ඕනෑම මොහොතක කා වෙනුවෙන් හෝ ප්‍රේමය උපදින්න පුළුවන්-උද්දික ප්‍රේමරත්න




උද්දික ප්‍රේමරත්න කියන්නෙ රංගනවේදියෙක්, නිවේදකයෙක්, ගායකයෙක් හා දේශපාලනඥයෙක් ලෙස විවිධ කේෂ්ත්‍රයන්හි නිරත කෙනෙක්. කාලයක් තිස්සේ පුංචි තිරය ඔස්සේ ආදරය මැවූ යුගයේ ආදරවන්තයාත් ඔහුයි. ඒ එක්කම මේ දිනවල රිදී තිරයේ දිගහැරෙන මිදුණු විශ්වය චිත්‍රපටයේ වරේණ්‍යත් ඔහුයි. ඒ නිසාම උද්දික ප්‍රේමරත්න එක්ක අපිට කතා කරන්න බොහෝමයක් තිබෙනවා .



මෑත කාලය ගත්තාම යුගයේ ආදරවන්තයා ඔබයි. ප්‍රේක්ෂකයන් ඔබව දකින්නෙ එහෙමයි. අපි එතනින් කතාව පටන් ගමු...



මට එහෙම හැඳින්වීමක්, එහෙම ටයිටල් එකක් තියෙනවාද? එහෙනම් හරිම ආදරෙන් හිස නවලා භාරගන්නම්. ඔය වගේ යෙදුමක් බලෙන් ගන්න බැහැනේ. ඒ වගේම යුගයක ප්‍රේක්ෂකයන්ගෙ ආදරවන්තයා වීම සැලසුම් කරලා කරන්නත් බැහැ. ඒක ආදරයෙන්ම දිනාගත යුතු දෙයක්. ඒ හැඟීම මටත් ආදරණීය විදියටම දැනෙනවා.



පුංචි තිරයේ රෙහාන් අලුවිහාරේ තමයි ඒ අසීමාන්තික ආදරේ උද්දිකට දුන්නෙ. කොටස් 550ක් වැනි දීර්ඝ කාලයක් තුළ ජීවත් වුණ ඒ චරිතය ගැන මොකද හිතෙන්නෙ...



ඒක ලේසි නැහැ. කාලය හෝ කොටස් ගණන නෙවෙයි, ප්‍රේක්ෂකයන් ඔවුන්ගෙ හදවතේ අපට දෙන තැන තහවුරු කර ගැනීමයි අමාරු. මොකද රෙහාන්ට මිනිස්සු කොන්දේසි විරහිතව ආදරේ කරන්න ගත්තා. ඒක හිතාගන්න බැරි තරම්. ඔවුන් රෙහාන්ගෙයි සරණිගෙයි ආදරේ ඔවුන්ගෙ ජීවිතවලට බද්ධ කරගත්තා. රෙහාන් කියන්නෙ බොළඳ හෝ අතිසංවේදී චරිතයක් නෙවෙයි. ඔහු හරිම ක්‍රමානුකූලවයි ආදරේ ප්‍රත්‍යක්ෂ කරන්නේ. ඒ ආදරය වෙනුවෙන් මටත් කැපවෙන්න සිද්ධවුණා. ආදරේට ආදරේ කළ යුතුයි නේ.



රෙහාන් අලුවිහාරේව සිටින කාලය තුළ ආරාධනා ලැබුණු නිර්මාණ භාරගත්තෙම නැද්ද?



භාරගත්තා. වැඩ ආරම්භ කළේ නැහැ. රෙහාන්ගෙ ස්වරූපය පවත්වා ගන්නත් ඕනනේ. රෙහාන්ගෙ රැවුල කපලා වේශ නිරූපණ ශිල්පීන්ට කරදරයක් වෙන්නේ කොහොමද? මංගල් පාණ්ඩේ වෙනුවෙන් අමීර් ඛාන් මාස ගණනක් කොණ්ඩය වැව්වා. ඒ චරිතයේ විශ්වසනීයත්වය වෙනුවෙන්. අපට ඔවුන්ට වගේ ලොකු කර්මාන්තයක් නැති එක ඇත්ත. නමුත් ලැබෙන චරිතයකට උපරිම සාධාරණයක් කළ යුතුමයි. නැත්නම් පැවැත්මක් නැහැ, තෘප්තියකුත් නැහැ.



බොහෝ කලාකරුවන් දේශපාලනය කරන්න ගිහින් ප්‍රේක්ෂකයන්ගෙන් ඈත් වෙනවා. ඔබ තව තවත් ප්‍රේක්ෂකයාට සමීප වුණා නේද?



දේශපාලනයයි කලාවයි මම පටලවා ගන්නේ නැත්නම් ප්‍රේක්ෂකයො කොහොමත් පටලවා ගන්නේ නැහැ. මම තිරය මත ඔවුන්ගෙ අපේක්ෂා ඉටුකරනවා නම්, රංග කාර්යය හරියට කරනවා නම් ඒ වෙලාවෙ ඔවුන් වදවෙන්නෙ නැහැ මං දේශපාලනය කරනවාද, තේ කඩයක් කරනවාද ඔය මොකුත් ඔවුන් හිතන්න යන්නේ නැහැ. නමුත්, ඔබ අහන දේ මට තේරෙනවා. අපේ වගේ රටක දේශපාලනඥයකු ලෙස හිඳිමින් ජනතා ආදරය දිනාගැනීම ලේසි නැහැ. ඔවුන්ගෙ සැබෑ ආදරය දිනාගැනීමත් කලාවක්. මං ආසයි එය ප්‍රගුණ කරන්න. ඒ වෙනුවෙන් කලාවේ නියැළෙන්න මම පසුබට වෙන්නේ නැහැ.



පුංචි තිරයෙන් ටිකක් ඈත් වෙද්දිම ඔබ රිදී තිරයෙන් ප්‍රේක්ෂකයන් ආමන්ත්‍රණය කරනවා. කොහොමද මිදුණු විශ්වයට 



මිදුණු විශ්වයට ඉතාම ඉහළ ප්‍රතිචාර ලැබෙනවා. මිනිස්සු වරේණ්‍යටත් ආදරය කරන්න පටන් අරන්. මේ චිත්‍රපටය මගෙ රංගන ජීවිතේ වෙනස් අත්දැකීමක්. ඒ වෙනස මගෙ ප්‍රේක්ෂකයන් වැලඳගැනීම ගැනීම ගැන මට වෙනම තෘප්තියක් තියෙනවා.



ජයන්ත චන්ද්‍රසිරි නම් සම්මානිත සිනමාවේදියා ඔබට මුණගැහෙන්නෙ, සමනල සංධ්වනිය චිත්‍රපටයෙන් වෙන්න ඕන...



සමනල සංධ්වනිය තමා මගෙත්, ජයන්ත අයියගෙත් පළමු හමුවීම. මට හිතෙනවා, රංගනය පිළිබඳව මා තුළ කිසියම් ප්‍රතිභාවක් තිබුණා නම් ඒක සියුම්ව වටහා ගත්තෙ ඔහු. උද්දික ප්‍රේමරත්න නළුවකු හැටියට ස්ථානගත කරන්න ඔහුට හැකිවුණා. සමහරවිට මමවත් නොහිතන තරම් ඔහු මා ගැන විශ්වාසය තැබුවා. ජයන්ත අයියා story teller කෙනෙක්, සිනමාවේදියෙක්, actor trainer කෙනෙක්..ඔක්කොටම වඩා ඔහු හරිම ගැඹුරු, භාවාතිශය ප්‍රේමවන්තයෙක්. ඔබ කිව්ව හරි, වරේණ්‍ය තුළ ඔහු ඉන්නව. එතකොට ඔබ හිතන්න, ඔහු මට මේ දෙන වගකීම. මං ඔහුව ප්‍රතිනිර්මාණය කරන්න ඕන. ජයන්ත අයියා කිසිම වෙලාවක එහෙම ප්‍රකාශ කළේ නැහැ. නමුත් මං ඒක දැනගෙන උන්නා. ඔහු වරේණ්‍යගෙ ප්‍රේමය මැව්වේ හරිම පරිස්සමෙන් කරන ගෙත්තමක් වගෙයි. මට ඒක ලේසි වුණේ නැහැ. වරේණ්‍ය වික්‍රමසිංහ ඉතාම භාවාත්මක, සංවේදී පෙම්වතෙක්. සමහරවිට, උද්දික ප්‍රේමරත්නටත් වඩා.



මිදුණු විශ්වය හරහා කාලයත් එක්ක ආලයේ සිදුවෙන ගනුදෙනුව මෙතෙක් නොදැකපු කෝණයකින් සිනමාවට නැගිලා තියෙන්නේ ඒ ගැන කිව්වොත්?



කොහොමත්, ප්‍රේමය සාක්ෂාත් නොකරන පෙම්වතුන් අපව සසල කරනවා. වරේණ්‍ය සහ රාජිනීත් එහෙමයි. ලෝකය කවදත් පෙම්වතුන්ට බාධා කරනවානේ, ඒක සාමාන්‍යයි. නමුත් අපේ කතාවෙ පෙම්වතුන්ට කාලයත් බාධාවක්. කරන්න දෙයක් නැහැ, ප්‍රේමය උපදින්නේ අපට කලින් දැනුම් දීලා නෙවෙයි. ඕනෑම මොහොතක, කා වෙනුවෙන් හෝ ප්‍රේමය උපදින්න පුළුවන්. ඒක ස්වයංසිද්ධ හැඟීමක්. කාලය හෝ වෙනත් සාධක සියල්ල ආදරය හමුවේ ද්විතීයික වෙනවා. අප්‍රමාණ වේදනාවක් ඉතුරු වන බව දැනගෙන උන්නත් හිතේ ගැඹුරටම දැනෙන ආදරයක් අතහරින්න බැහැ නේ. එහෙම ආදරේකින් බැඳෙන දෙන්නෙක් කාලය වුණත් තරණය කරාවි. වරේණ්‍ය සහ රාජිනී ඒ වගෙ ප්‍රබල ප්‍රේමයකටයි මැදිවෙන්නෙ. ජයන්ත අයියා මේ ප්‍රේමය සිනමාවට නගන විදිය, ඔහුගෙ ප්‍රකාශනය හරිම සියුම්. ඒක ප්‍රේක්ෂකයන්ගෙ හදවතට කතා කරන සිනමා භාෂාවක්.



පුංචි තිරයේ සම්මාන උළෙලවල් දෙකේම ඔබයි ජනප්‍රියම නළුවා වෙන්නෙ. කොහොමද ඒ අත්දැකීම?



සම්මානය කියන සංකේතය උළෙල දෙකේදිම අතට ගත්ත පළමු අවස්ථාව තමයි. නමුත්, මට ජනතාව ඔවුන්ගෙ හදවතේ ලොකු තැනක් දීලා බොහොම කල්. මම රඟපෑ චරිතවලට මිනිස්සු ආදරය කළා. රෙහාන් ඒකෙ කූටප්‍රාප්තියක්. ඉතින් ඔබ කිව්ව වගේම සම්මාන දෙකම ලැබුණා. ඒ වෙනුවෙන් මගෙ ප්‍රේක්ෂකයන් කරපු කැපකිරීම මටම හිතාගන්න බැරිවුණා. මං ඒ ආදරය ලබන්න හරිම වාසනාවන්තයි කියලා හිතුණා. පාර දිගේ වෙනුවෙන් Fan club පවා හැදුණානේ. නළුවෙක් හැටියට රංගන ජීවිතේ තරමක් මුහුකුරා ගියාට පස්සෙ මේ වගේ ජනප්‍රිය සම්මානයට පාත්‍රවීම එක්ක හිතට බරකුත් දැනෙනවා.



උද්දික ඉදිරියේදි වැඩි ඉඩක් වෙන් කරන්නෙ සිනමාවටද?



එහෙම නිශ්චිතව කියන්නේ කොහොමද? මම කලා ශිල්පියෙක් හැටියට කලාව වෙනුවෙන් කාලයක් වෙන් කරනවා. මගේ කුසලතාව ගැන විශ්වාසය තබන නිර්මාණවේදීන් එක්ක මම වැඩ කරනවා. ඔවුන් නියෝජනය කරන්නේ සිනමාවද ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයද කියන එක නෙවෙයි මට වැදගත්. ඒ නිර්මාණවල තියෙන ගුණාත්මක බව සහ විඳින්න යමක් ති‍යෙනවාද කියන එකයි මම අවධානය යොමුකරන කාරණය.



කලාව වගේම දේශපාලනයත් ඔබ දැකපු සිහින අතර තිබුණ දෙයක්ද?


ඇත්තටම මම සිහින දකින්නෙක් නෙවෙයි. මට යම් දේවල් ගැන ඉලක්ක සහ අරමුණු තියෙනවා. ඒවා සාක්ෂාත් කරගන්න මම කැපවෙනවා. දේශපාලනයට පැමිණීම සිහිනයක් හෝ ඉලක්කයක් කරගත්තාට වැඩක් නැහැ නේ. ඉලක්කය විය යුතු මිනිස්සුන්ගෙ සුබසිද්ධිය වෙනුවෙන් තිරසර යමක් කිරීම.



දේශපාලන චරිතයක් වීම ගැන මොකද හිතෙන්නෙ?



මම ජනතා නියෝජිතයකු හැටියට ගෙවමින් ඉන්නේ ඉතාම අභියෝගාත්මක සහ අතිශය සංකීර්ණ දේශපාලන වටපිටාවක් සහිත කාලයක්. මොන විපර්යාස සිදුවුණත් රට වෙනුවෙන් තිරසර වැඩපිළිවෙළක් අප ක්‍රියාවට නැංවිය යුතුමයි. ඒ වෙනුවෙන් මගේ ප්‍රයත්නය මං අතහරින්නේ නැහැ.



උද්දික ප්‍රේමරත්න කියන්නෙ මොන වගේ කෙනෙක්ද?



සරල පැවතුම් තියෙන, සාමාන්‍ය මනුස්සයෙක්. මම මමට නිර්වචන දීම තේරුමක් ඇති දෙයක් නෙවෙයි. ඒත් මම කැමැතියි, අනිත් මිනිස්සු ගැන සහකම්පනයක් තියෙන කෙනකු හැටියට මාව වටහාගන්නවා නම්.



ඔබේ පෞද්ගලික ජීවිතේ ඔබ මේ කිසි දෙයකට සම්බන්ධ කර ගන්නෙ නැහැ. ඒ අය මාධ්‍යය ඉදිරියට ගෙන එන්නෙත් කලාතුරකින් නේද?



මගේ පෞද්ගලික ජීවිතේ හරිම සරල එකක්. ඒක මාධ්‍ය ඉස්සරහ උත්කර්ෂයෙන් වර්ණනා කර කර ඉඳීමේ වුවමනාවක් මට දැනිලා නැහැ. ඕනෑම පවුලක අප්‍රමාණ බැඳීම් සහ වටිනාකම් තියෙනවා. ඒත් ඒවා ගැනම කියවමින් ඉන්න අවශ්‍ය නැහැ නේද? මගේ බිරිඳ අනූෂා පන්නල. ඇය වෘත්තියෙන් ගුරුවරියක්. ඇය මාව ඉතාම හොඳින් තේරුම් ගත්ත කෙනෙක්. මගෙ පුතා අංශ්. ඔවුන් එක්ක බැඳුණු හරිම සරල ජීවිතයක් මං අත්විඳිමින් ඉන්නවා. මගෙ නිර්මාණවල රසය මිනිස්සු අත්විඳිනවා නම් ඒ හොඳටම ඇති. පෞද්ගලික ජීවිතේ කියන්නෙ නිර්මාණයක් වගේ රඟදක්වන එකක් නෙවෙයි කියලයි මට හිතෙන්නේ. සමහරවිට මම හිතනවා වැඩිද දන්නෙත් නැහැ, ඒත් මට හැඟෙන්නෙ එහෙමයි.



උද්දික කියන්නෙ බොහොම සීරුවෙන් තමන්ගේ ඉලක්ක හඹාගිය කෙනෙක් කියලයි මට හිතෙන්නෙ..



ඔය ප්‍රශ්නයට උත්තරේ හැටියට ඉලක්ක හඹායාම ගැන මහ ලොකු කතා මට කියන්න පුළුවන්. ඒත් ඒ ඇත්ත නෙවෙයි. අපේ වගේ රටවල්වල ඉලක්ක හඹායාම සීරුවෙන් කරන්න බැහැ. මොකද කිසිවක් සැලසුම් කරන විදියටම සිද්ද වෙන්නේ නැහැ නේ. සිදුවිය හැකි නරකම දේට හිත සූදානම් කරගෙන අරමුණු වෙනුවෙන් වෙහෙසීමයි මම කරන්නේ. නරකම ප්‍රතිඵලයට සූදානම් වුණාම ඉන් මෙහා ඕනෑම දෙයක් භාරගන්න අපි ශක්තිමත්. කොහොමත් never give up න්‍යාය මත ඉන්න මම උත්සාහ කරනවා. ඉස්සර අපේ ඉස්කෝලෙ, අනුරාධපුර ශාන්ත ජොසප් විද්‍යාලෙ කැඩෙට් පුහුණුවෙදි අපට ඉගැන්නුවේ සූදානම් නොවී නොසිටිනු කියලා. ඇත්තටම ඒක තමයි නිවැරදිම උපදේශය



අවසාන වශයෙන් මිදුණු විශ්වය බලන්න ප්‍රේක්ෂකයන්ට ඔබ කරන ඇරයුමට ඉඩ තියෙනවා


මිදුණු විශ්වය ආදරණීය නිර්මාණයක්. ජයන්ත අයියගෙ සිනමාවෙ තියෙන කාව්‍යමය ගුණය මේ චිත්‍රපටයෙත් තියෙනවා. ඔබට ඒක දැනෙයි. මං ආසයි, වරේණ්‍යගෙ සහ රාජිනීගෙ භාවසංවේදී ආදරය අත්විඳලා ඔබ කඳුළක් පිසිනවා නම්. මේ සමාජ ක්‍රමය අස්සෙ තියෙන විවිධ පීඩා එක්ක අපේ හිත් අස්සේ ඉන්න පෙම්වතුන් නිද්‍රාවට පත්වෙලා, මිදිලා ගල්ගැහිලා ඉන්නේ. මිදුණු විශ්වය ඔබේ හිත්වල එහෙම මිදිලා ඉන්න පෙම්වතුන් යළි ජීවමාන කරාවි. ඒ ප්‍රේමය අත්විඳින්න.





Previous Post Next Post