ඇත්තම කිවුවොත් පොඩි කාලෙ ඉඳන්ම මට පෙම්වතියන් හිටියා-හෙෂාන් මනුල



සිරස නාළිකාවේ විකාශය වන හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ සිහින අද යෞවනියන්ගේ සිහිනයකි. වෙනත් රංගන ශිල්පියකු කළ භූමිකාවක් තමන්ගේ කරගෙන ප්‍රබල අභියෝගයකට මුහුණදුන් ඔහු හෙෂාන් මනුලය. අද ඔහු ඒ අභියෝගය ජයගෙන ප්‍රේක්ෂක ආදරය විඳිමින් සිටියි. මේ ඔහුගේ කතාවයි.


ප්‍රේක්ෂක ආදරය දිනූ චරිතයක් හදිසියේ ඉවත්වීම නිසා ආදේශක චරිතයක් වීම ඕනෑම රංගන ශිල්පියකුට ප්‍රබල අභියෝගයකි. ඔහු ද එවන් අභියෝගයකට මුහුණ දී සාර්ථක වූවෙකි.


“හිත ළඟ හිනැහුණා සිහිනට මට ආරාධනා ලැබෙන්නේ චරිතය ටිකක් දුර විකාශය වුණාට පස්සේ. මුලින්ම සිහින වුණේ දෙව්නක පෝරගේ. ඔහුගේ ඉවත් වීමෙන් පස්සේ තමයි මං කතාවට සම්බන්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් චරිතයක් මුල ඉඳන් කරනවට වඩා වෙන කෙනෙක් කරපු චරිතයකට අතර මඟදි සම්බන්ධ වෙන එක ලොකු අභියෝගයක්. ප්‍රේක්ෂකයා සිහින විදිහට අඳුන ගත්තෙ, භාර ගත්තෙ දෙව්නක. එක පාරටම රුව වෙනස් වුණාම ප්‍රේක්ෂකයා කලබල වෙනවා. තමන් ආස කළ චරිතයකට ආදේශකයක් භාර ගන්න ඔවුන් සූදානම් නැහැ. මං චරිතය භාර ගත්තෙම ඒ අභියෝගයත් එක්ක. මාව සිහින විදිහට පිළිගන්න ප්‍රේක්ෂකයන් කොහෙත්ම සූදානම් වුණේ නැහැ. මුලදි ප්‍රතිචාර ලැබුණෙම ඔයා හරියන්නෙ නෑ කියලා. ඒත් මං කලබල වුණේ නෑ. ඔවුන්ගේ තීරණය සාධාරණයි. ඒත් මාසයක් විතර යද්දි මට පුළුවන් වුණා සම්පූර්ණයෙන්ම ඒක අනිත් පැත්ත හරවන්න. සිහින, මනුලට ගොඩක් දුරට සමාන වුණ නිසා ඒක මට හොඳටම ගැළපුණා කියලයි මට හිතෙන්නේ. අද වෙද්දි ඔයා සිහිනගෙ චරිතය හොඳටම කරනවා. ඔයා ඒකට වෙනස්ම මුහුණුවරක් දුන්නා කියලා හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒක තමයි මට ලැබුණු ලොකුම සම්මානය. ප්‍රේක්ෂකයන්ගෙන් ඒ වගේ සම්මානයක් ගන්නව කියන්නේ අමාරු වැඩක්. ජනප්‍රියම ටෙලි නාට්‍ය 10 අතරේ හිත ළඟ හිනැහුණා තියෙනවා කියන්නෙ ලොකු සතුටක්. සිහින විදිහට ප්‍රේක්ෂකයන් මාව ආදරෙන් පිළිගන්නවා. මං එයාලට ස්තුතිවන්ත වෙනවා මාව විශ්වාස කළාට.“


ප්‍රතික්ෂේප වීම මැදහත් සිතින් විඳ දරා ගත් මනුලගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයත් සිහිනලු.


“රේස් ටෙලි නාට්‍යයේ උවිඳු කියන ප්‍රධාන චරිතය ඔස්සේ තමයි ප්‍රේක්ෂකයන් මාව හැඳින ගත්තේ. කොහොමත් මං රේස් පදින්න ආසා කෙනෙක්. සෙනාලි ෆොන්සේකා තමයි මේ චරිතයට ගැළපෙන හොඳම කෙනා මං කියලා රේස් එකේ ඩිරෙක්ටර්ට කියලා තිබුණේ. උවිඳුත් ගොඩක් ජනප්‍රිය වුණා. ඒත් සිහින තමයි මට ලොකුම අභියෝගය වුණේ. මනුලට වඩා ප්‍රේක්ෂකයන් දැන් මාව හඳුන්වන්නේ සිහින කියලා. “


මනුල කියන්නේ ඉන්දියානු රසිකයන් අතරත් කතාබහට ලක්වන චරිතයක්. වෙළෙඳ දැන්වීම් හරහා කලාවට පිවිසි ඔහු වඩාත් ප්‍රවීණත්වයක් උසුලන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ බවයි ඔහුගේ අදහස.


“ෂාරුක් ඛාන් එක්ක ඉන්න එයාර්ටෙල් වෙළෙඳ දැන්වීමෙන් තමයි මගේ කලාවට පිවිසීම සිදු වුණේ. දැනට ඉන්දියානු වෙළෙඳ දැන්වීම් පහකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවෙත් විස්සක් විතර කරලා තියෙනවා. දැන් විකාශය වන පෙප්සි දැන්වීමත් මං ඉන්දියාවට ගිහින් කළ එකක්. මගේ පෙනුමයි සහජ හැකියාවයි නිසා තමයි මට ඒ අවස්ථාව ලැබුණේ. අපේ රටට වඩා ඉන්දියාවෙනුයි මට වැඩිපුර ඇරයුම් ලැබෙන්නේ. මම යුරෝපීය ශෛලියට අඳින්න කැමති කෙනෙක්. හෙයාර් ස්ටයිල් වගේම පෙනුමත් නිතරම වෙනස් කරන කෙනෙක්. මොඩ්ල් කෙනෙක් වුණාම නිතර පැෂන් ගැන අප්ඩේට් වෙන්න ඕන. ඒ විශේෂත්වය නිසායි ඔවුන් මාව තෝරගෙන තිබුණේ. ඊට පස්සේ ඇඳුම් නිරූපණයට යොමු වුණා. ගොඩක් අය මට කිවුවා ඔයා ඉන්දියාවට ගැළපුණාට මෙහේට ගැළපෙන්නෑ කියලත්. වෙනවනම් ඒක වෝනිං එකක් වේවි කිව්වා. ඒ හැමදේම දරාගෙන මං නිහඬව මගේ ගමන ගියා. ඒ ඉවසීමේ ප්‍රතිඵලය අද මට ලැබිලා තියෙනවා. නිරූපණ ක්ෂේත්‍රයේත් දැනට අවුරුදු 14ක විතර පළපුරුද්දක් තියෙනවා. ඉන්දියාවේ අය ඇවිත් මෙහේ කරන ෂෝස්වලට මට ආරාධනා ලැබෙනවා. එහේට ඇවිත් එහේ දෙයක් කරන්න කියලත් ආරාධනා ලැබෙනවා. නමුත් මං හිතනවා ඊට කලින් මං ලංකාවට දෙයක් කරන්න ඕන කියලා. “


නිරූපණ ශිල්පියකුට රංගන ශිල්පියකු වීමට හැකියාවක් නැති බව කියු බොහෝ දෙනාට සිහින හොඳ පිළිතුරක් දුන් බවත් මනුල පැවසුවා.


“ටීවී ප්‍රසන්ටර් කෙනෙක් විදිහට කටයුතු කරන කාලේ වත්සලා දියලගොඩ තමයි මාව නාලන් මෙන්ඩිස් සර්ට අඳුන්වලා දීල ‘වාසනා වේවා‘ කියන ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒක තමයි මගේ මුල්ම ටෙලි නාට්‍යය. ඒත් එක්කමයි සිරි දළදා ගමනය චිත්‍රපටයේ දන්ත කුමරුගේ චරිතයට ආරාධනා ලැබෙන්නේ. බොහෝදෙනාගේ අදහස වුණේ නිරූපණ ශිල්පියකුට රංගන ශිල්පියකු වෙන්න බැහැ කියලා. ඒත් එහෙම වෙන්නෙ හැදෑරීමක් කළේ නැත්නම් විතරයි. මං මහේන්ද්‍ර පෙරේරා සර්ගෙන් රංගනය හැදෑරුවා. ඊට පස්සේ රේස් කියන ටෙලිනාට්‍ය හරහා මගේ හැකියාව තවත් වැඩි දියුණු වුණා. ඊටත් පස්සෙ තමයි හිත ළඟ හිනැහුණා එකේ සිහින වෙන්නේ. මං නිතරම හිතුව දෙයක් තමයි මං යන්න ඕන දුර ගමනක් නෙවෙයි හරි ගමනක් කියන එක. මට වැරැදි ගමනක් යන්න ඕන වුණේ නැති නිසා තමයි මේ වගේ හෙමින් ගමනක් යන්නේ. ලබන සතියේ වැකේෂන් ටෙලි නාට්‍ය පටන් ගන්නවා. තවත් නිර්මාණ තුනක් එන්න තියෙනවා. ඊට අමතරව WARNING by HM කියලා මගේම ක්ලෝතින් බ්‍රෑන්ඩ් එකක් කරගෙන යනවා.“


ආදරයට කෝඩුකාරයෙක් නොවුණු මනුල ආදරය ගැන විවෘතවම කතා කළා.


“ඇත්තම කිවුවොත් පොඩි කාලෙ ඉඳන්ම මට පෙම්වතියන් හිටියා. සිංගල් හිටියෙම නැති තරම්. දැන් ටික කාලෙක ඉඳන් මං සිංගල්. මගේ වැඩක් එක්ක මේ දවස්වල ඒ පැත්ත ගැන හිතන්න වෙලාවක් නැති තරම්. ඒ නිසා මේ දවස්වල ටිකක් සිංගල් ජීවිතේ විඳිනව වැඩියි. මම කෙනෙක් එක්ක යාළු වෙනව නම් එයාට උපරිම ආදරේ දෙන්න ඕන. එහෙම නැතිවුණොත් එයාට අසාධාරණයක් කළා වෙනවා. මං ආදරේ උපරිම විඳින්න කැමති කෙනෙක්. ඒ වගේම එයාට උපරිම නිදහස දෙන කෙනෙක්. “





Previous Post Next Post