මට දෛවය ගැන ලොකු විශ්වාසයක් තියෙනවා-සෙව්වන්දි රණතුංග




අධ්‍යාපනය ලබන කාලයේ ආයුර්වේද වෛද්‍යවරියක් වීමට බලාපොරොත්තු වුවද දෛවය ඇයව ගායන ශිල්පිනියක් කළාය. මේ දිනවල දෙරණ සික්ස්ටිප්ලස් වැඩිහිටි ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරුවරියක් ලෙස ද කටයුතු කරන්නීය. දශක තුනකටත් වඩා වැඩි කාලයක් ගායන ලොව ජය කෙහෙළි නැංවු ප්‍රවීණ ජනප්‍රිය ගායන ශිල්පිනි සෙව්වන්දි රණතුංග නම් ඈ අප සමඟ කතා බහට එක්වූවාය.


සෙව්වන්දි අම්මා, තාත්තා නිසාමද ගායනයට එන්නේ?


අම්මා, තාත්තා ගෙදර දොර සංගීත කලා පසුබිම නිසාම මං ගායිකාවක් වෙන්න ඕනේ කියලා හිතුවේ නෑ. ඒ කාලේ මගේ දෙමාපියන් මට එහෙම කරන්න කියලා බලපෑම් කළෙත් නෑ. මං හිතන්නේ දෛවය විසින් මාව මේ දේට යොමු කළේ කියලා මම දෛවය පිළිබඳව ලොකු විශ්වාසයකින් පසු වෙන කෙනෙක්.


ඔබ පසුගියදා සමාජ සත්කාරක වැඩකටයුත්තකුත් සිදු කළා නේද?


මගේ උපන් දිනය තිබුණු අප්‍රේල් මස දෙවන දින මූලික කරගෙනත් මගේ තාත්තගේ උපන් දිනයත් යෙදිලා තිබුණෙ අප්‍රේල් මස පස්වෙනිදා ඉතින් ඒ අවස්ථා දෙකම අල්ලලා තමයි සංගීත ප්‍රසංගවලින් හම්බකරගත් මුදල් වලින් ඉතිරි කරගත් ඒ මුදල් වලින් තමා මං මේ වැඩේ කළේ. දුෂ්කර පළාතක ආර්ථික අපහසුතා ඇති ස්ථිරව තමන්ටම කියා නිවසක් නැති එය ගොඩනඟා ගැනීමටද හැකියාවක් නැති අයෙකුට ගෙයක් හදලා දුන්නා. මම ඒ නිවෙස ඔවුන්ට භාර දෙන්න එතැනට යනකම්ම ඒ අය දැනගෙන හිටියේ නෑ මං කවුද කියලා. පස්සේ එයාලා මාව අදුර ගත්තා. මේ වගේ සමාජ සත්කාරක වැඩ කිරීමත් මගේ හිතේ කාලයක් තිස්සේ ඉදලා තිබුණු ලොකු හීනයක්. ඉතින් මං ඒ වගේ සමාජ සත්කාරක වැඩ කිහිපයක්ම සිදු කළා.


ඔබ මේ වගේ දේවල් කරලා අනාගතයේ දේශපාලනයටවත් එන්න අදහසක් තියෙනවද?


අනේ නෑ මං අකමැතිම අප්‍රියතම දේ තමයි දේශපාලනය. මං ඒ වගේ තැනකට නම් කවදාවත්ම එන්නේ නැති වෙයි.


දැන් සංගීත ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?


දැන් අවුරුදු තිහක් වෙනවා. ඒත් මං ප්‍රසංග වේදිකාවට ඇවිත් අවුරුදු හතරක් විතර වෙන්නේ. ඇත්තටම මම මේ අවස්ථාවේදී මතක් කරන්න ඕ‌නේ මාව එළිමහන් ප්‍රසංඟ වේදිකාවට හඳුන්වාදෙමින් මුලින්ම ඒ සඳහා මාව යොමුකරමින් අතහිත ලබාදුන් චරිත් වැලිවත්ත මහතාව. ඒ වගේම සුමිත් කරුණාරත්න මහතාවත්. ඒ මගේ මුල්ම ප්‍රසංගයේ මට සිංදු කියන්න තිබුණේ කිරිල්ලවලදි පැවති සංගීත ප්‍රසංගයක ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම සමඟ. ඊට පස්සේ වෙජිටබල් නයිට් කියලා තවත් සංගීත ප්‍රසංගයක ඒ සඳහා සංගීතය සැපයූවේ ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායම. එදා මං මගේ ගීත වගේම පුංචි අම්මා නිරංජලා සරෝජනීගේ ගීතත් ප්‍රසංග වේදිකාවේ ගායනා කළා. එදා මට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබුණා. මගේ සිනාමල් ගොඩක් ඇතුළු ගීතවලටත් ඒ වගේම පුංචිගේ ගීතවලට පවා වැඩි ඉල්ලුමක් ති‌යෙන බව දැනුණා. මගෙන් අදටත් ප්‍රසංග වේදිකාවේදී මගේ ගීතත් පුංචි අම්මාගේ ගීතත් ඉල්ලනවා. ඒදා ඉදලා මම අද දක්වාම පුංචි අම්මාගේ ගීතත් ඒ විදිහටම ගායනා කරන නිසා වෙන්න ඇති අදටත් ඒ ගීත මගෙන් ඉල්ලන්නේ. ඉතිං මම කෙටි කාලයක ඉදලා ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් අදටත් එළිමහන් ප්‍රසංග වේදිකාවේ රැඳිලා ඉන්නවා.


මේ දවස්වල ඔබ ගායන රියැලිටි වැඩසටහනක විනිසුරුවරියක් ලෙස කටයුතු කරනවා නේද?


මට ආරාධනාවක් ලැබුණා දෙරණ රූපවාහිනි නාළිකාව දියත් කරන වැඩිහිටියන් සඳහා වන දෙරණ සික්ස්ටිප්ලස් ගායන රියැලිටි වැඩසටහනේ විනිසුරු මඬුල්ල නියෝජනය කරන්න වැඩිහිටියන් එක්ක කටයුතු කරන්න ඒ විදිහට අවස්ථාව ලැබීම ගැනත් මං ලොකු සතුටක් ලබනවා. මේ දිනවල ඒ වැඩකටයුත්තත් එක්ක තමා වැඩිපුර කාලය ගෙවෙන්නේ.


මේ වෙනකොට ඔබගේම ගීත කීයක් විතර තියෙනවාද?


මගේ ගීත තිස්පහක් විතර තියෙනවා. මං ඒ ගීතත් ගායනා කරනවා. හැබැයි ප්‍රසංග වේදිකාවේදී මගෙන් වැඩියෙන්ම ඉල්ලන්නේ නිරංජලා පුංචිගේ ගීත. අබේ බාප්පා නැති වුණාට පස්සේ මගේ පුංචි ප්‍රසිද්ධ වේදිකාවේ ගීත ගායනා කිරීම මුළුමනින්ම නැවැත්වූවා. ඊට පස්සේ පුංචි අම්මා මට අවසර දීලා තියෙනවා එයාගේ ගීත ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්න. මං මුලින් කිව්වා වගේ මගේ ප්‍රථම ප්‍රසංගයේදීත් ඒ ගීත ගායනා කළාම පුදුම විදිහේ ප්‍රතිචාර ලැබුණා. වැඩි ඉල්ලුමක් මගේ ජනප්‍රිය ගීත වලට වගේම පුංචිගේ ඒ ගීත වලට අදටත් තියෙනවා. එදා ඉදලා අද දක්වාම මං මගේ ගීත වලට වඩා පුංචි අම්මාගේ ගීත තමා ප්‍රසංග වේදිකාවේදී ගායනා කරන්නේ රසිකයන්ගේ ඉල්ලීම මත.


ඔබේම ගීත මේ කාලේදී නිර්මාණය කළේ නැද්ද?


අලුතින් නිර්මාණ කිහිපයක්ම කරලා මං ළඟ තියාගෙන ඉන්නවා. නව සංගීත අධ්‍යක්ෂක උදාර සමරවීර සමඟ මගේ ගීත රූප රචනා සහිතව වැඩ නිම කරමින් අවශ්‍ය කටයුතු කරගෙන ආවා. මේ කොරෝනා නිසා ඒ වැඩේ සම්පූර්ණ කර ගන්න බැරිව අතරමඟ නවතා දමන්න සිද්ධ වුණා.


ගීත අලුතින්ම නිර්මාණය කරලා ඔහොම ළඟ තියාගෙන ඉදලා හරියනවද?


ඇත්තටම මං කාගෙවත් පස්සෙන් ගිහිල්ලා මගේ ගීත ප්‍රචාරය කරලා දෙන්න කියලා ඉල්ලන්නේ නෑ. මගේ මහත්තයා වැඩ කරන්නෙ මාධ්‍ය ආයතනයක සංගීත අංශයේ ඉහළ තනතුරක. මං ඔහුටවත් කියලා නෑ මගේ ගීත ප්‍රචාරය කරලා දෙන්න කියලා.


අපි ඔබේ සැමියා සහ පවුල් ජීවිතේ ගැනත් විස්තර කියමු?


ඔහු නමින් නිහාල් වික්‍රම එදිරිසූරිය. සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකවරයෙක් ලෙස තමයි ඔහු වැඩ කරන්නෙ. ඒවගේම ඔහු නිවේදකයෙක් ලෙසත් කටයුතු කරනවා. මට වයස අවුරුදු විසි එකේදී තමයි ඔහු හා විවාහ වෙන්නේ. දැන් මට පුතෙකුයි දුවෙකුයි ඉන්නවා. පුතා පසුගිය දා සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටියා. දුව පවුලේ වැඩිමලා ඇයට අවුරුදු විසි තුනයි. ඇය උසස් අධ්‍යාපනය හදාරමින් ඉන්නවා.


ඒ දෙන්නා කලාවට යොමු වෙන්නේ නැද්ද?


ඒ දෙන්නටම හොඳට සංගීතය, ගායනය, නිවේදනය වගේ කටයුතු කරන්න පුළුවන්. දුවත් මං වගේම උත්තර භාරතීය සංගීතයත් හැදෑරුවා. නමුත් ඒ දෙන්නම මේ වෙනකොට වෙනත් ක්ෂේත්‍රයන් තෝරගෙන ඒ ඔස්සේ ඉදිරියට යනවා.


සෙව්වන්දිගේ ඔය ලස්සන හැඩරුව නිසා රංගනයට ආරාධනා ලැබිලා නැද්ද?


මුල් කාලයේදීත් මෑතකදීත් ඒ සඳහා බොහෝ ආරාධනා ලැබුණා. මම ඒ අවස්ථා එකකටවත් යන්න කැමැති වුණේ නැහැ. හේතුව රංගනය කියන දේ මම දන්නේ නැහැ.


සංගීත ලෝකයේ ඔබ මෙතෙක් ආ ගමන් මඟ දෙස ආපසු හැරිලා බලද්දී මොකද හිතෙන්නේ?


ඇත්තටම සංගීතය පැත්තෙන් ගායන ශිල්පිනියක් ලෙස ඉහළ ජනප්‍රියත්වයක් ලබමින් මේ දක්වා ආපු ගමන් මඟ ගැන නම් මං නිහතමානීව සතුටු වෙනවා. මගේ වාසනාවට, පිනට තමා මේ අවස්ථාව මට ලැබිලා තියෙන්නේ මිනිසුන්ගේ සිත්සතන් ගීත ගායනයෙන් සුවපත් කිරීමට. මගේ අම්මා ප්‍රවීණ ගායන ශිල්පිනි විශාරද නිර්මලා රණතුංග. මගේ පියා තබ්ලා වාද්‍ය විශාරද දර්ශනපති සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිවංගත විජේරත්න රණතුංග. අද මං මේ ඉන්න තත්වය සියැසින්ම දැක බලා ගන්නට මමයි මගේ අම්මයි ළඟ නැතිවීම පිළිබඳව මට විශාල කණගාටුවක් තියෙන්නේ.





Previous Post Next Post