බන්ධයෙන් ‍ෙදාස් පවරා වැඩක් නැහැ. මොකද ඔවුන්ට ඒ අවස්ථාව ලබාගන්නට දැන් අවස්ථාවක් නැහැ. තවත් පිරිසකට රංගන හැකියාව කියන දේ උපතින්ම ලැබෙන දෙයක්.


හොඳ තිර පිටපත් අඩුයි කියලා සමාජයේ මතයක් තිබෙනවා. ඒ ගැන ඔබ මොකද හිතන්නේ?


හොඳ තිර පිටපත් දැන් ඇත්තටම නැති තරම්. මම ප්‍රාදේශීය සභාවේ වැඩ කරන කාලයේදී බස්නාහිර පළාතේ නාට්‍ය වැඩමුළු තුනක් කළා. රංගනය, අධ්‍යක්ෂණය, තිර රචනය, මේකප් කිරීම පිළිබඳවයි වැඩමුළුව පැවතුණේ. නමුත් තිර රචනයට කිසිම කෙනෙක් යොමු වුණේ නැහැ. සාර්ථක කලා නිර්මාණයක් බිහිවෙන්නට හොඳ තිර පිටපතක් අවශ්‍යයි. නමුත් දැන් දැන් තිර රචනයට යොමුවන පිරිසත් අඩුවෙලයි තිබෙන්නේ.


ක්ෂේත්‍රය තුළ ඔබ පැමිණි ගමන්මඟ පිළිබඳව තෘප්තිමත්ද?


වේදිකා නාට්‍ය, සිනමාව සහ ටෙලිනාට්‍ය කලින් තිබූ තත්ත්වයෙන් නම් ඇත්තටම දැකගන්න නැහැ. පිරිහීම් සහ යළි නැඟිටීම් ඕනෑම දෙයක දකින්නට ලැබෙනවා. රැල්ලක් ලෙස පොදුවේ මේ සෑම ක්ෂේත්‍රයක් තුළම පිරිහීමක් නම් දැකගත හැකියි.


ඔබ දීර්ඝ කාලයක් වේදිකා නාට්‍ය, ටෙලිනාට්‍ය සහ සිනමාව තුළ රංගනයේ යෙදුණු රංගන ශිල්පියෙක්. නමුත් ඔබ අධ්‍යක්ෂණයට යොමු නොවුණේ ඇයි?


ප්‍රධානම හේතුව කම්මැළිකම. මම වේදිකා නාට්‍යයක පිටපතක් රචනා කරලා අවුරුදු පහළොවක් – විස්සක් වනවා. නමුත් ඒක අධ්‍යක්ෂණය කරන්න යොමු වුණේ නැහැ. මම ටෙලිනාට්‍ය කිහිපයකම පිටපත් රචනය සිදුකරලා තිබෙනවා. ඒ වගේම තීර්ත තරණය සහ ළෙන්ගතු අසපුව කියන ටෙලිනාට්‍ය නිෂ්පාදනය කළා. නමුත් අධ්‍යක්ෂණයට නම් ඇත්තටම මම කම්මැළියි.


රංගනය වෘත්තියක් ලෙස ඔබ දකිනවාද?


ලංකාවේ  වෘත්තීය රංගන ශිල්පියෝ නැහැ. මමත් වෘත්තියෙන් ගුරුවරයෙක්. යම් ආයතනයකින් වෘත්තීය මට්ටමේ පුහුණු සහතිකයක් රංගන ශිල්පියකුට ලැබෙන්නේ නැහැ. එසේත් නැතිනම් වෘත්තීය කලාකරුවකු වන්නට වසර දහයක්, පහළොවක් පමණ කාලයක් රංගන ක්ෂේත්‍රයේ නියැළුණු පුද්ගලයෙක් වීම අවශ්‍යයි. වෘත්තියක් ලෙස රංගන ක්ෂේත්‍රයේ නියැළුණු කිහිපදෙනෙක් සිටියත් ඇත්තටම වෘත්තියක් ලෙස රංගන ක්ෂේත්‍රයේ නියැළීම  දැන් නම් අපහසුයි.  


ඔබේ අනාගත බලාපොරොත්තු මොනවාද?


අධ්‍යක්ෂණයට යොමුවීමේ අදහසක් තිබෙනවා. මේ වන විට කෙටි ප්‍රහසන නාට්‍ය කිහිපයක්ම ලියලයි තිබෙන්නේ. ඉදිරියේදී ඒවා කරන්නත් බලාපොරොතුවක් තිබෙනවා. ඒ වගේම ලංකාව යළි තිබූ තත්ත්වයට ගෙන ඒමට අපට හැකි දෙයක් කරන්නත් බලාපොරොත්තු වනවා.


නිශානි සවින්දිකා රාජපක්ෂ




Previous Post Next Post