බොහෝ නිර්මාණකරුවන්ට මං ගැන වැරදි වැටහීම් තිබුණා-කමල් අද්දරආරච්චි




කමල් අද්දරආරච්චි සුවහසක් කලාකාමී හදවත් ස්පර්ශ කළ කලා ශිල්පියෙක් බව නොඅනුමානය. රංගන ශිල්පියෙකු ලෙස ජනාදරය හිමිකරගත් ඔහු ගායන ශිල්පියෙකු, නිවේදන ශිල්පියෙකු ලෙසද කලා ක්ෂේත්‍රය තුළ මතක සටහන් තැබුවෙකි. කලා නිර්මාණවලින් දැන් සුලබව දකින්න නොලැබුණ ද කලක් පුරාවට ඔහු තැබූ සටහන්වල ශක්තියෙන් පරම්පරා කිහිපයක් ඔහු දිනා තිබෙනවාට සැක නැත.මේ ඔහුගේ කලා ගමන තුළ තවත් සුවිශේෂී සටහනක් තබන්නට යන මොහොතකි. 


ඔබ කරන්න සූදානම් වන අලුත් වැඩේ ගැන මුලින්ම කතා කරමු?


මගේ පළමු ඒකපුද්ගල ගායන ප්‍රසංගය "ඔබයි මමයි" නමින් සැප්තැම්බර් මස 16 දින ප.ව 7ට බත්තරමුල්ල වෝටර්ස් ඒජ්හිදී පවත්වන්න කටයුතු සූදානම් කරගෙන යනවා. ඒකට තමයි මේ දිනවල වැඩි කාලයක් වෙන් කරලා තියෙන්නේ.


ඔබේ නිහැඳියාව බිඳලා මේ වගේ ප්‍රසංගයක් කරන්න විශේෂ අරමුණක් තියෙන්න ඇති?


මගේ රංගන ජීවිතයේ ගමන් මඟ දශක හතරකට වැඩියි. ඒ ගමන තුළ මම රංගනයෙන්, ගායනයෙන් නිර්මාණාත්මක දේවල් ප්‍රේක්ෂකයන්ට දීලා තියෙනවා. හොඳම නළුවා, හොඳම සහාය නළුවා වැනි සම්මාන වගේම මගේ ගායන ජීවිතයෙදී මගේ ප්‍රථම ගායනය වුණ උන්මාද වූ ගීතය වෙනුවෙන් මම හොඳම පසුබිම් ගායනයට හිමි සම්මානයත් දිනා ගෙන තිබෙනවා. නමුත් මට තේරුණා පසුගිය කාලය තුළ මගේ කලා ජීවිතය තුළ යම් උදාසීන බවක්, පොඩි කඩා වැටීමක්, තියෙනවා කියලා. විශේෂයෙන්ම මම දැකපු දෙයක් තමයි දේශපාලන, සාමාජීය විපර්යාසයන් එක්ක කලාවත් දුර්මුඛ වෙලා තිබ්බේ. ඒ තුළ මම නිහඬ ප්‍රතිපත්තියක හිටියා. මම හිතුවා නිහඬතාවය බිඳලා අලුත් වෙනස් වැඩක් කරන්න ඕනේ කියලා. මේ වගේ වෙනස් ප්‍රසංගයක් කරන්න හිතුවේ ඒ නිසයි.


මොකක්ද මේ තුළ ඔබ ගෙනෙන්න උත්සාහ කරන වෙනස?


ඇත්තටම අපේ රටේ මේ වගේ ප්‍රසංගයක් කරනවානම් කරන්න පුළුවන්කම තිබ්බේ කලාකරුවන් හතර දෙනෙක්ට විතරයි. ඒ තමයි විජය කුමාරතුංග,ෆ්‍රෙඩී සිල්වා සහ රුක්මණී දේවි. ඔවුන් දැන් ජීවතුන් අතර නැහැ. මම විතරයි මේ වගේ ප්‍රසංගයක් කරන්න ඉන්නේ. ඒක උදම් ඇනීමක් නෙමෙයි. එහෙම කියන්න හේතුව තමයි මම මේ ප්‍රසංගය තුළ මගේ ස්වතන්ත්‍ර ගීත, ටෙලි නාට්‍ය, චිත්‍රපට, වේදිකා නාට්‍යවලට මම ගැයූ ගීත, මම රංගනයෙන් සම්බන්ධ වුණ චිත්‍රපටවල පසුබිම් ගීත, ආදී ගීත විශාල සංඛ්‍යාවක් ගායනා කරනවා. මට ගායනයට තිබෙන වපසරිය වැඩියි. මම ගායනා කළ ස්වතන්ත්‍ර ගීත සෑහෙන සංඛ්‍යාවක් තියෙනවා. ඒ සමහර ගීත මම ජනප්‍රිය කරන්න උත්සාහ කළේ නැති ගීත. එවැනි ගීතත් මෙහිදී මම ගයනවා. ඒ ගීතවලටත් යළි ආලෝකයක් ලැබෙයි. ඇත්තටම මේක අතීත ආවර්ජනයක් කෙරෙන සජීවීව මගේ හඬ ඒ අතීතාවර්ජනයන්ට එකතු වෙන සුවිශේෂී ප්‍රසංගයක් කිව්වොත් හරි.


මෙවැනි ප්‍රසංගයක් කරන්න අදහස ආවේ ඔබටමද?


ගාල්ලේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් මට ආරාධනාවක් ආවා සංගීත සංදර්ශනයකට එක් වෙන්න කියලා. ඒකට වෙන කවුද එන්නේ ඇහුවම ඔවුන් මට කිව්වේ මං විතරයි එයට එන්නේ, මාත් එක්ක ඒ සංගීත සන්ධ්‍යාව ගත කරන්න ඕනේ කියලා. එතැනදි මම ගීත 35ක් විතර ගායනා කළා. ඒ සංගීත සන්ධ්‍යාව මට පර්යේෂණ කටයුත්තක් වගේ. ඇත්තටම වෛද්‍ය අරුණ තමයි මට මේ වගේ වැඩකට යම් උත්තේජනයක් ඇති කළේ.


ඔබ සම්බන්ධ වුණ නිර්මාණ ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්ත නිර්මාණ වුණා.මේ වැඩෙත් ප්‍රේක්ෂකයන් දිනා ගන්න වැඩක් වෙයිද?


අනිවාර්යෙන්ම විවිධ පරාසවල ගීත එකතු කරලා මේ වගේ වැඩක් කරන්න පුළුවන් වෙන කලා ශිල්පියෙක් නැහැ කියලා මට හිතෙන්නේ. මේක මගේ ප්‍රේක්ෂකයන්ට මගෙන් ලැබෙන ලොකු තිළිණයක්.මේ ප්‍රසංගය බලලා අලුත් මනසකින් එළියට යන්න මම අවස්ථාව උදා කරලා දෙනවා. තරුණයන්ට මේක පුදුමයක් ඇති කරන, ආනන්දජනක අත්දැකීමක් වෙයි. අනෙක් අයට තමන් තරුණ වුණා වගේ දැනෙයි. මේක ඕනෑම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් වැඩක්. මේ චමත්කාරය විඳලම බලන්න. ඒක මම කියනවට වඩා දැනෙයි. මේ ප්‍රසංගය බලලා එළියට යන පිරිසව මම එළියට යවන්නේ රැයක් පුරාවටම ඒ ප්‍රසංගය ගැන හිත හිත ඉන්න ඉඩ හැරලා.


ඔබ දශක හතරකට එහා කාලයක් ගත කරනවා මෙවැනි දෙයක් කරන්න. හොඳ රසාස්වාදනයකට මඟ කියන්න මෙයත් හොඳ සන්ධිස්ථානයක් වෙයිද?


මේ කාලය නිර්මාණාත්මක දේවල්වලට,ගුණාත්මක දේවල්වලට යම් පහරක් වැදිලා තියෙන කාලයක්. කලාව තුළ යම් ප්‍රමිතියක් ඇති කරන්න අවශ්‍යතාවය තියෙනවා .දෙන ඕන දෙයක් ගන්නේ නැතුව,තෝරලා යමක් විඳින තැනට ප්‍රේක්ෂකයාව පත් කරන්න ඕනේ. මම හිතනවා හොඳ දේවල් තෝරාගන්න මානසික තත්ත්වයක් මේ වගේ වැඩ ඇතුළේ ඇති කරන්න පුළුවන් කියලා.


මෙහිදී ඔබට සහාය වෙන පිරිසකුත් ඉන්නවා ඇති නේද? 


මේ ප්‍රසංගයේ නිවේදකයෙකු නැහැ. මම තමයි ඒ ඉදිරිපත් කිරීම් කරන්නේ. මේක මගේ ඒකපුද්ගල ගායන ප්‍රසංගය. නමුත් මෙහි ගායනයෙන් සහාය වෙන්න ප්‍රවීණ ගායන ශිල්පිනි ඉන්ද්‍රානි පෙරේරා මහත්මිය, උරේෂා රවිහාරි සහ සුබුද්ධි ලක්මාලි එකතු වෙනවා. මෙහි සංගීතය මෙහෙය වන්නේ ප්‍රියන්ත ගමගේ. ආලෝකකරණයෙන් සජිත් කොඩිකාර සම්බන්ධ වෙනවා. පසුතල නිර්මාණය කරන්නේ මම. එහි සහාය කටයුතු සඳහා රොෂාන් සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ප්‍රසංගයට රතු රෝස ටෙලි නාට්‍යයේ මා එක්ක රංගනයට සම්බන්ධ වුණ වන්දනා ලියනගේ එක් වෙනවා. ඒ හැරුණාම සංගීතා වීරරත්න, පබෝධා සංදීපනි, දිල්හානී ඒකනායක රංගන විලාසයන්ගෙන් මාත් එක්ක මේ වැඩේට එකතු වෙන්න නියමිතයි.


මේ ප්‍රසංගය දිගටම පවත්වන්නද සූදානම?


දැනටමත් මේ ප්‍රසංගය විදේශ රටවලිනුත් ඉල්ලනවා. පටන් ගැන්මම හොඳයි. මෙය දිගටම කරගෙන යන්න තමයි සැලසුම් තියෙන්නේ.


ඔබ රංගන ශිල්පියෙක් ලෙස වර්තමානයේ අඩුවෙන් දකින්න ලැබෙන්නේ.ඇත්තටම ඔබ ඔබෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද? නැත්නම් නිර්මාණකරුවෝ ඔබෙන් හරි ප්‍රයෝජනයක් ගන්නේ නැද්ද?


ඇත්තටම මම අවුරුදු 18කින් ටෙලි නාට්‍යයක රඟපාලා නැහැ. යලට මහට වගේ සිනමාවට සම්බන්ධ වෙන්නේ. හැබැයි ඒ නිර්මාණවලට ප්‍රේක්ෂකයෝ ආදරය කළා. වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් ලෙසත් මං ඉහළට එසවුණු අවස්ථා තිබ්බා. හැබැයි මට තෘප්තියක් නැති තැන්වලින් මම අයින් වුණා. රංගනයෙදීත් මට ආත්ම තෘප්තියක් නැති දේවල්වලින් ඈත් වෙලා ඉන්න මම උත්සාහ කළා. තවත් පැත්තකින් බොහෝ නිර්මාණකරුවන්ට මං ගැන වැරැදි වැටහීම් ලැබිලා තිබ්බා. හැබැයි මං ගැන දන්න අය මාව හරියට දන්නවා. මාත් එක්ක වැඩ කරපු ප්‍රවීණ නිර්මාණකරුවෝ දැන් ජීවතුන් අතර නැහැ. අලුත් අය මාත් එක්ක වැඩ කරලා අත්දැකීම් ලබලා නැහැ. සමහර දේවල් මඟ හැරීමත් එක්ක මම මගේ ව්‍යාපාරික ජීවිතයට වැඩි අවධානයක් දීලා කටයුතු කළා. ඒක එක අතකින් මගේ ජීවන මට්ටම හොඳින් පවත්වා ගන්නත් හේතුවක් වුණා. නළුවෙක්ට තමන්ගේ ඒ ගෞරවණීය තත්ත්වයත් වැදගත්. හේතුව දැන් සමහරුන්ට වැඩ කරන්න වෙලා තියෙන්නේ කුලීකාරයෝ වගේ. ඒකෙන් ඒ අයට ලැබෙන දෙයක් නැහැ.වෙන අය තමයි ඒවායින් හම්බ කරන්නේ. මගේ ගමන තුළ මට ශක්තියක් තියෙනවා කලාව තුළ සාර්ථක දෙයක් කරන්න. ඉදිරියෙදී මගෙන් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි.


Previous Post Next Post