සෙට් එකට ගිහින් ඇක්ෂන් කියද්දි තමයි මම තුෂාරි වෙන්නෙ-දුමී වන්නිආරච්චි



රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකට නිර්මාණයක ප්‍රධාන චරිතය ලැබෙනවා කියන්නෙත් ලොකු ජයග්‍රහණයකි. ප්‍රධාන චරිත නොවන ඇතැම් චරිත ඔස්සේ කළ හැකි දේත් බොහෝයි. සංගීතේ ටෙලි නාට්‍යයේ තුෂාරිත් එවන් චරිතයකි. ලස්සන සමනල චරිත අතරේ තුෂාරි ලෙසින් අභියෝගාත්මක රංගනයක යෙදෙන ඇය දුමී වන්නිආරච්චිය. 


සුන්දර සමනල චරිත අතරේ සංගීතේ තුළ ඔබට ලැබුණෙ කළු චරිතයක්. කොහොමද තුෂාරිට ලැබෙන ප්‍රතිචාර?


ප්‍රතිචාර ගොඩක් ලැබෙනවා. ගොඩක් ලැබෙන්නෙ නම් ඒ චරිතයට බණින, අප්‍රසාදය පළ කරන ප්‍රතිචාර. ඒ ගැන මට තියෙන්නෙ සතුටක්. රංගන ශිල්පියකුට හෝ ශිල්පිනියකුට ඒ වගේ ප්‍රතිචාරයක් ලැබෙනව කියන්නේ එයා ඒ චරිතයට සාධාරණයක් කළා කියන එකනෙ. කොච්චර බැන්නත් සජීවීව හමුවුණහම ලැබෙන ප්‍රතිචාරය වෙනස්. අයියෝ ඔයා ඒ වගේ කෙනෙක් නෙවේ නෙ. ඔයා හොඳට ඒ චරිතය කරනවනේ කියලා ළඟටම ඇවිත් කතා කරනවා.


පහුගිය දවස්වල ඩෙංගු රෝගය හැදිලා මට රෝහල්ගත වෙන්න සිද්ධ වුණා. තුෂාරි නිසා රෝහල් කාර්ය මණ්ඩලයේ හැමෝම මට ගොඩක් ආදරෙන් සැලකුවා. මං බෙහෙත් විදින එකට හරි බයයි. ඒ වෙලාවට අයියෝ මෙයා කැරැක්ටර් එකේ ඉන්නෙ නම් දාහකට ගහන්න පුළුවන් වගේ. ඇයි මේ බයවෙලා කියලා හිනා වුණා.


දුමී වන්නිආරච්චි කියන රංගන ශිල්පිනිය ප්‍රේක්ෂකයා හමුවට එන්නෙ කළු චරිතයකින්. හා හා පුරා කියලා ඒ වගේ චරිතයක් කරන එක අනාගතයට බලපෑමක් වේවි කියලා හිතුනෙ නැද්ද?


මං පුංචි කාලෙ ඉඳන්ම රංවල බලකායට සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේම මුදියන්සේ දිසානායක සර්ගෙන් නර්තනය හැදෑරුවා. නර්තන කණ්ඩායමෙත් හිටියා. මේ වෙද්දි කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ නාට්‍ය හා රංග කලාව විශේෂවේදී උපාධිය හදාරමින් ඉන්නවා. මං ප්‍රධාන විෂය විදිහට ඉගෙන ගන්නේ ඇක්ටින්. චරිත තෝරා බේරා ගැනීමක් කළත් මට කැරැක්ටර් එකක් විදිහට යන්න පුළුවන් උපරිම සීමාව බලනවා. හීරෝගෙ චරිතයකට වඩා කළු චරිතයක් හරහා ලොකු අවධානයක් ගන්න පුළුවන් වගේම ලොකු දෙයක් කරන්නත් පුළුවන් කියලා මට හිතෙනවා. ඒ වගේ චරිතයක රංගන ධාරිතාවත් වැඩියි. ඒ නිසා රංගනය ගැන මට ලොකු බයක් දැනුණෙ නැහැ.


 


කොහොමද ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ?


මගේ ෆොටෝ වගයක් දැකලා මෙහෙම කැරැක්ටර් එකක් තියෙනවා ඔඩිෂන් එකට එන්න කියලා මට කතා කළේ සංගීතේ ටෙලි නාට්‍යයේ කලින් හිටපු ඒඩී. ඒකෙන් තේරිලා පහුවදාම ෂූටිං තිබුණා. එදාම විකාශයත් වුණා. මුලින්ම තුෂාරි කියන්නේ ලන්ඩන්වල ඉඳන් එන සාමාන්‍ය චරිතයක්. මගේ ඇක්ටින් බලලා මගේ දේවලුත් එකතු කරලා ඒකෙ ගෑනු ළමයෙක්ගෙ කළු චරිතයක් තිබුණෙත් නැති නිසා සාරංග අයිය තුෂාරි කියන කැරැක්ටර් එක වෙනත් පැත්තකට ගෙන ගියා.


 


තුෂාරි කියන්නේ ජිවත් වෙන පරිසරය ඇතුළෙ රස්තියාදු භාෂාව කතා කරන මුඩුක්කු කෙල්ලෙක්. ඒ චරිතය ගොඩනඟන්න ඒ ආශ්‍රිතව අධ්‍යයනයක් කරන්නත් වුණා ද?


විශ්වවිද්‍යාලෙ මොකක් හරි රිසර්ච් එකක් කරද්දි නම් මාස ගණන් අධ්‍යයනය කරනවා. ඒත් ටෙලි නාට්‍යවලදි එහෙම කරන්න අමාරුයි. විශේෂයෙන්ම මෙගා නාට්‍යවලදි බොහෝවිට එදිනෙදා ෂූට් කරන අවස්ථා බහුලයි. චරිතයක් ඩිවලොප් වෙන්නෙ එදිනෙදා වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් සමීප කෙනෙක් එක්ක කතා කරනව ඇරුණම බොහෝවිට මං නිහඬ චරිතයක්. මං ඉගෙන ගන්න විෂයත් එක්ක කැම්පස් යන එන කොට හමුවන දකින මිනිස්සුන්ව අධ්‍යයනය කරනවා. එයාලගෙන් ගන්න පුළුවන් කෑලි අරගෙන මං මගේ චරිතය වැඩිදියුණු කරලා ගොඩ නඟාගන්නවා. තුෂාරි මෙන්න මේ වගේ ටෝන් එකකින් තමයි කතා කරන්න ඕන කියලා මට හිතුණා.


ආධුනික ශිල්පිනියක් විදිහට අධ්‍යක්ෂ ඔබට චරිතය ගොඩනඟා ගන්න නිදහස දුන්නද?


සාරංග අයිය මට චරිතය ගැන පැහැදිලි කරලා නිදහසේ චරිතය ගොඩනඟා ගන්න ඉඩ දුන්නා. එයා හරිම සපෝටඩ් ඩිරෙක්ටර් කෙනෙක්. එයාට ඕන නැති තැනක් තිබුණොත් විතරයි නංගි මේක මෙහෙම වෙන්න ඕන කියලා කියන්නේ. සමහර වෙලාවල මං කරන දේවල් ඕකේ වෙන අවස්ථාත් තියෙනවා. මේක්අප් කරද්දිවත් සීන් එකේ නෑ. සෙට් එකට ගිහින් ඇක්ෂන් කියද්දි තමයි මම තුෂාරි වෙන්නෙ. එතැන ඉඳන් ඉවර වෙනකල් ඉතින් කැරැක්ටර් එකේම තමයි ඉන්නෙ.


 


තුෂාරි දැකලා තවත් ඒ වගේ චරිතවලට ආරාධනා ලැබුණෙ නැද්ද?


මේ වෙද්දි තව ටෙලි නාට්‍ය දෙකක වැඩ ඉවර කරලා තියෙනවා. සියත නාළිකාවේ නුදුරේදී ම විකාශය වීමට නියමිත ඉරේෂ් ලොකුබණ්ඩාරගේ ආයෙමත් ආදරෙන් ටෙලි නාට්‍යයේ මියැසි කියන්නේ තුෂාරිට හාත්පසින්ම වෙනස් දඟකාර ඔහේ කියවන චරිතයක්. ඒ වගේම සුපුන් රත්නායකගේ ෆෝචූන් මගේ ජීවිතේට ලැබුණු ලොකුම අවස්ථාවක්. ඒක ප්‍රවීණයන් රැසක් පිරිවරාගත් දැවැන්ත කාස්ට් එකක් ඉන්න නිර්මාණයක්. ඒක අහිංසක කැම්පස් ළමයෙකුගේ චරිතයක්. ඉදිරියේ දී විකාශයට නියමිතයි. ඒ වගේම ටිකිරි රත්නායක සර්ගේ නිර්මාණයකට දායක වුණා. ඒක ගැමි යුවතියකගේ චරිතයක්. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ මට ලැබුණෙම එකිනෙකට වෙනස් චරිත. ඒ වගේම අන්සතු ඔබ සිත ගීතයෙන් ගොඩක් ජනප්‍රිය වුණු තිසර වීරසිංහගේ ගීතයකට රංගනයෙන් දායක වුණා.


 

දුමී කියන්නෙත් ආකර්ෂණීය රූසපුවකට හිමිකම් කියන සුන්දර තරුණියක්නෙ. ආදරය ගැනත් අත්දැකීම් ඇති?


තාම ආදරවන්තියක් නම් නෙවෙයි. හොඳ තේරුම්ගත්ත කෙනෙක් හමුවුණොත් ඉදිරියේ දී ඒදේත් සිද්ධ වේවි.






Previous Post Next Post