විවාහ වුණාට තාම ඉස්කෝලෙ ගිහින් ඉවර නැහැ -හිරුෂි පෙරේරා



ටීවී දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතයෙන් ප්‍රේක්ෂකයො අතර ජනප්‍රිය වුණ රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියන්නෙ. පසුගියදා ඇය කලා ක්ෂේත්‍රයේ සිටින ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු සමග විවාහ ජීවිතයට එළැඹුණා. හිරුෂිගේ ආදර කතාව වගේම අලුතින් පටන් ගත්ත විවාහ ජීවිතය ගැන විස්තර දැනගන්න හිරුෂි එක්ක කතා කරන්න හිතුවා.


කලාවට ඇවිත් කලා ලෝකෙ කෙනෙක් එක්කම විවාහවුණා නේද?


කලාවට ඇවිත් කලා ලෝකෙ කෙනෙක් එක්කම විවාහ වුණා. ඔහුගේ නම තීක්ෂණ මනරම්. ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. හැබැයි ක්ෂේත්‍රයට එන්න කලින් තමයි මට තීක්ෂණ අයියව හම්බ වෙන්නෙ. මම ක්ෂේත්‍රයට එන්න කලින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කළේ. ඒ වෙද්දි තීක්ෂණ අයියත් රැකියාව කළේ සංචාරක ක්ෂේත්‍රයේ. ඉතින් සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරද්දි තමයි අපි දෙන්නා මුලින්ම හම්බ වුණේ. හැබැයි අපි දෙන්නා දැන අඳුර⁣ගෙන හරියට කතාබහ කළේ කලා ක්ෂේත්‍රයට ආවට පස්සෙ. ඒ විදිහට කරපු කතාබහ තමයි විවාහය දක්වා අද ඇවිත් තියෙන්නෙ.


ක්ෂේත්‍රයේම කෙ⁣නෙක් එක්ක විවාහවෙන්න හිතුවෙ ඇයි?


මුලින්ම මගේ අදහසක් තිබුණෙත් නැහැ ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා. හැබැයි මම තීක්ෂණ අයියාගෙන් හොඳ ගතිගුණ තියන මනුස්සයෙක්ව දැක්කා. ඒ ගතිගුණවලට තමයි මම කැමැති වුණේ. මාව තේරුම් අරන් ආදරෙන් බලාගන්න සහකරුවෙක්ව තමයි මම බලාපොරොත්තු වුණේ. ඉතින් ඒ හැමදේම තීක්ෂණ අයියා ගාව තියෙනවා කියලා මට දැනුණා. ඒ වගේම තමයි මම කටයුතු කරන රංගන වෘත්තීය උදේ අටට පටන් අරන් හවස පහට ඉවර කරලා එන්න පුළුවන් රැකියාවක් නෙවෙයි. පවුල් ජීවිතයක් ගෙවනවා නම් මේ හැමදේම තේරුම් අරන් සහයෝගයෙන් කටයුතු කරන සහකරුවෙක් වෙන්න ඕන. ඉතින් ඒ දේවලුත් බලලා ක්ෂේත්‍රය ගැනත් හොඳින් දන්න මට ආදරය කරන කෙනෙක්ව සැමියා විදිහට මම තෝරගත්තා.


දෙමව්පියෝ කැමැති වුණාද ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙනවට?


තීක්ෂණ අයියා ගැන ගෙදර අයට කිව්වාම මගේ අම්මා මට කිව්වෙ මම තෝරගෙන ඉන්න කෙනා තේරුම් අරන් හැමදාම මාව හොඳින් බලාගන්න විදිහෙ කෙනෙක් කියලා මට විශ්වාසයක් තියනවා නම් එයාලගේ කිසි විරුද්ධත්වයක් නැහැ, එයාට මාව භාරදෙනවා කියලා.


විවාහ වුණාට තාම ඉස්කෝලෙ ගිහින් ඉවර නැහැ නේද ?


ඔව්, මම තාම ඉස්කෝලෙ යනවා. මම රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්න ඉස්කෝලේ ටෙලි නාට්‍යය මේ දවස්වල ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වෙනවා. ඉස්කෝලේ ටෙලි නාට්‍යය බලන ගොඩක් දෙනෙක් හිතලා තියන්නෙ මම ඇත්තටම ඉස්කෝලෙ යන වයසෙ පුංචි ගෑනු ළමයෙක් කියලා. විවාහ වුණා කියලා දැනගත්තට පස්සෙ ගොඩක් දෙනා මුහුණු පොත හරහා කියලා තිබුණා දැනුයි දන්නෙ මම පොඩි වයසෙ ගෑනු ළමයෙක් නෙමෙයි කියලා.


ටෙලි නාට්‍යවල රඟපාන්නෙ තෝරා බේරාගෙනද?

මම ලැබෙන හැම නිර්මාණයක්ම භාර අරගෙන වැඩ ගොඩක් එක්ක කාර්යබහුල වෙන්න කැමැති කෙනෙක් නෙමෙයි. ඒ නිසා මේ වෙද්දි ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු විතරක් කරගෙන යනවා. පහුගිය දෙසැම්බර්වලදි සාරංග මෙන්ඩිස් අයියා නිර්මාණය කරපු නත්තල් ටෙලි නාට්‍යයකට රංගනයෙන් දායක වුණා. සනත් ගුණතිලක, යශෝධා විමලධර්ම වගේ ප්‍රවීණ ශිල්පීන් එක්ක මට එහි රඟපාන්න ලැබුණා. ඉතින් ඒ වගේ හොඳ නිර්මාණ විතරක් තෝරගෙන මම රංගන වෘත්තියේ වැඩ කටයුතු කරනවා.


සැමියා අධ්‍යක්ෂණය කරන නිර්මාණයකින් ඉදිරියේදි ඔබව දකින්න පුළුවන් වෙයිද?


සමහර විට පුළුවන් වෙයි. එහෙම දෙයක් කරනවා නම් ඉදිරියේදි ඒ ගැන කියන්නම්.


ජීවිතයේ අලුත් පියවරක් ඉදිරියට තියලා යන ගමන ගැන මොකද හිතන්නෙ?


ඇත්තටම ගොඩක් සතුටුයි. නොහිතපු විදිහට දෛවය මගේ ජීවිතය හොඳ විදිහට වෙනස් කළා. මේ ජීවන ගමනේදි අත්වැලක් වුණ තීක්ෂණ අයියාවත්, හැමදාම මට ශක්තියක් වෙලා ඉන්න මගේ අම්මා, තාත්තා සහ යාළුවෝ මේ වෙලාවේ ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම මට හැමදාම සහයෝගය ලබාදීපු ටී.වී දෙරණ නාළිකාවත් මේ මොහොත ගෞරවයෙන් මතක් කරනවා.







Previous Post Next Post