නිලූෂි ඔයා අපිටත් නොකියා හොරෙන්ම බැන්දද?



නිලූෂි පවන්‍යා කියන්නේ දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩිගේ චරිතය හරහා මේ දිනවල ප්‍රේක්‍ෂක ආදරය දිනාගත් රංගන ශිල්පියක්. ඉතින් නිලූෂි විවාහ වෙලා කියන ලස්සන මංගල ඡායාරූප කිහිපයක් ගැනත් මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. වින්ඩිට ලැබෙන ප්‍රතිචාර වගේම බොහෝ දෙනෙක් කතාබහ කරන මංගල ඡායාරූප ගැන දැනගන්නත් එක්කම හදගැස්මේ අපි නිලූෂිට කතා කළා. 


දිවිතුරා ටෙලිනාට්‍යයේ වින්ඩිගේ චරිතයට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරයක්ද?


වින්ඩි කියන්නේ බ්ලැක් කැරැක්ටර් එකක්. එයා අගස්තිට ගොඩක් ආදරේ කරන සහ අගස්ති වින්ඩිට ආදරේ නැහැ කියලා දැනගත්තම ඒකෙන් පොඩ්ඩක් ඇවිස්සෙන චරිතයක්. ඉතින් ගොඩක් අය ඒකට කැමැතියි. ඒත් සමහර අය බනිනවා දුෂ්ටියක් කියලා. ඉතින් ඒකේ දෙපැත්තක් තිබෙනවා. ඒ චරිතය ඇතුළේ හොඳ පැත්තක් තිබෙනවා. ඒ වගේම නරක පැත්තකුත් තිබෙනවා. ඇත්තටම වින්ඩි කළු චරිතයක් වුණාට ගොඩක් අය ඒ චරිතෙට ආදරේ කරනවා. සමහර චූටි බබාලා ඉන්නවා මාව දැක්කම අන්න වින්ඩි කියලා ළඟටම ඇවිත් හිනාවෙලා කතා කරනවා. මට ඇත්තටම සතුටුයි ඉතින්.


ඇත්තටම නිලූෂි කියන්නේ වින්ඩිමද?


නිලූෂි ඇත්තටම වින්ඩි වගේ නපුරු නැහැ. වින්ඩි එකම ආදරයක් පස්සේ ඉන්න කෙනෙක්. ඒ කියන්නේ එයා ගොඩක් අගස්තිට ආදරේ කරනවා. කොච්චර අගස්ති එයාව මඟහැරියත්. එයා අගස්තිව දාලා යන්නේ නැහැ. ඒ චරිතේ ඇතුළේ තිබෙන හොඳකම තමයි ඒ. මම දකින විධියට ඇත්තටම වින්ඩිට අගස්තිගෙන් තොර ලෝකයක් ගැන හිතන්නේ නැහැ. කතාව පටන් ගන්න තැන ඉඳලා අවසාන වෙනකම්ම අගස්තිව මැරි කරන එක තමයි එයාගේ ඔළුවේ තිබෙන්නේ. නමුත් අගස්ති එයාව මඟහරිනවා. හැබැයි ඇත්ත ජීවිතේදී නම්  මගෙයි ඒ චරිතේ අතරයි තියෙන වෙනස්කම තමයි මම එහෙම ඉන්නේ නැහැ. ඉන්නෑ කියන්නේ ආදරේ කරලා කෙනෙක්ව මඟහරිනවා නම් එතැන ආදරයක් තියෙන්න බැහැනේ. එතකොට ආදරය කරන කෙනෙක්ගෙන් එහෙම දැනුණොත් මම කිසිම වෙලාවක ඒ තැන ඉන්නේ නැහැ. මම හිතනවා අපිට ආදරෙන් වටිනාකමක් ලැබෙන්න ඕනේ. එහෙම නැතිව ඒ තැනක ඉඳලා වැඩක් නැහැ. මම දන්නේ නැහැ මේ කතාවේ අවසානය මොකක්ද කියලා. සමහර විට මඟහැරලා, මඟහැරලා වින්ඩි අගස්තිව හම්බ වෙන්නෙ නැති වෙන්නත් පුළුවන්. එතකොට වින්ඩි එයාගේ ජීවිතේම අගස්ති වෙනුවෙන් කැපකරලා ඉවරයි. එහෙම වුණාම ගැහැනු ළමයෙක්ට වරදින්න පුළුවන් සම්භාවිතාව ගොඩක් වැඩියි. ඉතින් ඇත්ත ජීවිතයේදී මම නම් එහෙම වෙන්නෙ නැහැ.


එතකොට නිලූෂි පවන්‍යා කියන්නේ මොන වගේ කෙනෙක්ද?


මම බොහොම සාමාන්‍ය, ඒ වගේම සරල, සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනෙක්. ඇත්තටම මට හීන තිබෙනවා. නමුත් හැම වෙලේම පොළොවේ පය ගහලා තමයි ජීවත් වෙන්නේ. මට හිතෙන විදියට තමයි මම ජීවත් වෙන්නේ. අනිත් එක මම මොන තැන හිටියත් මම හිතන්නේ මනුස්සකම තමයි නම්බර් වන්. මට හැමෝම එකයි. අනිත් එක මම අසාධාරණයට, බොරුවට අකැමැති කෙනෙක්.  මම අසාධාරණය වෙනුවෙන් කතා කරන කෙනෙක්. බුදු හාමුදුරුවො වුණත් දේශනා කරලා තිබෙනවානේ නයා වුණත් චුට්ටක් පෙණේ පුප්පන්න ඕනේ කියලා. මම හිතනවා අවස්ථාවට අනුව ජීවත් වෙන එක ලේසියි නැත්නම් ගොඩක්ම අහිංසක වෙලා මේ සමාජයේ ජීවත් වෙන්න බැහැ.


“තමන් ආදරේ කරන කෙනාගේ වටිනාකම දැනෙන කෙනෙක් ළඟ නවතින්න” කියලා ලස්සන කැප්ෂන් එකකුත් දාපු නිලූෂිගෙ ලස්සන මංගල ඡායාරූපයක් ගැන මේ දවස්වල බොහෝ දෙනෙක් කතා කරනවා. ඉතින් නිලූෂි හොර රහසේම බැන්දද, මොකක්ද අනේ මේ කතාව?


ආ…. නැහැ නැහැ  ඔය කියන්නේ මම කරපු ෆොටෝ ෂූට් එකක් ගැන. ඇත්තටම ලව් වගේ එකක් නිසා තමයි මම ඒකට ලව්ලි කැප්ෂන් එකක් දැම්මේ. ඒකට හේතුව තමයි කොවිඩ් එකේ පළමු වැනි සීසන් එක ආවනේ. එතකොට ගොඩක් අය එළියටවත් බැස්සේ නැහැනේ. මම කොවිඩ් එන්න කලින් ෆොටෝ ෂූට් එකක් කළා. එතකොට චතූ තමයි මගේ ෆොටෝස් ෂූට් කළේ. ඩේ‍රස් කළේ නවෝදි. එදා මගේ ෂූට් එකේ මම විතරක් නෙවෙයි. ලෝචනා හිමාෂි, චලනි අක්කි අපි තුන්දෙනාම හිටියා. අර දෙන්නගේ ෂූට් එකේ ෆොටෝස් කලින් ආවා. හැබැයි එකම ෆොටෝ ග්‍රැෆර් නිසා මගේ ෆොටෝ ටික එළියට එන්න පරක්කු වුණා. හොඳම වැඩේ කියන්නේ මගේ ෆොටෝස් ටික එළියට ආවේ කොවිඩ් ෆස්ට් සීසන් එකේදි. එතකොට ඔය දවස්වල කතාවක් ගියානේ කොවිඩ් නිසා වෙඩින් ගන්න බැහැ. කට්ටිය ඉක්මනට බඳිනවා කියලා. ඒ වගේම මගේ මනමාලයට හිටපු බෝයිව ගොඩක් අය දැකලා තිබුණේ නැහැ. එයා මොඩල් කෙනකුත් නෙවෙයි. කවුරුත් දන්නෙ නැති කෙනෙක්. ඒ හින්දා ගොඩක් අය හිතුවා මම මැරි කරලා කියලා. ඉතින් මගේ කැම්පස් එකේ යාළුවෝ හිටන් කෝල් කර කර අහනවා අපිට වෙඩින් කිව්වේ නැහැ. ඔයා බැන්දද හොරෙන් කියලා. ඉතින් මම දවසක් විතර ෆෝන් ආන්සර් කළේ නැහැ. කමක් නැහැ, මම බැඳලා වගේ හිතපුදෙන් කියලා හිටියා. ඇත්තටම ඒක ෆොටෝ ෂූට් එකක්. අදටත් සමහරු අහනවා හස්බන්ඩ් කෝ කියලා.


දායක වෙලා තියෙන අනෙක් නිර්මාණ ගැන කතා කළොත්?


ඉලන්දාරියෝ, හුස්මක් තරමට, හේලී, අකුරු මැකී නැහැ කියන ටෙලිනාට්‍යවලට දායක වුණා. ඒ වගේම මම රඟපාපු තව ටෙලිනාට්‍ය කිහිපයක් ඉදිරියේදී විකාශය වෙන්න තිබෙනවා. සිනමා නිර්මාණ නම් දැනට එකක් විතර කරලා තියෙනවා. ඉදිරියේදී තිරගත වේවි.


නිලූෂි රඟපාන්න එනවට ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද?


අපේ ගෙදර ගත්තොත් මම රඟපානවට ලොකු අයියගේ නම් එච්චර කැමැත්තක් තිබුණේ නැහැ. ඉතින් අම්ම තමයි හැම වෙලාවෙම මගේ පිටිපස්සෙ හිටියේ. මම A/L කරන කොට තමයි ITN අවුරුදු කුමරිය වෙන්නේ. මම A/L කරන කොට ලොකු අයියා රට යනවා. රට යන්න කලින් ලොකු අයියා මට ඇඩ්වයිස් කරනවා. රඟපාන ඒවට එහෙම යන්නේ නැහැ කියලා. ඇත්තටම ඒ නිසාම ගියේ නැහැ. කැම්පස් එකෙන් අවුට් වුණාට පස්සේ තමයි මම කලාවට එන්නේ. ඇත්තටම රඟපානවට පොඩි බාල්දියක් දැම්මේ මගේ ලොකු අයියා තමයි.


ඔබ නිර්මාණ තෝරගන්නකොට මොනවද බලන්නේ?


මම ගොඩක්ම බලන්නේ පිටපත. මම ඉන්න ෆේම් එකත් එක්ක මට ලැබුණු ආරාධනාවලින් මට බැහැ කියලා හිතපු නිර්මාණ තිබුණා. එකම ප්‍රශ්නෙ තිබෙන්නේ අපි ලංකාව තුළනේ ගොඩක් නිර්මාණ කරන්න ඕනේ. එතකොට ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය ගොඩක් වෙනස්නේ. ඇත්තටම ගොඩක් අය හිතන්නේ අපි රඟපාන චරිතම තමයි අපේ පෞද්ගලික ජීවිතය කියලා. අපි මේ වගේ ඇති කියලා වැරැදි නිගමනවලට එන අය ඉන්නවා. ඇත්තටම අපි රඟපාන ඒවා අපේ ජීවිත කතාව වෙන්නේ නැහැ. ඉතින් ප්‍රේක්‍ෂකයන් ඒක තේරුම් අරගෙන රසවිඳිනවා නම් ගොඩක් හොඳයි.


කලාව පැත්තෙන් ගත්තම නිලූෂිගේ අනාගත බලාපොරොත්තු ගැන කියන්න කැමැතිද?


ඇත්තටම කලාව කියන්නේ ගොඩක් ගැඹුරු දෙයක්. ඉගෙනගන්න ගොඩක් දේවල් තිබෙනවා. මට ගොඩක් ලැබෙන්නේ මගේ පෙනුමත් එක්ක වෙස්ටන් චරිත. මම ඇත්තටම කැමැතියි අභියෝගාත්මක චරිත කරලා හොඳ චරිතාංග නිළියක් විදියට ඉදිරියට යන්න… ඒකට ගොඩක් දේවල් ඉගෙන ගන්න තිබෙනවා මට.


දුලී සමන්මලී නැලිගම





Previous Post Next Post