කලාත්මක නිර්මාණවල රඟපාන්න ආසයි-අශිකා මතසිංහ



මේ දිනවල සිරස රූපවාහිනී නාලිකාවෙන් ඔබ දකින ‘හිත ළඟ හිනැහුණා’ ටෙලිනාට්‍යයේ ‘මිනෝලි’ කියූ පමණින් නොදන්නා කෙනෙකු නොමැති තරම්ය. මිනෝලි චරිතය අද වනවිට බොහෝදෙනාගේ කතාබහට ලක්ව ඇති අතර සමාජ මාධ්‍ය තුළද, ඒ චරිතය සඳහා විවිධාකාර ප්‍රතිචාර ලැබෙමින් පවතින බවද නොරහසකි. එමෙන්ම ස්වාධීන රූපවාහිනිය ඔස්සේ මේ දිනවල විකාශය වන තවත් ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘ජානු’ ටෙලිනාට්‍යයේ නයෝමිද ප්‍රේක්ෂක සිත්සතන් තුළ කතාබහට ලක්වන චරිතයක් වී හමාරය. පුංචිතිරයේ ‘මිනෝලි’ හා ‘නයෝමි’ වූ රංගන ශිල්පිනී අශිකා මතසිංහ සිය නිර්මාණ දිවිය පිළිබඳ කතා කිරීමට  එක්වූයේ මෙසේය.


 ඔබ කලාවට පැමිණි ආකාරය සිහිපත් කළොත්...?


ඒක ඇත්‍තටම සිද්ධ වුණේ පාසල් අධ්‍යාපනය හමාරවීමත් එක්කම වගේ. පාසලේ අවසන් හමුව ලෙස පැවැති අනුලා සාදයට යන්න ලස්සනට ඇඳගන්න ගියේ අපේ අම්මගේ යාළුවෙක්ගේ සැලූන් එකකට. ඒ ඇන්ටිගේ නම කමලා කහගලගේ. ඒ ඇන්ටි මාව පසුව අත්තනායක මහත්මියගේ ඇඩ්වර්ටයිසින් කම්පැනි එකට එක්කගෙන ගියා. ඒ අවස්ථාවත් සමඟ වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයට මම යොමුවුණා. ඒ තමයි මගේ මුලින්ම කලා කටයුත්‍තකට කියලා සහභාගී වූ අවස්ථාව. ටීවි කොමර්ෂල් කිහිපයක්ම කළා. ඒ වගේම 2003දී ‘මල්සර ගීතය’ කියා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වුණා. ‘මල්සර ගීතය’ ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණේ මේ විදිහටයි . මගේ නංගි ඕලෙවල් ප්‍රොජෙක්ට් එකට ස්වර්ණවාහිනිය ගැන කළේ. ඒ වෙනුවෙන් එච්.ඩී. ප්‍රේමරත්න මහත්තයා මුණගැසී සාකච්ඡාවක් කරන්න තිබුණා. ඒ වෙලාවේ අපේ අම්මාටත් සර් කතාකරලා මාව ටෙලිනාට්‍යවලට රඟපාන්න දෙන්න කියලා කිව්වා. මම ඒවෙලාවේ හිතුවේ නෑ ඒක ඇත්තක් වෙයි කියලා. සතියකට විතර පස්සේ මට රඟපාන්න අවස්ථාව ලැබුණා.


මුල් යුගයේ ඔබට ක්ෂේත්‍රයේ හමුවූ අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු සමඟ ගනුදෙනු කිරීම පහසුවක් වුණාද...?


ඔව්, අපහසුවක් වුණේ නැහැ. නාලන් මෙන්ඩිස් මහතාගේ ‘වසන්තේ ඇවිල්ලා’ ටෙලිනාට්‍යයේ කුඩා චරිතයක් ලැබුණා. ඔහු වගේ දැවැන්තයන් යටතේ වැඩකරන්න ලැබීම භාග්‍යයක්. ඒ ටෙලිනාට්‍යයේ මම ජගත් චමිලගේ නංගි විදිහට රඟපෑවා. නාලන් සර් ගාවට මාව යොමුකළේ ජනප්‍රිය නිළි මංජුලා කුමාරිගේ අම්මා.. මංජුලා මගේ පාසල් කාලයේ හොඳම යෙහෙළියක්. මංජුලාගේ අම්මා නෙරංජලා ඇන්ටි තමා මාව නාලන් සර් ගාවට යොමුකළේ. ඒ වගේම ලක්ෂ්මන් පුෂ්පකුමාර අයියා මුල්කාලයේ මාව අධ්‍යක්ෂණය කළා. ඔවුන් එක්ක වැඩකරන්න මට අපහසු වුණේ නෑ. ඔහුගේ ‘සසර බැඳී බැමි’ , ‘සසර සෙවණැලි’ ටෙලිනාට්‍යවලට දායක වුණා. ඒ ටෙලිනාට්‍ය දෙකම මගේ මිතුරිය වූ මංජුලා කුමාරිගේ නිෂ්පාදනයක්. ඇය එක්ක තිබූ යාළුකම නිසයි මට ඒ නිර්මාණවල රඟපාන්න ලැබුණේ. ඒ නිසා මංජුලා කුමාරිටත්, ඇගේ අම්මාටත් මම ස්තුති කරනවා. මේ ක්ෂේත්‍රයේ ආරම්භයේදීම අතහිත දුන් නිර්මාණත් එයාගේ අම්මාත් මට ක්ෂේත්‍රයේ රැඳෙන්න ගොඩාක් උදව් කළා. ඔවුන්ටත් ස්තුතිවන්න වෙනවා. මගේ අම්මා වගේම නංගිලා මට ලොකු සහයෝගයක් දුන්නා.


ඔබ රඟපෑ චරිතවලින් වඩාත් කැමතිම චරිතය සහ ඉදිරියට රඟපෑමට ආසාවෙන් සිටින චරිතයක් තිබේද..?


සංජය නිර්මාල් අධ්‍යක්ෂණය කළ ‘හේඩි’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයක් මම කළේ. ඒ චරිතයට මම ගොඩක් කැමැතියි. ඒක ලස්සනම කතාවක්. මම පළමුවරට ප්‍රධාන චරිතයක් කළේත් ‘හේඩි’ ටෙලිනාට්‍යයේ. 2016 වගේ ඒක විකාශනය වුණේ. සංජය නිර්මාල් කියන ප්‍රවීණ අධ්‍යක්ෂවරයාට මම ස්තුතිවන්ත වෙනවා මාව ඒ චරිතයට තෝරාගත්තාට. රඟපෑමට ආසාවෙන් තියෙන චරිතයක් කියලා විශේෂයක් නැහැ. හොඳ චරිතයක් ලැබුණොත් භාරගන්නවා. මේ දිනවල ‘හිත ළඟ හිනැහුණා’ සහ ‘ජානු’ ටෙලිනාට්‍යවල රූගතකිරීම් සිදුවෙනවා.


ඔබ වඩාත් කැමැති සිනමාවටද? රූපවාහිනියටද? වේදිකාවටද?


ටෙලිනාට්‍යවලට මුලින්ම ආසයි. ඒවා මගේ උපරිමයෙන් කරනවා. දෙවනුව සිනමාව සහ වේදිකාව.


රඟපෑ සිනමා නිර්මාණ ගැන කිව්වොත්..?


චිත්‍රපට නම් කරලා තියෙන්නේ හයක් වගේ. ඒවගේ සහය චරිත කරලා තියෙන්නේ. හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ "ජ්චජඥ බධ ජ්චජඥ" චිත්‍රපටයේ ඩොක්ටර් කෙනෙක්ගේ චරිතයක් කළේ. ඒ චරිතය ලබාදීම ගැන හර්ෂ උඩකන්දට ස්තුති කරනවා. සුමිත් කුමාරගේ ‘සුබා තෙරණියෝ’ චිත්‍රපටයේ මහා තෙරණියට රඟපෑවා. ඒකේ නාමාවලියේ මගේ නම දාන්න අමතක වෙලා.(සිනහවෙමින්)


වේදිකාවට ඔබේ දායකත්වය..?


වේදිකා නාට්‍ය නම් තවම කළේ නැහැ. ආරාධනා කිහිපයක්ම ආවා. බබාලගේ වැඩත් එක්ක වේදිකා නාට්‍යවලට කැපවෙන්න කාලය මදි. වේදිකා නාට්‍ය කරනවා නම් ඒ වෙනුවෙන් විශාල වෙහෙසක්, කාලයක් ගන්න ඕනෑ.


මෙගා ටෙලිනාට්‍ය සහ කලාත්මක ටෙලිනාට්‍ය ගැන ඔබේ අදහස ?


මෙගා ටෙලිනාට්‍යයත්, අඩු කොටස් ගණනක් තියෙන සම්භාව්‍ය යැයි සැලකෙන ටෙලිනාට්‍යයත් කියන වර්ග දෙකේම ටෙලිනාට්‍ය තිබිය යුතුයි. මෙගාවලට මම යන්නේ නෑ කියා ඉස්සර මාත් හිතුවා. ඒත් හැම නිර්මාණයකටම අපට ආරාධනා කරන්නේත් නැහැනේ. ගොඩාක් අධ්‍යක්ෂවරු ඔවුන්ට මතකයේ තියෙන අය විතරයි ගන්නේ. මම කලාත්මක නිර්මාණවලට ආසයි. ඒත් ඒවාට කතාකරනවා අඩුයි. මම කාලයක් අනුරාධපුරයේ හිටියා. ඒ කාලයේ කලාත්මක නිර්මාණ කිහිපයකට කතා කළා. නිහාල් ප්‍රනාන්දු මහතාගේ ‘කුලැත්තියෝ’ ගම්බදව කළ ටෙලිනාට්‍යයක්. ලොකේෂන් තිබුණේ අනුරාධපුරයේමයි. ඒවගේම සමීර හසුන්ගේ ‘ඇහැළ මල් නිකිණිය’ ටෙලිනාට්‍යයට දායක වුණා. ඒක ඊව්ඹ් එකේ විකාශනය වුණේ. මොහාන් නියාස්ගේ ‘ගජමුතු යාය’ අලීන් බොහෝමයක් සිටින කලාත්මක ටෙලිනාට්‍යයක්.


ඔබ රංගනය හදාරා තියෙනවද..? අලුත් පරපුර ගැන ඔබේ අදහස ..?


මම පාසලෙන් ඉවත්වුණු ගමන් ජ'පුර සරසවියේ ලේඛකත්ව සහ සන්නිවේදන ඩිප්ලෝමාව හැදෑරුවා. එයින් සිනමාව, සාහිත්‍යය, කලාව ගැන දැනුමක් ලබාගන්න පුළුවන් වුණා. ඊටපස්සේ අනෝජා වීරසිංහ මිස් ගාව රංගන වැඩමුළු කිහිපයක් කළා. ඒවගේම ක්ෂේත්‍රයේ වැඩකරද්දී සෙට් එකේදී ප්‍රායෝගිකව දැනුම ලබාගන්නවා. දමිතා අබේරත්න අක්කා ඇක්‍ට් කරද්දී මම බලාගෙන ඉන්නවා. එයා රඟපානවා බලන් ඉන්න ආසයි. ජ්‍යෙෂ්ඨ ශිල්පීන් රඟපාද්දී ඒ දිහා බලාගෙන ඉඳලා ගොඩාක් දේ ඉගෙන ගන්නවා, ඔවුන්ගෙන් ගුරුහරුකම් ගන්නවා. ඒ වගේම මම දර්ශනතලයේදී අධ්‍යක්ෂවරයාට, කැමරාවට වැඳලා තමයි වැඩ පටන්ගන්නේ. කවුරු මොනවා කිව්වත් , හිනාවුණත් මට ඒක අදාළ නැහැ.. සමහරු මේ වැඩේදී මට හිනාවෙනවා, මම ඒවා ගණන් ගන්නේ නැහැ. අලුත් පරපුරේ කියන්න එහෙම අඩුපාඩුවක් නැහැ. කවුරුත් සුහදශීලීව වැඩකරනවා.


ඒ කියන්නේ ඒවා ජනප්‍රිය වෙන්න පුළුවන් මාධ්‍ය කියලද..?


ටික්ටොක් විතරක් නෙවෙයි, යුටියුබ්, ඉන්ස්ට්‍රග්‍රෑම්වලිනුත් මිනිස්සු අතරට යන්න පුළුවන්. මාත් මුලදී මේවා ගැන හරිහැටි අවබෝධ කරගෙන හිටියේ නැහැ. දැන් තේරෙනවා මේවායින් ජනප්‍රිය වෙන්න පුළුවන් කියලා. ඒක ඉතින් අපේ අතේ තියෙන්නේ. අපි කරන දේ එක්ක මිනිස්සු අපිව මනිනවා. ඒවගේ හරිදේ කරනවා නම් අවුලක් නෑ. මම ගොඩාක් වෙලාවට ඒකාලයේ සමාජ මාධ්‍ය භාවිතා නොකරපු නිසා හුඟාක් අය මගේ රූපය දැනගෙන තිබුණත් නම දැනගෙන තිබුණේ නෑ.


අද ප්‍රේක්ෂක රසවින්දනය බාල වී ඇති බවට චෝදනා තිබෙනවා. ඉස්සර තිබුණු නිර්මාණ හා අද නිර්මාණ අතර වෙනස ඔබ දකින්නේ කොහොමද..?


අදත් හොඳ නිර්මාණ තියෙනවා ඉස්සර තරම් නැතිවුණත්. ඒක අපි තෝරාගන්න ඕන. එකඑක අය ටෙලිනාට්‍ය අල්ලගන්න විදිහ වෙනස්නේ. අද ජෙනරේෂන් එකේ සමහරු එදා තිබූ නිර්මාණ ආසාවෙන් බලන තත්ත්වෙකුත් තියෙනවා. සමහරු ඒවාට ආස නැහැ. අනික අද ළමයි පරණ කලාකරුවන් අඳුනන්නෙත් නැහැ. දැන් භාෂාවත් වෙනස්නේ. අපි කතා කළ භාෂාව නෙවෙයි අද ජෙනරේෂන් එක කතා කරන්නේ. දැන් සිංගලිෂ් තියෙන්නේ. ටයිම් චේන්ජ් එකත් එක්ක රසවින්දනය වෙනස් වෙනවා. වැරැද්ද තියෙන්නේ කොතැනද කියලා මට නම් කියන්න දන්නේ නැහැ. මට ඒක තේරෙන්නේ නැහැ.


රඟපෑමට අමතරව වෙනත් රැකියාවක් කරනවද..?


මම වෙනත් රැකියාවක් නම් කරන්නේ නැහැ. වෘත්තියමය මට්ටමින් රංගනය කරගෙන යන්නේ.


ලැබෙන ඕනෑම චරිතයක් ඔබ භාරගන්නවද..? චරිතයක් භාරගනිද්දි විශේෂයෙන් සලකා බලන කරුණු මොනවද..?


මම ක්ෂේත්‍රයට ආව මුල් කාලයේ නම් කොන්දේසි දාගෙන හිටියා. සමහර චරිත මම ප්‍රතික්ෂේප කළා. කොටට අඳීන ඒවට එහෙම මම පෙනීසිටියේ නැහැ. ක්ෂේත්‍රයේ තැනකට එන්න නම් කැපකිරීම් ගොඩාක් කරන්න වෙනවා. මම කාලය ගත්තානම් වැඩියි තමයි. ඒත් මම දැන් ගොඩාක් තෘප්තිමත් වෙනවා ප්‍රේක්ෂක ප්‍රතිචාර මත. මම දැන් මවක්. මවගේ චරිතය තමයි සැබෑ ජීවිතයේ කරන්නේ. එය මූලිකයි. මා ගැන මම තෘප්තිමත්. චරිතයක් භාරගනිද්දි විශේෂයෙන් කියා වර්ගීකරණයක් කරන්නේ නැහැ.


ඔබේ යූටියුබ් නාලිකාව ගැන කතා කළොත්..?


කොරෝනා කාලයේ ඒක පටන්ගත්තේ. ඒ කාලයේ ‘ඇය’ , ‘අහස් මාලිගා’ ටෙලිනාට්‍යවල ෂූටින්. ඒ ටෙලිනාට්‍ය කරන අතරේම තමා මේක පටන්ගන්න හිතුවේ. ළමයි එක්ක ටික කාලයක් ගෙදර ඉන්නත් වුණානේ. 2021අගෝස්තු මාසේ වගේ තමයි මේ වැඩේ පටන්ගත්තේ. මුලින්ම ගොක් කොළවලින් රූංපෙත්තා හදන්න ගත්තා. මාළුවෝ, කුරුල්ලෝ හදන්න ගත්තා ගොක් කොළවලින්. ගොක් කොළ නිර්මාණ කළා. ඒවා යූටියුබ් දාලා චැනල් එකක් හැදුවා.. ඊටපස්සේ මගේ පවුලේ ඒවාත්, අපි travel කරන ඒවා එහෙම ඒකට ඇතුළත් කළා..ඊට අමතරව ෂූටින්වල ඒවාත් දැම්මා. ඒවා මගේ ලයිෆ් එකේ ඒවානේ.


වෙළෙද දැන්වීම් සහ මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයට ඔබේ යොමුවීම...?


මුලින්ම ටීවී කොමර්ෂල්ස් කළා. ගීතවල විෂුවල්ස් රැසකටම මම පෙනී සිටියා. සමහරු මාව දන්නේත් ඒවාගෙන්. ‘මන්දිර සදලුතල’ ගීතයේ විෂුවල් එක ගොඩාක් ජනප්‍රිය වුණා. මොඩ්ලින් එහෙමත් කළා. 2019දී Mrs: Srilanka  පැජෙන්ට් එකට හිටියා, එහි තුන්වැනි ස්ථානය ලැබුණා..


ජනප්‍රිය නිළිය වීමද, හොඳම නිළිය වීමද ඔබේ අරමුණ..?


ඉස්සර නම් එහෙම අරමුණක් තිබුණා. මම කොහොමත් Possitive Thinking  හිතන කෙනෙක්. ජනප්‍රිය නිළිය වීම හෝ හොඳම නිළිය වීම මගේ අරමුණ නෙවෙයි. රංගනය කරන්නේ ආත්ම තෘප්තියට. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එයාලගේ සිත්වල අමතක නොවෙන චරිතයක් වෙන්නයි මට ඕනවුණේ. ‘හේඩි’ ටෙලිනාට්‍යයෙනුත් මම ඒක කළා. ඒ වගේම ‘මිනෝලි’ සහ ‘නයෝමි’ කියන චරිතත් ප්‍රේක්ෂකයාගේ හිත්වල දැන් ඉන්නවා කියා මට තේරෙනවා. ඒක මට ලොකු සතුටක්.


මේ දිනවල ඔබව අපට දකින්න ලැබෙන්නේ කුමන නිර්මාණවලින්ද..?


‘හිත ළඟ හිනැහුණා’ , ‘ජානු’ ටෙලිනාට්‍යවල තමයි මේ දිනවල රංගනයේ යෙදෙන්නේ. මම කොහොමත් එකවර උපරිම ටෙලිනාට්‍ය දෙකයි භාරගන්නේ. ‘ජානු’ සමීර හසුන්ගේ අධ්‍යක්ෂණයක්. ‘හිත ළඟ හිනැහුණා’ මුලින්ම අධ්‍යක්ෂණය කළේ ධනුෂ්ක රත්නායක. දැන් අධ්‍යක්ෂණය කරන්නේ ප්‍රදීප් රසාංග. එහි තිරරචනය මහේෂ් රත්සර මද්දුම ආරච්චි අයියාගේ. එයාටත් මෙහිදී මම විශේෂයෙන් ස්තුති කරන්න කැමැතියි.


ඔබේ පවුල් ජීවිතය ගැන කතා කළොත්..?


මගේ මහත්තයා සුරේන්ද්‍ර මුණසිංහ. ඔහු ගුවන් හමුදාවේ නිලධාරියෙක්. අපිට ඉන්නේ දුවයි, පුතාලා දෙන්නයි. උදේ 5ට ෂූටින් යන දවස්වලට දුවව ඊට කලින් ඇහැරවලා කොණ්ඩේ එහෙම ගොතලා දීලා තමයි මම යන්නේ...මොන දේ කළත් පවුල් ජීවිතයට තමයි මූලිකත්වය දෙන්නේ...


නිදහසේ ඉන්න මොහොතකදී ඔබ කාලය ගතකරන්නේ කොහොමද?


ඒක ඉතින් වෙලාවෙන් වෙලාවට වෙනස්වෙනවා. පොත්පත් කියවනවා. ටීවී බලනවා. ජිම් යන්න නම් වේලාවක් නැහැ. ගෙදර වැඩ කළාම ඉතින් ජිම් ගියා වගේ තමයි. මහත කාලේ නම් ඇඟ හදාගන්න ජිම් ගියා...


 




Previous Post Next Post