අද පවතින මේ විදිහට මම තෘප්තිමත් නෑ - සරත් කරුණාරත්න




සරත් කරුණාරත්න කියන්නේ උසස් පෙළින් පස්සේ ජාතික තරුණ සේවා සභාවේ රංග ශිල්ප ශාලිකාවෙන් රංගනය හදාරා එතැනින් එහාට තමන්ට රඟපාන්න ලැබෙන චරිත ඔස්සේ සහ පොතපත කියවීමෙන් මෙන්ම නාට්‍ය වැඩමුළුවලට සහභාගීවෙමින් රංගනය ගැන අධ්‍යයනය කරමින් මේ කලා ක්ෂේත්‍රය තුළ තම රංග කුසලතාව තමන්ට ලැබෙන නිර්මාණ ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සමීප කරන සොඳුරු රංගන ශිල්පියෙක්. මේ වෙද්දී නම් සරත් වඩාත් ජනප්‍රිය වී තිබෙන්නේ දිවිතුරා හි සමීර ලෙසින්.


 මේ දවස් වල මොකද වෙන්නේ


වේදිකාවට වැඩි ඉඩක් දීලා තියෙන කාලයක්. අලුත් වේදිකා නාට්‍යය දෙකකට සම්බන්ධ වුණා. ඉන් එකක් සුජීව ප්‍රියලාල් අධ්‍යක්ෂණය කරන ලද “සුකිරි බටිල්ලෝ“ වේදිකා නාට්‍යය. එහි ප්‍රථම දර්ශන දෙක ජනවාරි 27 සහ 28 ලයනල් වෙන්ට්ඩ් රඟහලේ දී වේදිකා ගත වුණා. එහි මමත්, දුලීකා මාරපන, ලසදුනි ජයවර්ධන, ජයන්ත මුතුතන්ත්‍රී, සුජීව ප්‍රියලාල් රංගනයෙන් දායක වුණා. ඊට අමතරව චාලක රණසූරියගේ අලුත් ම වේදිකා නාට්‍යය වන “සඳුදා වැටෙන්නේ සිකුරාදාට“ හි පෙර පුහුණුවීම් සිදුවෙනවා. එය වේදිකාගත වෙන්නේ පෙබරවාරි 11 මරදාන එල්ෆින්ස්ටන් රඟහලේ දී සවස 3.30ට සහ 6.30ට වේදිකාගත වෙනවා. ඒ එක්කම මම රංගනයෙන් දායක වුණු “බල්ලොත් එක්ක බෑ, චරිතේ හොරු අරන් ,රජා මං වහලා“ වගේ නාට්‍යය මේ වෙද්දී දිවයින පුරා වේදිකාවෙන නිසා සති අන්තය වෙන් වෙන්නේ ඒවායෙහි දර්ශනවාරවලට.


වේදිකාවේ වැඩ වැඩියි වගේ?


පසුගිය කාලේ විවිධ අර්බුද හමුවේ වේදිකාවට ඉඩක් ලැබුණේම නැහැ. මේ වෙද්දීත් ආර්ථික අර්බුදය දරුණුවටම තියෙනවා. නමුත් මිනිසුන් රසවින්දනය උදෙසා නාට්‍යය බැලිමට එනවා. ඒ නිසා ඒ එන හැම ප්‍රේක්ෂකයෙක්ටම උපරිම සාධාරණය ඉෂ්ට කරන්න අපි කැපවෙනවා.


පුංචි තිරය ගැන කතා කළොත්?


මේ කාලයේ නම් හිරු නාළිකාවේ විකාශය වන දිවිතුරා නාට්‍යයෙන් පමණයි මම ප්‍රේක්ෂකයන් අතරට එන්නේ. එහි ෂූටින් තව කෙරීගෙන යනවා. ඒ එක්කම මධුෂාන් හත්ලහවත්ත අලුත් නාට්‍යයක් කරනවා. එහි ෂුටින් පටන් ගත්තා.


කොහොමද දිවිතුරා හි සමීරට ලැබෙන ප්‍රතිචාර


මේ දවස් වල වැඩිම ප්‍රතිචාර තියෙන්නේ සමීරට තමයි. ගොඩක් තැන්වලදී මට සමීර කියලා කතා කරන්නේ. ටීනාව හම්බුනාම කෝ සමීර කියලා අහනවලු. ඒ වගේම තමයි මාව හමුවුණාමත් ප්‍රේක්ෂකයන් අහන්නේ කෝ ටීනා කියලා. දිවිතුරා කියන්නේ වෙනස් විදියේ නාට්‍යයක්. සාමාන්‍යය පෙම් පලහිලව්වකට එහා ගිය කතාවක් නිසා ගොඩක් අය කැමති නාට්‍යයක් බව ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් තේරෙනවා.


මෙගා නාට්‍යය වලින් ඇතැම් ශිල්පීන් කාලයක් යද්දී ඉවත් වෙනවා, ඔබත් එහෙම වෙයි ද?


පුළුවන් තරම් කල් ඉන්නවා. නාට්‍යයේ ගුණාත්මක භාවය අඩු වුණොත් හැර මම නම් අයින් වෙන්නේ නැහැ. මම භාර ගත්ත වැඩක් ඉවර කරනවා. නමුත් පටන් ගන්නකොට තියෙන ගුණාත්මක කාරණා නැති වෙන්න පටන් ගත්තොත් නම් මම රැඳෙන්නේ නැහැ. දිවිතුරා නාට්‍යය නම් නොයෙක් බාධක ප්‍රශ්න මැද පවා අධ්‍යක්ෂ චාමර ජයවීර, නිශාන්ත සහ වසන්ත ඇතුළු අනෙකුත් කණ්ඩායමේ සියලුම දෙනාගේ කැපවීම මත ගුණාත්මක භාවය රැකගෙන තවමත් ෂුටින් කෙරෙන නාට්‍යයක්.


මේ කාලය තුළ කළ කි දේවල් ගැන තෘප්තිමත් ද?


මම ක්ෂේත්‍රයට ඇවිත් දැන් වසර 20 ක් සම්පූර්ණයි.. වේදිකාවට තමයි මම මුලසිටම අදටත් ගොඩක්ම ආසක්ත වෙලා ඉන්නේ. එතැනදී මම පර්යේෂණාත්මක නාට්‍යය ගණනාවක වැඩ කළා. මේ වෙද්දී චාමික හත්ලහවත්ත සමඟ දීර්ඝ කාලීනව වැඩ කරනවා. ඒ තුළින් මම මගේ රංගන ජීවිතේට දේවල් ලබා ගනිමින් ඉන්නවා. සිනමාවේ නම් මම ගොඩක් වැඩ කරලා නැහැ. චිත්‍රපට තුනක වගේ තමයි මේ වෙනකොට වැඩ කරලා තියෙන්නේ. පුංචි තිරයේ නම් නිර්මාණ නම් ගොඩක වැඩ කරලා තියෙනවා. නමුත් නළුවෙක් විදියට මම තෘප්තිමත් ද ඇහුවොත් ටෙලි නාට්‍යය කලාවේ අද තියෙන නිර්මාණ වල ගුණාත්මකභාවය සම්බන්ධයෙන් යම් යම් ප්‍රශ්නකාරී තැන් තියෙනවා. ඒ නිසා මම වෘත්තීය රංගන ශිල්පියෙක් විදියට මේ ක්ෂේත්‍රයේ යම් අසමතුලිතතාවයක් දකිනවා. ඒ නිසා නිර්මාණවල ගුණාත්මකභාවයට ගොඩක් හානි වෙලා තියෙනවා. අපි මේ ක්ෂේත්‍රයට එන්න ආස වෙන කාලේ අපි දැක්ක ටෙලි නිර්මාණ වල තිබ්බ රසය අද නැහැ. ඒකට හේතුව ආර්ථික ප්‍රශ්නයක්. මොකද ඉතා කුඩා මුදලකට නාට්‍යයක් ගන්න වෙන්නේ ඒ නිසා අඩු මුදලින් නාට්‍යයක් නිෂ්පාදනය කරන්න කියලා නිෂ්පාදකතුමාට කිව්වම ඒ මුදල ඇතුළේ කරන්න පුළුවන් හරිය තමයි අද දකින්නේ. මීට කලින් දඬුබස්නාමානය වගේ නාට්‍යයකට ගෙවපු ගානෙන් බාගයක්වත් අද ගෙවන්නේ නැහැ. සියලු දේවල් වල මිල ඉහළ යද්දී මෙහි විතරක් මිල පහළට ගිහිල්ලා. ඒකට හේතු මම දන්නේ නැහැ. නමුත් ඒ හින්දම අද පවතින මේ විදියට මම තෘප්තිමත් නැහැ.


ලැබෙන ප්‍රේක්ෂක ආදරේ සහ ප්‍රතිචාර ගැන මොකද හිතෙන්නේ?


ඇත්තටම ඒ ආදරේ තමයි මාව ජීවත් කරවන්නේ. මට සමාජයෙන් ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර වලට සහ ඒ අය මාව හඳුනා ගැනීම ගැන මම මාර විදියට සතුටු වෙනවා. නළුවෙක් විදියට දැකලා මා එක්ක කතා කරලා යන අය යන්නේ ඔයා හොඳ මනුස්සයෙක් කියලා. මම දන්නේ නැහැ ඇයි එහෙම කියන්නේ කියලා. නමුත් මම ඒකට හරි කැමතියි. මම දන්නවා ගොඩක් ප්‍රේක්ෂකයන් මට ආදරෙයි කියලා. ඒ ආදරේ මම නිහතමානීව පිළිගන්නවා.


පෞද්ගලික ජීවිතේ ගැන කතා කළොත්


පවුල් ජීවිතේ හොඳයි. මගේ බිරිඳ උවනි චාමිකා ගුණසේකර. එයා පිටපත් රචිකාවක් සහ ගුරුවරියක්. අපිට පැටවු දෙන්නෙක් ඉන්නවා. පුතා මෙත්සර කරුණාරත්න. දුව සාරා කරුණාරත්න. ඉතින් අපි හරි ආදරෙන් ඉන්නවා. ලොකුම ප්‍රශ්නය තියෙන්නේ එයාලට මාව නිතර මුණගැහෙන්නේ නැති එක. මේ දවස් වල විශේෂයෙන් වේදිකා නාට්‍යයත් එක්ක කාර්යබහුල වීම එක්ක ගෙදර රැඳෙන කාලය අඩුයි. ඒ අය ඇහැරිලා ඉන්න වෙලාවේ මම ගෙදරට ගියොත් අහන්නේ තාත්තේ දැන් ආපහු යනවා ද? තාත්තේ අද යනවද වගේ දේවල්. පෙබරවාරි 11 වෙනකම් මේ තත්ත්වය තියෙයි. ඉතින් ඔහොමයි පෞද්ගලික ජීවිතේ ගෙවෙන්නේ.






Previous Post Next Post