කණ්ණාඩිය ඉස්සරහ හරියට නැටුවා - හර්ෂි අංජුමාලා




හර්ෂි අංජුමාලා අද වෙද්දි තරුණ රංගන ශිල්පිනියක්. නමුත් හර්ෂිට මුලින්ම මේ ක්ෂේත්‍රයට එන්න අඩිතාලම වැටුණේ රියැලිටි තරගයකින්. රත්නපුරේ ඉඳන් කොළඹට තරගයකට එනවා කියන්නෙත් ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. හැබැයි පුංචි කාලෙදිම හර්ෂිගේ අම්මයි ලොකු අක්කයි මේ පුංචි කෙල්ලගේ නර්තන හැකියාව ගැන දැනගෙන ඉඳලා තිබුණා. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඒ දිහා බලාගෙන නටද්දි, රූපවාහිනියේ ගීතයක් ප්‍රචාරය වෙනකොට ඒ අනුව තාල තියද්දි හර්ෂිගේ නර්තන හැකියාව ගැන ඔවුන්ට දැනගන්න පුළුවන් වුණා. ඒ නිසාම තමයි 2008 අවුරුද්දේ පැවැති නර්තන තරගයකට අම්මා හර්ෂිවත් එක්කගෙන කොළඹට ඇවිත් තිබුණෙ.


''මම පුංචි කාලේ නර්තනයට දක්ෂ නිසා මගේ අම්මටයි මගේ ලොකු අක්කටයි කවදා හරි දවසක මාව නර්තනය පැත්තෙන් ඉස්සරහට ගේන්න ලොකු බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුවත් එක්කම තමයි 2008 අවුරුද්දෙ මාව 'ලිට්ල් ස්ටාර්' තරගයට ඉදිරිපත් කළේ. රත්නපුරේ ඉඳන් කොළඹට මාව තරගයට එක්කගෙන ආවෙම යම් හෝ බලාපොරොත්තුවක් ඒ අයගේ හිතේ තිබුණු නිසාමයි. නොතේරෙන වයසකදි වුණත් පොඩි කාලෙදිම තරගයකට මුහුණ දෙන විදිහ, බාධකවලට මුහුණ දෙන විදිහ, ජයග්‍රහණයන් පරාජයන්ට මුහුණ දෙන විදිහ ගැන අත්දැකීම් ලබන්න මේ නිසා පුළුවන් වුණා. ඒක මගේ ජීවිතයට අලුත් ආරම්භයක් වුණා. ඒ තරගාවලියෙදි මට 'ජනප්‍රියම තරුව' අංශයේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණා. ඉතින් ඒ තරගාවලියම මගේ ජීවිතේ ලොකු 'සප්‍රයිස්' එකක් වුණා.''


මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශය වන 'රාජිණී' ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නෙ ඇයයි. හර්ෂි කියන්නෙ නම් 'රාජිණී' ටෙලිනාට්‍යයේ අභිෂේකා ඇගේ ජීවිතයට ගොඩක් සමීපයි කියලයි.


''රාජිණී ටෙලිනාට්‍යයට කලින් මම ටෙලි නිර්මාණවලට සිනමා නිර්මාණවලට සම්බන්ධ වෙලා තිබුණා. නමුත් 'රාජිණී' මගේ ජීවිතයට සප්‍රයිස් එකක්ම වුණා. ඒක මගේ ජීවිතයට හරිම විශේෂයි. ඒ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කරන්නේ තිළිණ බොරලැස්ස අයියයි. මගේ කලා ජීවිතය ආරම්භ වුණේ නර්තන ජයග්‍රහණයක් එක්කයි. 'රාජිණී' කතාව මට හිතෙන විදිහට මගේ ජීවිතයට හරි සමීපයි. ඒ පිටපත දීලා මගේ චරිතය ගැන කියද්දිම මට මගේ පොඩි කාලය මතක් වුණා. 'රාජිණී' ටෙලිනාට්‍යයේ මුල් කොටස්වලදි ඒ  අම්මට එයාගේ දුවගේ පොඩි කාලේ මතකයන් අලුත් වෙනවා පෙන්නුවා. ඒකට යොදාගත්තෙත් ඇත්තටම මම 'ලිට්ල් ස්ටාර්' තරගයේදි නර්තනයේ යෙදුණු කොටස්. ඒක දෙවියන් මටම දුන්න තෑග්ගක් හැටියටයි මම හිතන්නෙ. අභිෂේකාගේ චරිතය නිරූපණය කරද්දි මගේ ඇත්ත ජීවිතේ මතක මම අභිෂේකාට ගෙනාවා. ඒ චරිතයට අවශ්‍ය කරන ලස්සන පුංචි අතීතය අංජුමාලා ළඟ තිබුණා. අදටත් ඒ චරිතය මම රඟපාද්දි කවදාවත් බොරු කඳුළක් මගේ ඇහැට ආවෙ නැහැ. ඒ තරමටම ඒ චරිතය මට සමීපයි. 'රාජිණී' ඇත්තටම මගේ ජීවිතේ 'සප්‍රයිස්' එකක්ම තමයි.


රඟපාන්න පුළුවන් කියලා තේරුනේ අම්මාට


මම රූපවාහිනියෙන් නර්තනයේ යෙදෙනවා දැකලා තිබුණට මට රඟපාන්න පුළුවන් කියලා මුලින්ම දැනගත්තෙත් මගේ අම්මයි. මම මුලින්ම සිරස රූපවාහිනියේ විකාශය වුණු 'විදර්ශනා' කියන පොහොය දින ඒකාංගික ටෙලිනාට්‍යයක රඟපෑවා. එතකොට මම පොඩියි. හැබැයි රංගනය ගැන මට හොඳින්ම දැනෙන්න ගත්තෙ මම 'සිඳූ' ටෙලිනාට්‍යයට සම්බන්ධ වුණාට පස්සෙයි. එතකොට මම විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක්. මාව රූපවාහිනියෙන් දකිනවාත් එක්කම මට ප්‍රේක්ෂකයන් ආදරය කරන්න පටන් ගත්තා. මාව හඳුනා ගත්තා. මඟතොටදි ඔවුන් මා එක්ක කතා කළා. ඇත්තටම ඒකත් මගේ ජීවිතේ ලොකු 'සප්‍රයිස්' එකක් වගේම මගේ රංගන හැකියාව සොයාගෙන යන්නට හැකි වුණු හොඳ අවස්ථාවක් වුණා.


සමහරු මාව ප්‍රතික්ෂේපකළා


ඔන්න ඉතින් නර්තනයට රංගනයට එකතු වුණු හර්ෂි නිවේදිකාවකුත් වුණා. ඒකත් ජීවිතයේ හරි අපූරු 'සප්‍රයිස්' එකක් කියලයි හර්ෂි නම් කියන්නෙ.


''මම නිවේදිකාවක් වෙන්න ගොඩක් තිර පරීක්ෂණවලට ඉදිරිපත් වුණා. හැබැයි මගේ ඒ කිසිම බලාපොරොත්තුවක් ඉටු වුණේ නැහැ. එහෙම බලාපොරොත්තු ඉටු නොවුණා කියලා මම අධෛර්යමත් වුණෙත් නැහැ. මට පුළුවන් උපරිමයෙන්ම ඒවට සම්බන්ධ වුණත් විවිධ හේතු නිසා සමහරුන් මාව ප්‍රතික්ෂේප කළා. හැබැයි ඒක මගේ ජීවිතේ ප්‍රතික්ෂේප විමක් විදිහට මම ගන්නෙ නැහැ. මම හැම වෙලේම උත්සාහ කළා. ඔය අතරේ ජාතික රූපවාහිනියේ විකාශය වුණු 'සකල ගුරු' ටෙලිනාට්‍යයේ මම රඟපාද්දි ජාතික රූපවාහිනියේ නිෂ්පාදක රවී අබේවික්‍රම අයියා ''නංගි පෝග්‍රූම් එකක් තියෙනවා. අපි කරමුද?'' කියලා ඇහුවා. මාව 'සප්‍රයිස්' වුණා. අසාධාරණ ලෙස සමහරු මාව ප්‍රතික්ෂේප කරද්දි අවසානයේ මට ජාතික රූපවාහිනියේම 'රූටියුන්' නමින් පැයක සජීවී සංගීත වැඩසටහනක් නිවේදනය කරන්න අවස්ථාව ලැබුණා.


රටවල් දෙකක ආදරයක් එක්තැන් වූ දා


ඔන්න දැන් හර්ෂි අංජුමාලා ආදරණීය බිරිඳක්. ඇයගේ සැමියා අම්ජු ප්‍රනාන්දුයි. මේ වෙද්දිනම් ඉන්නෙ විදෙස්ගත වෙලයි. මේ ආදර කතාවත් හරි අපූරුයි. මුණ ගැහෙන්නෙ නැතිව කාලයක් රටවල් දෙකක ඉඳන් ආදරය කරලා මේ ප්‍රේම හිත් දෙක ගිය වසරේදි අලුත් කැදැල්ලක නතර වුණා.


''අපි දෙන්නා විවාහ වුණේ ගිය වසරේ ජූනි විසි වැනිදායි. අපි කාලයක්ම ආදරය කළේ දුරකතන මාර්ගයෙන්. වැඩිදුර අධ්‍යාපනයට ඔහු විදෙස්ගත වෙලයි හිටියෙ. කොහොම හරි 2021 අවුරුද්දේ අපේ විවාහ මංගල උත්සවය ගන්න හිතාගෙන හිටියත් කොවිඩ් ප්‍රශ්නත් එක්ක එයාට එන්න අමාරු වුණා. ඒ නිසා අපේ විවාහය ටික කාලයකට කල් ගියා. ගිය අවුරුද්දෙ අපිට සැලසුම් කරපු විදිහට අපේ මංගල උත්සවය හරි ලස්සනට කර ගන්න  පුළුවන් වුණා. අපි දෙන්නා ආසා විදිහට මංගල උත්සවය ගත්තා. අවුරුදු ගාණක් රටවල් දෙකක ඉඳන් ආදරය කරලා අපි දෙන්නට ලස්සන උත්සවයක් අරගෙන විවාහ වෙන්න ලැබීමත් 'සප්‍රයිස්' එකක් තමයි.


හමුනොවීම පෙම්කළා


'රූටියුන්' වැඩසටහන කරද්දි ජාතික රූපවාහිනියේම ජපන් කොරියන් කතාවලට හඬ කවන්නත් මම හරිම ආසාවෙන් හිටියා. ඒ නිසා මම හඬ කැවීම් පරීක්ෂණයකටත් ඉදිරිපත් වුණා. ඒකෙන් සමත් වෙලා ලස්සන කොරියානු නාට්‍යයක් වන 'මතක සිත්තම්' නාට්‍යයේ චරිතයකට හඬ කවන්න අවස්ථාව ලැබුණා. ඊට පස්සෙ මගේ ජීවිතේ ලැබුණු හොඳම 'සප්‍රයිස්' එක තමයි මේ දිනවල ජාතික රූපවාහිනියේ සෙනසුරාදා හා ඉරිදා විකාශය වන 'මං ඔබේ ළඟින්' නම් ජපන් නාට්‍යයේ ප්‍රධාන චරිතයට හඬ කවන්න මට අවස්ථාව ලැබීම ඒකත් මගේ ජීවිතේ ලොකු 'සප්‍රයිස්' එකක්.


 දිශානි




Previous Post Next Post