දැන් මම මගේ ජීවිතේ ලස්සනට හදාගෙන යනවා- ශනුද්‍රි ප්‍රියසාද්



ශනුද්‍රි ප්‍රියසාද් ගැන අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ප්‍රියසාද් පවුලේ බාලයා වූ ශනුද්‍රි මේ වෙද්දී පුංචි තිරය සේම රිදී තිරයත් හරි අපූරුවට ජය ගනිමින් ඉන්න අපට සිටින දක්ෂ සුන්දර යොවුන් රංගන ශිල්පිනියක්. මේ දවස්වල පුංචි තිරයේ හිරු නාලිකාවේ විකාශය වන දිවිතුරා හි ඊශා ලෙසින් ප්‍රේක්ෂක ආදරය ලබන ඇය ඊට නොදැවෙනි ආදරයක් ලබන්නේ FREEZE සංගීත කණ්ඩායම ගැයූ ඩයස්ගෙ නංගි ද සින්දුවේ රූප රාමුව නිසා


ඩයස්ගෙ නංගිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?


මේ දවස්වල වැඩි දෙනෙක් අතර කතාබහට ලක්වෙන්නෙ ඩයස්ගෙ නංගිද කියලා අහන එකත් එක්ක. ඇත්තටම අපි හිතුවට වඩා ඒ ගීතයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. අපි හිතුවේ නැහැ මේ තරම් ප්‍රේක්ෂකයන් අතරට ඩයස්ගෙ නංගි ද ගීතය යයි කියලා. අද වෙද්දි ඒ සිංදුව නොදන්නා කෙනෙක් නැති තරම්.


විෂුවල් එකට ආරාධනා කළාම මොකද හිතුණේ?


මට වැඩේට ආරාධනා ලැබෙද්දි හිතුණා ලස්සන සිංදුවක් කියලා. ඒ නිසා වැඩේ භාර ගත්තා. හැබැයි මෙහෙම ප්‍රතිචාර ලැබෙයි කියලා හිතුවේ නැහැ. අපි ආසාවෙන් කරන වැඩක් ප්‍රේක්ෂකයන් මෙහෙම භාර ගන්න එක ගැන හරිම සතුටුයි.


ශනූගෙම අලුත් නිර්මාණයක් කරන්නත් කාලය හොඳයි කියලා හිතෙන්නෙ නැද්ද?


ඒක ඇත්තටම මම ටික කාලයක් තිස්සෙ හිතන දෙයක්. ගොඩක් දුරට මාව මේ වෙද්දි දකින්නෙ රංගන ශිල්පිනියක් විදියට නිසා මටත් හිතිලා තියෙන්නේ සංගීතය පැත්තෙනුත් මොනව හරි කරන්න ඕනේ කියලා. ඒ ගැන වැඩි විස්තරයක් දැන්මම කියන්නෙ නැහැ. අනිවාර්යයෙන්ම මගේම නිර්මාණයකින් මාව දැක ගන්න පුළුවන් වෙයි.


දිවිතුරාහි ඊශා ලබන අසීමිත ප්‍රේක්ෂක ආදරේ ගැන මොකද හිතෙන්නෙ?


දිවිතුරා ටෙලිනාට්‍යය දැන් අවුරුදු දෙකහමාරක් විතර තිස්සෙ විකාශය වෙනවා හිරු ටීවි නාලිකාවේ. පළවෙනි දවස වගේම අදටත් ප්‍රේක්ෂකයන්ගෙන් ප්‍රතිචාර ලැබෙනවා. ඒ අතර විදෙස්ගතව ඉන්න ලාංකීය ප්‍රේක්ෂකයන් පවා බහුතරයක් ඉන්නවා.


ශනූගෙ වැඩවලට අක්කලා දෙන්නගෙන් ලැබෙන සහයෝගය කොහොමද?


වැඩවලට කියන්නෙ හැමදේටම අක්කලා දෙන්නගෙන් සහයෝගය ලැබෙනවා. පොඩි කාලෙ ඉඳන් අද වෙනකම් හැමදේම කතාබහ කරලා කරන්නෙ ඒ දෙන්නත් එක්ක. අපි තුන්දෙනාගෙ බැඳීම හරි ශක්තිමත් නිසා ඒ දෙන්නගෙන් මටත් මගෙන් ඒ දෙන්නටත් හැමදේටම හොඳ සහයෝගයක් ලැබෙනවා.


දැන් දෝණිලා දෙන්නෙක්ගෙ ආදරණීය පුංචි කෙනෙක් නේ, කොහොමද ඒ අය එක්ක ගතවන කාලය?


මම වැඩි කාලයක් ගත කරන්න කැමතිම බබාලා දෙන්නත් එක්ක. අපේ ගෙදර හැමෝම අලුතින් සතුටු වෙන්න පටන් ගත්ත මේ දෙන්න අපේ ගෙදරට ආවට පස්සෙ. හරිම සතුටුයි අපි වගේමයි ඒ දෙන්නත්. අපේ අම්මා තාත්තාත් හැම තිස්සෙම කියන්නෙ අපි පොඩි කාලේ වගේමයි කියලා.


ශනූව ගොඩක් ප්‍රේක්ෂකයන් ෆලෝ කරනවා. යූ ටියුබ් එකේ ශනූගෙ වීඩියෝවලට එන කමෙන්ට්ස් බලනවද?


මම හරි පරිස්සමෙන් සමාජ මාධ්‍ය පාවිච්චි කරන කෙනෙක්. මම 2019 පටන් ගත්ත යූ ටියුබ් චැනල් එකට මේ වෙද්දි ලක්ෂ 5 ඉක්මවලා සබ්ස්ක්‍රයිබර්ස්ලා ඉන්නවා. මම දාන හැම වීඩියෝ එකකටම එන හැම කමෙන්ට් එකක් ම කියවනවා. දාහකට එහා ගිය කමෙන්ට්ස් එන නිසා හැම එකකටම එකින් එක රිප්ලයි කරන්න බැරි වෙනවා. ඒ නිසා ඔක්කොටම එක කමෙන්ට් එකක් දානවා. හැබැයි අනිවාර්යෙන්ම මම එයාලා දාන ඒවා කියවනවා. ඒ දාලා තියෙන සමහර අදහස් ඊළඟ වීඩියෝ එකේ කියලත් තියෙනවා.


ජනප්‍රිය චරිතයක් වීම කියන දේ දැනෙන්නෙ කොහොමද?


ජනප්‍රිය චරිතයක් වීම මම අත් දකින්නෙ මට නොතේරෙන වයසේ ඉඳන්. ඒක කාලයත් එක්ක වැඩි වුණ දෙයක්. මම හිතන්නෙ ඒක මට ලැබුණු ආශිර්වාදයක් කියලා. සමහර අය මේ කලා ක්ෂේත්‍රයට එන්න මිනිස්සු අතරට යන්න ගොඩක් දේවල් කරනවා. ඒ නිසා මට ලැබුණු ඒ වාසනාව පුදුම විදියට මම අගය කරනවා. මම හැමතිස්සෙම දෙවියන්ටත් ස්තුතිවන්ත වෙනවා. ජනප්‍රිය චරිතයක් වෙලා ඉන්න එකේ මම කැමති මාව ෆලෝ කරන මා දිහා බලන් ඉන්න හැමකෙනෙක්ටම මගෙන් දෙන්න පුළුවන් හොඳ දේවල් විතරක්ම දෙන්න.


ජනප්‍රිය බව ජීවිතේ නිදහසට බාධාවක් වෙලා තියෙනවා ද?


ජනප්‍රියත්වය බාධාවන් වුණු අවස්ථා ගොඩක් තියෙනවා. මීට අවුරුදු කිහිපයකට කලින් නම් ඒවා නිසා මම වැටුණ අවස්ථාත් ගොඩක් තියෙනවා. මිනිස්සු හිතනවා මම මගේ පෞද්ගලික ජීවිතේ හැමදෙයක්ම සෝෂල් මීඩියා හරහා දානවා කියලා. නමුත් මම එහෙම නැහැ. තෝරලා බේරලා හැමදේම සමාජගත කරන්නෙ. ඉස්සර හිතුවට ජනප්‍රියත්වය බාධාවක් කියලා. දැන් මම දන්නවා හැමදේම බැලන්ස් කරගන්න. දැන් මම මගේ ජීවිතේ ලස්සනට හදාගෙන යනවා.


ශනු කියන්නෙ කොහොම හිතන පතන කෙනෙක් ද?


මම සාමාන්‍ය ජීවිතයක් ගත කරන සාමාන්‍යය ගැහැනු ළමයෙක්. මගේ පාඩුවේ වැඩ ටික කරගෙන ඉන්න කෙනෙක්. හිතන පතන දේවල් කිව්වොත් මම කැමති ධනාත්මකව හිතන්න. මගේ ජීවිතෙත් උස් පහත් වෙන තැන් නැතුවාම නෙවෙයි. හැබැයි හැමදේම තුළින් හොඳක් දකින්න, හැමදේම වෙන්නෙ හොඳට කියලා හිතන් ජීවත් වෙන කෙනෙක්. ඒක මට කාලයත් එක්ක ලැබුණු අත්දැකීම් එක්ක හිතන්න පුරුදු වුණු දෙයක්. මම මගේ යූ ටියුබ් චැනල් එකෙත් මම මගේ ජීවිතේ ලැබුණු අත්දැකීම් කට්ටිය එක්ක බෙදාගෙන ඒ තුළින් ධනාත්මක දේවල්ම දෙන්න උත්සාහ කරන්නෙ. මම කොහොමත් වැඩි කාලයක් දෙන්නෙ මගේ ආගමට. ඒ කියන්නෙ උදේ හවස පල්ලියට යනවා කියන එක නෙවෙයි. මම මගේ හිතින් මගේ මනසින් මගේ ඇදහීම විශ්වාසය තියන් ඉන්න කෙනෙක්. ඒ දේවල් එක්ක මගේ ජීවිතේ හරි ලස්සනට ගලා යනවා.


ශනූට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට කියන්න තියෙන්නෙ මොනවාද?


මේ වෙද්දි මට ආදරේ කරන ගොඩ දෙනෙක් ඉන්නවා. ඒක මට දැනෙනවා. ඒක මට වැඩිපුරම දැනෙන්න ගත්තේ මගේ යූ ටියුබ් චැනල් එකත් එක්ක. මට ප්‍රේක්ෂකයන් ආදරේ කරනවා වගේම ඒ අයට හැමවෙලාවෙම හොඳ දේවල් දීලා ඒ අයව සතුටින් තියන්න මම උත්සාහ කරනවා. මේ දෙන ආදරේට ගොඩක් ස්තුතිවන්ත වෙනවා.


අනාගත බලාපොරොත්තු මොනවාද?


මම උපරිම සැලසුම් කරලා තියෙන්නේ මේ අවුරුද්ද ඉවර වෙනකම් විතරයි. ඒකටත් තව මාස හයක් තියෙනවනේ. ඒ කාලය තුළ අලුත් නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න තමයි බලාපොරොත්තුව.





 

Previous Post Next Post