කලාවට දරුවෙක් දෙන්න කියලා මගේ මුත්තා අම්මාගෙන් ඉල්ලුවා - හරිනි කව්‍යාංජනී



මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ නවතම සිනමාපටය ‘ක්ෂීර සාගරය කැලඹිණ’ අද සිට තිරගත වෙනවා. ඔහුගේ සිනමාපටයකින් වෙනදා වගේම හඳුන්වලා දෙන අලුත්ම රංගන ශිල්පිනියක් මෙවරත් ඉන්නවා. ඒ එහි ප්‍රධාන චරිතයකට පණ පොවන හරිනි කව්‍යාංජනී පෙරේරා.


ඉතිං


රංගනයෙන් දායක වෙන්න කලින් මා අවුරුදු හතක ම නියැළෙන්නේ නිරූපණ ක්ෂේත්‍රයේ. ඒ සඳහා එන්නේ මා මිස් ශ්‍රී ලංකා ඔස්සේ. ඒ තරගවලින් මා අපේ රට නියෝජනය කළා. ඒ ඉන්දියාව මැලේසියාව, සිංගප්පූරුව වගේ රටවලදි. එහිදි බෙස්ට් කැට්වෝක්, සුපර් මොඩ්ල්, බෙස්ට් මොඩ්ල් වුණා. ඒ මඟිනුයි මම නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. ඉන් අනතුරුවයි මට රඟපෑම සඳහා කලා ක්ෂේත්‍රයට එන්න ලැබෙන්නේ. මේ වනවිට සුනිල් සර්ගේ චිත්‍රපට දෙකක මට රඟපාන්න ලැබුණා. ඒක වාසනාවක්.


මුල්ම චිත්‍රපටය


සුගත් සමරකෝන්ගේ ‘යක්ෂා දේශය’ කියන චිත්‍රපටය. ඒකේ රඟපාලා අවුරුදු හතක් විතර වෙනවා. තවම තිරගත වුණේ නැහැ.


ඊට පස්සේ


මම සුනිල් සර්ගේ චිත්‍රපටයක රඟපානවා. ඒ ‘කදිර දිව්‍යරාජ’ කියන නිර්මාණයේ. එහි ප්‍රධාන චරිතය කරන්නේ ඉන්දියන් රංගන ශිල්පිනියන් දෙන්නෙක්. එහි සහය රංගන ශිල්පිනියකගේ චරිතයයි මා රඟපාන්නේ. ඒ කියන්නේ වල්ලිගේ යාළුවා විදියට.


ඒ වැඩෙත් එක්කම


සුනිල් සර් මට ‘ක්ෂීර සාගරය කැලඹිණ’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න කතා කරනවා. චන්න දේශප්‍රිය, ජැක්සන් ඇන්තනී, විමල් දේශප්‍රිය කියන සර්ලා සමූහයකගේ ම කැමැත්තෙනුයි මා මේ චරිතයට තේරී පත් වන්නේ.


එහි ඔබ


මේ චිත්‍රපටය කරන්නේ සයිමන් නවගත්තේගම කියන ප්‍රවීණ ලේඛකයාගේ කෘතියක් ඇසුරෙන්. එහි නම් ගම් නැහැ. හැමෝගෙම චරිත මන:කල්පිතයි. එහි මගේ චරිතය දැරියක් කියන චරිතය.


දැරියක් කියන්නේ


වයස අවුරුදු දොළහක, දහතුනක දැරියක්. ඇගේ වයසට ඔරොත්තු දෙන්නේ නැති විදියේ අත්දැකීම්වලට ඈට මුහුණ පාන්න වෙනවා. ඒකත් එක්කම මේ චරිතය ගලාගෙන යනවා.


ඒ කියන්නේ


මේ මගේ දෙවැනි චිත්‍රපටය. ඒත් මේ චිත්‍රපටයට කලින් චිත්‍රපටය තිරගත නොවුණු නිසා මා ප්‍රධාන චරිතයක් කළ, තිරගත වන පළමු චිත්‍රපටය වන්නේ මෙයයි.


කවදාහරි දවසක


මම රංගන ශිල්පිනියක් වෙනවා කියලා නම් හිතුවේ නැහැ. ඒත් මගේ අම්මාගේ පරම්පරාවේ අය හැමෝම වගේ රංගනයට සම්බන්ධ අය. රූබන් මාස්ටර් කියන්නේ රුක්මණී දේවිත් එක්ක සින්දු කිව්වා වගේ ම රඟපෑව කෙනෙක්. ඒ කියන්නේ ඔහු ටවර්හෝල් රංගන ශිල්පියෙක්.


ඔහු ඔබගේ


මගේ මුත්තා. ඒ වගේ ම මගේ අම්මාත් ගුවන්විදුලියේ බී ශ්‍රේණියේ ගායිකාවක්. මගේ ආච්චිත් ඉස්සර රඟපෑවා. කලාව මට එන්නේ මගේ පවුලෙන්මයි. විශේෂයෙන්ම කියන්න ඕන මගේ මුත්තා එක් ඉල්ලීමක් මගේ අම්මාගෙන් ඉල්ලලා තිබුණා. ඒ කලාවට දරුවකු දෙන්න කියලා. මම හිතන්නේ ඒ ඉල්ලීම අද ඉෂ්ට වෙලා. ඔහු හිටියා නම් ගොඩක් සතුටු වේවි.


ඒ වගේ ම


මගේ අම්මා වගේ ම ආච්චිත් සරසවිය පත්තරේ රසිකාවන්. එදා ඉඳලා ම සරසවිය මුද්‍රණයෙන් ආව මේ මෑතක් දක්වා එකතු කළ පත්තර ටික ආච්චි ගාව පරිස්සමට තියෙනවා.


එහෙම පරිසරයක


හැදුණේ වැඩුණේ. ඒ නිසා මම නිරූපණ ක්ෂේත්‍රයට වගේ ම රඟපෑමට එනවට ගෙදරින් අකැමැත්තක් තිබුණේ නැහැ. උදව්වක් මිසක්. අම්මාම තමයි මාව දෙරණ චැනල් එකෙන් කරන මිස් ශ්‍රී ලංකා තරගයට දමන්නේ. ඊට පස්සෙයි අනෙක් තරගවලට සහභාගි වන්නේ.


ඒ තරග දින්න නිසා


දිගටම නිරූපණ ක්ෂේත්‍රයේ රැඳෙනවා. ඒත් එක්කම ඒ සම්බන්ධයෙන් මට වැඩ එනවා. ඒ අතර මා‌ බ්‍රෑන්ඩ් කිහිපයකම එම්බසඩර් කෙනෙකුත් වෙනවා.


එතකොට රඟපෑම


සුනිල් සර්ගේ චිත්‍රපටවලට මං හරි ආසයි. ඔහුගේ කුසපබා ඉදන්. ඒවා බලන කොට මට හිතුණ දෙයක් තමයි සුනිල් සර්ගේ චිත්‍රපයටක රඟපාන්න ඇත්නම් කියලා.


ඒ හීනය


ඇත්තටම අද වනවිට සැබෑ වෙලා. සුනිල් සර් වැනි අධ්‍යක්ෂවරයකු යටතේ වැඩ කරන්නට ලැබීම වාසනාවක්. ඔහු නිතරම කතා කරත් කරන්නේ අධ්‍යාපනයට සම්බන්ධ දෙයක් ගැනයි.


ඔහු වගේ ම


මට රඟපාන්න ලැබෙන්නේ ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ රංගන ශිල්පියා හා හේමාල් රණසිංහ රංගන ශිල්පියා සමඟයි. ලූෂන් බුලත්සිංහල සර්, ගිහාන් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, උදාරි අක්කා, රවීන් කනිෂ්ක ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන්, ශිල්පිනියන් බොහෝ දෙනෙකු සමඟ මට රඟපාන්න ලැබුණා. ඒ වගේ දැවැන්තයන් පිරිසක් සමඟ වැඩ කරලා ආධුනිකයකු වශයෙන් මේ ක්ෂේත්‍රයට එන්න ලැබීම මා ලැබූ වාසනාවක්. ඒ වගේ ම මෙවැනි චිත්‍රපටයක රඟපාන්න ලැබීමත්.


මේ චිත්‍රපටයේදි


ඒ ඔස්සේ දැවැන්තයන්ගෙන් ලැබුණු උපදෙස්, අනුශාසනා හා උදවුවත් එක්ක මා ගොඩක් දේ ඉගෙන ගත්තා. ඒ එක්කම දෙවැනි පියවර විදියට රංගනය ගැන හදාරන්න කැමැතියි. ඒ සඳහා තැනක් සොයමිනුයි ඉන්නේ.


ප්‍රවීණයන් හමුව


ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සර්ගෙන් ලැබුණු සහයෝගය අපමණයි. එතුමාගේ රූගත කිරීම් නැති අවස්ථාවලත් දර්ශන තලයට ඇවිත් මගේ රඟපෑම් කටයුතුවලට උදවු කළා.


ඒ උදවුව නිසා


සුනිල් සර්ටයි, ජැක්සන් සර්ටයි ඕන වුණේ අඬන ස්ථානවලදි මම ස්වාභාවිකවම අඬනවා දකින්නයි. ඒ වගේ අවස්ථාවල තිරය පිටුපස ඉඳගෙන ඔවුන් මට උපරිම සහයෝගය දුන්නා. විශේෂයෙන් මා මතක් කරන්න ඕන මෙහි ආලෝකකරණ අධ්‍යක්ෂ මගේ ආච්චිගේ මල්ලි. ඔහු ආරියරත්න මහගෙදර. ක්ෂේත්‍රයේ හැමෝම ඔහුට කියන්නේ ආරි කියලා. ඒ වගේ ම සහය අධ්‍යක්ෂවරුන් ඇතුළු සෙට් එකේ සියලු දෙනාව මත් මේ වෙලාවේ මතකයට නැඟිය යුතුයි.


ඔබ දිගටම


හොඳ චිත්‍රපට, හොඳ චරිත ආවොත් මා රඟපානවා. මගේ රංගන හැකියාව දියුණු කර ගන්න පුළුවන් අවස්ථා ආවොත් මා ඒ නිර්මාණ භාර ගන්නවා.


මේ කටයුතුවලට අමතරව


පිහිනීම කරනවා. පොත් කියවනවා. නර්තනයේ නියැළෙනවා.


මේ වනවිට ඔබ


මම තවම පෙම්වතියක් නොවෙයි.


පවුලේ අය


අම්මා සුජීවනී පෙරේරා, තාත්තා ප්‍රියංකර පෙරේරා. මල්ලි තේමිය පෙරේරා.





Previous Post Next Post