ක්‍රිකට් වෙනුවෙන් දුෂ්මන්ත ගොඩක් දුක් වින්දා-දුෂ්මන්ත චමීරගේ බිරිඳ සුලෝචනා දිල්රුක්ෂි



චමින්ද වාස්, ලසිත් මාලිංග සහ නුවන් කුලසේකරට පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වූයේ වෙන කවුරුත් නොව දුෂ්මන්ත චමීරය. තරගය කුමක් වුවද ඔහු පන්දුව අතට ගන්නේ කොයි මොහොතේද එතැන් පටන් පිතිකරුවන් සිටින්නේ තිගැස්මකිනි. එහෙත් පසුගිය කාලය පුරාම ආබාධ තත්ත්වයන් නිසා ඔහු ක්‍රිකට් පිටියේ දකින්නට ලැබුණේ නැත. නමුත් දැන් ඔහු යළිත් කණ්ඩායම සමග එකතු වී සිටියි. එවන් මොහොතක  මේ කතාබහ දුෂ්මන්ත චමීරගේ ආදරණීය බිරිඳ වන සුලෝචනා දිල්රුක්ෂි සමගිනි.


ඒ කාලේ ඔයයි දුෂ්මන්තයි ගියේ එකම ඉස්කෝලෙටලු නේද?


ඔව්, අපි දෙන්නම මීගමුව හරිස්චන්ද්‍ර ජාතික පාසලට ගියේ. හැබැයි දුෂ්මන්ත නම් සාමාන්‍ය පෙළ වෙනකල් ඒ ඉස්කෝලේ ඉඳලා ඊටපස්සේ මාරිස්ටෙලා එකට ගියා.


ආදර කතාව පටන්ගන්නේ ඉස්කෝලෙන්මද?


දුෂ්මන්ත ඉස්කෝලෙදි මාව දැකලා තමයි එයාගේ යාළුවෙක් මාර්ගයෙන් එයාට කැමැතියිද කියලා ඇහුවේ. ඒත් ඒ කාලේ මං ඉගෙනගන්න ආසයි. බාහිර දේවල් එහෙම ඔළුවට ගත්තේ නෑ. ඉතින් දුෂ්මන්ත යාළුවෙන්න ඇහුවට මං එයාට කැමැති වුණේ නෑ.


ඒ කියන්නේ සුලෝචනා සෑහෙන්න ගණන් උස්සන්න ඇති?


ඒ කාලේ මං ඉතින් හරි පොඩියිනේ. ආදරේ වගේ දේවල්වලට එහෙම උනන්දුවක් තිබුණේ නෑ. ඒ නිසා තමයි මුලදි අකැමැති වුණේ. ඒක ඉතින් දුෂ්මන්තගේ පැත්තෙන් බැලුවම ගණන් ඉස්සුවා වගේ තමයි. ඒත් ඒකට ගණන් ඉස්සුවාම කියන්න බෑ.


ඉස්කෝලේදි ඔයාගේ යාළුවෝ දුෂ්මන්ත දැක්කම "අන්න ඔයාගේ ෆාස් බෝලර් ඉන්නවා" කියලා විහිළු කළා කියන්නේ ඇත්තද?


ඒ දුෂ්මන්ත මට ආදරෙයි කියලා අඟවපු කාලේ. ඇයි ඉතින් මං කොහේ ගියත් දුෂ්මන්ත ඒ යන තැන්වල ඉන්නවා. එයා මට කැමැත්තෙන් ඉන්නවා කියලා මං දැනගත්තෙත් ඒ නිසාමයි. ඒක මගේ යාළුවොත් දැනගත්තා. අන්න ඊට පස්සේ තමයි දුෂ්මන්ත දැකපු තැන එයාලා විහිළුවට වගේ "අන්න ඔයාගේ ෆාස් බෝලර් ඉන්නවා" කියලා කියන්න පටන්ගත්තේ.


එතකොට ඔයා එයාට කැමැතිවුණේ කොහොමද?


මං දුෂ්මන්ත කොයි වගේ කෙනෙක්ද කියලා හොයලා බැලුවා. එතකොට මට තේරුණා එයා හරිම හොඳ අහිංසක කෙනෙක් කියලා. ඉතින් අන්තිමේදි මම එයාට කැමැති වුණා.


ඔයා දුෂ්මන්තගේ පළවෙනි ආදරේ කියන්නේ ඇත්තද?


මං එයාගේ පළවෙනි ආදරේ කියලා දුෂ්මන්ත මට කියලා තියෙනවා.


එතකොට ඔයාලගේ විවාහය සිද්ධ වුණේ ?


අවුරුදු හයක් වගේ කාලයක් ආදරේ කරලා 2017 සැප්තැම්බර් 07 වෙනිදා අපි විවාහ වුණා.


දුෂ්මන්ත එක්ක ගෙවන ජීවිතේ කොහොමද?


විවාහ වෙලා අවුරුදු හයක් ගියාට මට නම් එච්චර කාලයක් ගිහින් කියලා තාම දැනෙන්නේ නෑ. අපි තාමත් ආදරේ කරපු දවස්වල වගේ හරිම ආදරෙන් සතුටින් ඉන්නවා. දැන් අපිට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.


දුෂ්මන්ත එක්ක ජීවත්වෙන්න හරි ලේසියිලු නේද?


ඒක නම් ඇත්ත. දුෂ්මන්ත කියන්නේ පොඩ්ඩක්වත් තරහා යන්නේ නැති කෙනෙක්. තරහා ගියත් ඒක කවදාවත් පෙන්නන්නේ නෑ. හරිම අහිංසකයි. ඒ නිසා ජීවත්වෙන්න හරිම ලේසියි.


දුෂ්මන්ත ගැන ඔයාට අමතක නැති මතකයක් එහෙම තියෙනවද?


2014 දෙසැම්බර් මාසේ දවසක එයා මට වෙනදා නැති අමුතු සතුටකින් කෝල් කළා. මං බැලුවා මේ මොකද මේ කියලා. බලද්දි එයා ජාතික කණ්ඩායමට තේරිලා. ඒ කෝල් එක මට කවදාවත් අමතක වෙන්නේ නෑ.


දුෂ්මන්ත කියන්නේ ගොඩාක් දුෂ්කරතා එක්ක ජාතික කණ්ඩායමට ආපු ක්‍රීඩකයෙක් කියන්නේ ඇත්තද?


එයා සාමාන්‍ය පවුලක දරුවෙක්. ඉතින් ක්‍රිකට් බඩු ටික එහෙම ගත්තේ ටිකක් අමාරුවෙන් කියලයි එයා මට කියලා තියෙන්නේ. එයාලා පුහුණුවීම් යනකොට ලොකු ක්‍රිකට් බඩු බෑග් එකක් අරන් යනවනේ. ඉතින් ඒක පිටේ එල්ලන් ඉන්නවා දැක්කම බස්වලටවත් නග්ගගන්න කැමැතිවෙලා නෑ. මොකද එයා බස් එකේ තමයි පුහුණුවීම්වලට ගියේ. ජාතික කණ්ඩායමට තේරිලත් ටික කාලයක් යනකල් පුහුණුවීම්වලට ගියේ බස්වල. ඒ වගේ ගොඩාක් දුෂ්කරතා එක්ක තමයි එයා අද ඉන්න තැනට ඇවිත් තියෙන්නේ.


ක්‍රිකට් ක්‍රීඩකයෝ කාර්යබහුල පිරිසක්. සුලෝචනාට ඒක දැනෙන්නේ කොයි විදිහටද?


ඒක නම් ගොඩාක් දැනෙනවා. මට මතකයි පළවෙනි බබා ලැබෙද්දි එයාට මගේ ළඟ ඉන්න පුළුවන් වුණේ දවස් කීපයක් විතරයි. එයා හම්බෙලා දවස් දහයකින් වගේ එයා ටුවර් එකක් ගියා. ආයෙත් එයා බබාව දැක්කේ මාස තුනකට පස්සේ. පහුගිය කොවිඩ් කාලේ එහෙම මාස ගණන් එයාට ගෙදර ඉන්න වුණේ නෑ.





Previous Post Next Post