සිදාදියේ සමනලියෝ අරන් ධනා අධ්‍යක්‍ෂණයට



ධනංජය සිරිවර්ධන අධ්‍යක්‍ෂණය කරන ‘සිදාදියේ සමනලියෝ. ටෙලි නාට්‍ය මැයි මස 10 වැනි දින සිට රාත්‍රී 7.30ට ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශනය වීමට නියමිතයි. මෙහි පිටපත අරුණ ජයවර්ධනගෙනි. ධනංජය අතින් ලියැවුණු ‘නම්බර් නයින්. තිරපිටපත පසුගිය දා පැවැති රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වෙනවා.


‘මම ලියපු මුල්ම පිටපත තමයි ‘නම්බර් නයින්.. ඒක මම අධ්‍යයනයෙන් සහ කැපවීමකින් කළ වැඩක්. මම බලපු අන්තර්ජාතික පිටපතකින් අල්ලාගත්තු පොඩි ප්ලොට් එකක් වුණත් ලංකාවට අනුව ගළපා ගත්තා. මේක ලෝක සංගීතය තුළ භාවිත වන බිතෝවන් නමැති මහා සංගීතඥයාගේ සිම්පනිස් නවයට සමාන්තරව ගමන් කරන එක්තරා සීරියල් කිලර් කෙනකුගේ කතාවක්. අධ්‍යක්‍ෂණය කළේ චරිත් අබේසිංහ. මේ පිටපතට මට රයිගම් ටෙලි සම්මාන උළෙලේදී සම්මානයක් හිමිවීම ලොකු සතුටක්. යැයි ධනංජය පැවැසුවා.


‘සිදාදියේ සමනලියෝ. නමැති තම පළමු අධ්‍යක්‍ෂණය ගැන ධනංජය කිව්වේ මේ වගේ කතාවක්.


මගේ පළමු අධ්‍යක්‍ෂණයේදී මම කල්පනා කළා මගේ පිටපතක්ම පාවිච්චි කරනවාද? නැතිනම් ඊට වඩා වෙනස් විදිහකට රසිකයන් අතරට යනවාද කියල. ඒ වෙලාවෙයි මට මතක් වුණේ අරුණ ජයවර්ධනව. ඔහු ළඟ තිබුණා ලස්සන ප්ලොට් එකක්.


ලංකාවේ හතරදිග්භාගේ හිටපු ගැහැනු ළමයි පස්දෙනෙක් කොළඹ එකම බෝඩිමක නවාතැන් ගන්නවා. ඔවුන් විවිධ රැකියා කරනවා. ඒ රැකියා සමග ඔවුන්ට හමුවන මිනිසුන් සමග ගලාගෙන යන ජීවිතය ගැන බොහොම ලස්සන කතාවක් අරුණ මට යෝජනා කළා. ඒක මට ඇත්තටම සතුටක්. මොකද අපි හැම වෙලාවේම කතාකරල තියෙන්නෙ කොළඹ කෙල්ලො ගැන. මේ රටේ කොළඹ දිනපු කෙල්ලොත් ඉන්නවා. සිදාදියේ සමනලියෝ එවැනි කතාවක්. අරුණ අයියා ඒක ලස්සනට ගළපලා තියෙනවා.


තරින්දි ප්‍රනාන්දු” මනෝජා ෆර්ඩිනැන්ඩු” මිෂෙල් දිල්හාරා” සචිනි රෝයි” වොෂිකා පෙරේරා” සිදාදියේ සමනලියෝ ලෙසත් ගැහැනු ළමයි භාරව සිටින පාලිකාව ලෙස යශෝධරා විමලධර්මත් චරිත නිරූපණය කරනවා.


‘යශෝධා සැරපරුෂ චරිතවලින් දැකල නැති නිසා මට ඕනෑ වුණා ඇයගෙන් එවැනි චරිතයක් බලාගන්න..


ධනංජය කිව්වෙ එහෙමයි.


මේ කතාවේ සමනලියන්ට අමතරව සමනලයොත් ඉන්නවා. ඔවුන් තමයි අඛිල ධනුද්ධර අශේන් සිරිවර්ධන” අංජන ප්‍රේමරත්න” විශ්වජිත් ගුණසේකර සහ මේනක රාජපක්‍ෂ.


අවසන් වශයෙන් ධනංජය දැක්වූවේ මේ වගේ අදහසක්.


‘මම පිටපතක් ලියනකොට ඒ අභියෝගය ජයගන්නේ කොහොමද කියන ප්‍රශ්නය මට තිබුණා නම්බර් නයින් ටෙලි නාට්‍යයේ අවසානය බොහොම ආන්දෝලනාත්මක වුණා. ඒක ගැන රසිකයන් තවමත් මගෙන් මොකද වුණේ කියල අහනව. අවසානය ප්‍රේක්‍ෂකයාට ඉතිරි කළා කියන්නෙ සාර්ථක පිටපතක්. මම හිතනව අධ්‍යක්‍ෂවරයෙක් හැටියටත් ඒ අභියෝගය සාර්ථකව ජයගන්න පුළුවන් වෙයි කියල. නමුත් ඒක කරන්න තනියම බැහැ. ඒක ලොකු ටීම් වර්ක් එකක්. ගොඩක් දෙනෙක් මෙතනදි මට සහයෝගය ලබා දෙනව..


සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යයේ නිෂ්පාදකවරයා වෙන්නෙ පණ්ඩුක වීරසේකර. කපිල සුගත් විජේරත්න කැමරාකරණයෙන් ද” නිෂ්පාදන කළමණාකරණයෙන් වගේම සහය අධ්‍යක්‍ෂණයෙන් මාලින්ද මධුසංඛ ද සහයෝගය ලබාදෙනව. ඒ වගේම කලා අධ්‍යක්‍ෂණයෙන් සම්පත් වන්නිආරච්චි” සහය කලා අධ්‍යක්‍ෂණයෙන් නුවන් විජේරත්න” චාමර හෙට්ටිආරච්චි” ගිහාන් බාලආරච්චි” අංග රචනයෙන් සමීර මදු කිඳෙල්පිටිය” අසංක කොළඹගේ” කොණ්ඩා සැකසීමෙන් තුෂාර විදානගමගේ” නිෂ්පාදන සහයෙන් අසන්ත කුමාර” මදුසංඛ කොඩිතුවක්කු සිදාදියේ සමනලියෝ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා.


මහේෂ් එදිරිසිංහ





Previous Post Next Post