මට දැන් සම්මානයක් ලැබිලා තියෙනවා ඒ මගේ දුව -සෙව්වන්දි නයන්නතාරා



සෙව්වන්දි නයන්නතාරා නව පරපුරේ රංගන ශිල්පිනියක්. තෝඩු, නාඩි වැනි ටෙලි නිර්මාණවලින් ප්‍රේක්ෂක හමුවට ආ ඇයට කෙටි කාලයකින් ප්‍රේක්ෂක හදවතේ ඉඩක් වෙන් කරගන්න හැකි වුණා. කලාව නිසා පෞද්ගලික ජීවිතය මඟ නොහැර ගත්ත ඇය විවාහ ජීවතයට ඇතුළත් වෙලා මවක ලෙසත් අභිෂේක ලබලා අවසන්. පවුලට එකතු වුණ පුංචි දෝණි එක්ක ගෙවන ජීවිතේ ගැන දැන ගන්නත් එක්ක  අපේ කතා බහට ඇය එක්කර ගත්තා.


මේ දවස්වල සෙව්වන්දි මවු භූමිකාව වෙනුවෙන් සම්පූර්ණ කාලය වෙන් කරලා වගේ?


මගේ බබාට මාස තුනයි. දැන් මගේ සම්පූර්ණ කාලය දුව වෙනුවෙන් වෙන් කරලා තියෙන්නේ. උදේ වෙනවා රෑ වෙනවා තේරෙන්නේ නෑ. කොහොම වුණත් දුව එක්ක හරිම සුන්දරව කාලය ගෙවනවා.


 

මවක් වීම වෙනස් හැඟීමක්. දුවව මුලින්ම දැක්ක වෙලාවේ දැනුණ හැඟීම වචන කරන්න පුළුවන්ද?


බබා ලැබෙන්න යද්දි මම ගොඩක් බයෙන් හිටියේ. මම ඊට කලින් කවදාවත් හොස්පිට්ල් නැවතිලා නෑ. වෙවුල වෙවුල හිටියේ මම. දුව දකිද්දි හැම බයක්ම වේදනාවක්ම අමතක වෙලා ගියා. ඒ හැඟීම ගැන කියන්න වචන මදි. මටයි සැමියටයි දෙන්නටම දුව දකිද්දි ඇඬුණා.


 

හා හා පුරා කියලා දුවෙක් ලැබෙනවටද කැමැත්තෙන් හිටියේ?


බබා ලැබෙන්න හිටපු මුල් දවස්වල මම ටිකක් කළු වුණා. කැත වුණා. එහෙම වුණාම ගොඩක් අය කිවුවා පුතෙක් හම්බෙන්න ඉන්නේ කියලා. හැබැයි මාස තුනක් විතර ගියාම මම ආයෙත් ලස්සන වුණා. අපි දෙන්නම දුවෙක්ට කැමැත්තෙන් හිටියේ.


 

දුව කවුරු වගේ කියලද කියන්නේ?


හම්බුණ ගමන්ම දකිද්දි මං වගේ කියලත් කිවුවා එයාගේ තාත්තා වගේ කියලත් කිවුවා. දැන් නම් ගොඩක් අය කියන්නේ මං වගේ කියලා.


 

ඔබ පවුලේ හුරතලයට හැදුන කෙනෙක්. දැන් බිරියක්, මවක්. ඒ වගකීම්වලට හුරු වෙන්න පහසු වුණාද?


බබා ලැබෙන්න ඉද්දි මට ටිකක් අමාරු වුණා. මාස 9ම වමනේ ගියා. මං ඒ අමාරුකම් තියෙද්දි මගේ අම්මට කිවුවා මං අම්මා කෙනෙක් වෙන්න තවම පොඩි වැඩියිද කියලත්. දරුවෙක් ලැබෙනවා කියන්නේ ලොකු දෙයක්. ඒ වගකීම මම කොහොම දරයිද කියලා මට ලොකු අවබෝධයක් තිබ්බේ නෑ. බබා ලැබුණාට පස්සේ මවක් කියන හැඟීම එක්ක අපි වෙනම කෙනෙක් වෙනවා. කිසිම දෙයක් බෑ කියලා දැනෙන්නේ නෑ. එයා වෙනුවෙන් ඕනම දෙයක් කරන්න පුළුවන් කියලා හැඟීමක් එන්නේ. බබාගේ වැඩවලට මගේ අම්මා, පුංචි අම්මා, ආච්චි මේ හැමෝමත් සෑහෙන්න උදවු කරනවා.


 

ඔබේ සැමියා දුවගේ වැඩ රාජකාරිවලට කොහොමද කැප වෙලා ඉන්නේ?


එයා දුව ලැබුණට පස්සේ හිතුවේ නැති විදිහට වෙනස් වුණා. එයා සාමාන්‍යයෙන් රෑ 10 වගේ වෙද්දි නිදියනවා. ඇහැරලා ඉන්න බෑ එයාට. හැබැයි බබා ලැබුණට පස්සේ රෑට බබාගේ නැපි මාරු කරන එක එයා කරන්නේ. එයා දරුවා වෙනුවෙන් උපරිම කැප වෙනවා.


දුවට තියලා තියෙන්නේ වෙනස් නමක්. කාගෙද අදහස?


දුවගේ නම සියෙනා ස්කයිලි. නම තියද්දි අකුරු මොනවද කියලා බැලුවේ නෑ. එයාට ලස්සන නමක් තියන්න තමයි ඕන වුණේ. අපිට හිතුණා ඒ නම ලස්සනයි කියලා


 

දැන් රංගන ජීවිතයෙන් සමු අරගෙනද ඉන්නේ?


දැන් මගේ ජීවිතය සම්පූර්ණයෙන් අපේ චූටි පැටියා වෙනුවෙන් තමයි කැප කරලා තියෙන්නේ. මගේ සැමියා කියනවා මම ආසාවෙන් කරපු දේ එක පාර අත්හරින්න ඕනේ නෑ. ඉඳලා හිටලා හරි කැමැති නිර්මාණයක් තෝරගෙන කරන්න කියලා. බබාව එයා බලා ගන්නම් කියලත් කියනවා. දුවට අවුරුද්දක්වත් වෙනකල් ඉන්න ඕනේ. ඊට පස්සේ බලනවා නිර්මාණයකට සම්බන්ධ වෙන්න.


 

නැවත රංගනයට එන්න තීරණය කරද්දි ඔබව නිර්මාණකරුවන්ට අමතක වෙලා තිබ්බොත්?


දැන් අලුත් අලුත් අය රංගන ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. තව එන්නත් ඉන්නවා. මාව අමතක වුණොත් ඒකත් කමක් නෑ කියලා හැමදේම හොඳ විදිහට භාර ගන්නවා. මම ලැබිලා තියෙන දේවල් ගැන සතුටු වෙන කෙනෙක්.


 

රංගනය කියන්නේ ඔබ ආදරය කරපු දෙයක්. රංගනයෙන් ඈත් වෙලා ඉන්න දුකක් නැද්ද?


ලොකු දුකක් නෑ. මට දැන් සම්මානයක් ලැබිලා තියෙනවා. ඒ මගේ දුව. දුව ලැබෙන්න ඉන්නවා කියලා දැන ගනිද්දි මම විදේශගතව හිටියේ. ඒ වෙනකොට මම නිර්මාණ දෙකකුත් භාරගෙන තිබ්බේ. ඊට පස්සේ ඒ නිර්මාණකරුවන්ට මම කිවුවා මට බබෙක් ලැබෙන්න ඉන්නේ කියලා. අපිට හැමදේම හරි වෙලාවේ ලැබෙනවා. රංගන ජීවිතය කැප කරලා වුණත් දැන් මම ගෙවන ජීවිතය ගැන ඉන්නේ සතුටෙන්. අපේ අලුත් ගේ හදලා ඉවරයි. ළඟදිම අපි අපේ ගෙදරට යනවා.





Previous Post Next Post