අප ජීවත්වන සමාජය ගැන ප්‍රේක්ෂකයා දැනුම්වත් විය යුතුයි -සුජීව ප්‍රියාල්




ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබමින් වේදිකාගත වූ සෙනෙහෙබර ධනුද්දර, ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍ය තුළින් ප්‍රේක්ෂක හද බැදගත් සුජීව ප්‍රියාල්ගේ නවතම වේදිකා නිර්මාණය සුකිරි බටිල්ලෝ ජනවාරි 27 වැනිදා හා 28 වැනිදා ලයනල් වෙන්ඩ්ට් හිදී සවස වේදිකාගත කෙරේ. දුලීකා මාරපන, සුජීව ප්‍රියාල්, සරත් කරුණරත්න, ජයන්ත මුතුතන්ත්‍රී, ළසදුනි ජයවර්ධන මෙහි චරිත නිරූපණය කරති. වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුජීව ප්‍රියාල්, ඉන්ටනැසනල් ටෙලි නාට්‍ය හරහා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට ද පිවිසියේය. පොඩි හාමුදුරුවෝ, සමනල කඳවුර, නිල්ල පෙනෙන මානෙල්, ගල්පිළිමය සහ බොල්පිළිමය, දුවිලි පින්තාරු, ඉන්ටනැසනල්, දිවිතුරා ආදී ටෙලි නාට්‍ය නිර්මාණ රැසක චරිත නිරූපණය කර ඇති ප්‍රියාල් මෑත භාගයේ දිවිතුරා ටෙලි නාට්‍යයේ තේමියගේ චරිතය තුළින් ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය විය.


සද දඬයම, රංකෙවිට, බඹරවළල්ල, ඉරහදයට, මායා, ගින්නෙන් උපන් සීතල, මචං ආදී චිත්‍රපට රැසක ද විවිධ චරිත සඳහා රංගනයෙන් දායක වූ සුජීව ප්‍රියාල්, උබර්තෝ පැසොලිනී ගේ මචං චිත්‍රපටය තුළින් සිනමා ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය විය. අතිශයින් වේදිකාවට ආදරය කරන ප්‍රියාල් දිගු විරාමයකින් පසු ප්‍රේක්ෂකයාට අපූර්වතම නාට්‍ය නිර්මාණ රැගෙන එන අතර මෙවර ඔහු සුකිරි බටිල්ලෝ රැගෙන එන්නේ වසර අටකට පසුවයි. 

මේ ඔබේ කීවෙනි වේදිකා නිර්මාණය ද?


තුන්වෙනි වේදිකා නාට්‍යය. මීට පෙර 2011 වසරේදී මම වේදිකාවට රැගෙන ආවා අරුණ පේ‍්‍රමරත්න රචනා කළ සෙනෙහෙබර ධනුද්දර, 2014 වසරේ මම වේදිකාවට රැගෙන ආවා හේමන්ත ප්‍රසාද් රචනා කළ ලෝරන්ස්ගේ මනමාලි වේදිකා නාට්‍යය. දැන් මම 2023 වසරේ වේදිකාවට රැගෙන එනවා සමන් පුෂ්ප ලියනගේ රචනා කළ සුකිරි බටිල්ලෝ වේදිකා නාට්‍යය.


මීට පෙර ඔබ අතින් නිර්මාණය වූ වේදිකා නාට්‍ය නිර්මාණ දෙකට පරිබාහිරව සුකිරි බටිල්ලෝ මොන වගේ තේමාවක් ඔස්සේ නිර්මාණය වුවක් ද?


මීට පෙර මම අධ්‍යක්ෂණය කළ සෙනෙහෙබර ධනුද්දර, ලෝරන්ස්ගේ මනමාලි නාට්‍ය දෙකම ස්වතන්ත්‍ර නිර්මාණ. මගේ මේ තෙවැනි නාට්‍ය නිර්මාණය වූ සුකිරි බටිල්ලෝ ඉතාලි ජාතික නාට්‍යකරුවකු වන ධාරියෝ ෆෝගේ කාන්පේ වෝන්පේ නාට්‍යයේ අනුවර්තනයක්. මේ නාට්‍යයේ විශේෂත්වය වන්නේ මගේ අනෙක් නාට්‍ය දෙකටම වඩා මේ කාලයට කාලීන තේමාවක් ඇතුව නිර්මාණය වුවක්. ඊට හේතුව තමයි මේ රටේ අද පවතින උද්ධමනය ආර්ථික ගැටුම්කාරී බව. සමාජ දේශපාලන වශයෙන් තියන ව්‍යාකූල බව පිළිබඳ දේශපාලන ප්‍රහසනයක් විධියට තමයි මේ නාට්‍ය නිර්මාණය කරල තියෙන්නේ.


අප රට තුළ අද වෙනකොට පවතින අර්බුදකාරී තත්ත්වය නිසාමද ඔබ සුකිරි බටිල්ලෝ නිර්මාණය කරන්නේ. එසේ නොඑන්නේ නම් මේ නිර්මාණය ඔබේ සිත තුළ කාලයක පටන් පැවති සිහිනයක් ද?


මම හරි ආසයි සොබා දහම ගැන කතාකරන්න. ගස් කොළන් කුරුල්ලෝ ගැන කතා කරන්න. නමුත් දැන් ඒවා ගැන කතා කරනවාට වඩා අපට හුස්ම ගන්නවත් බැරි මොහොතේ අපි ඔබ කියන ඔය කාරණය ගැන කතා කළ යුතුයි මම මේ රට ඇතුළේ සංතෝසයෙන් නෙමේ ජීවත් වෙන්නේ. මේ රටේ පාරතොටේ යන හැම මිනිහෙක්ගේම මුහුණු දිහා බැලුවහම අසංතෝසයෙන් අසංතෘප්තියෙන් පිරිල මේ තත්ත්වය තුළ මම තව දුරටත් මේ රොමැන්ටික් හීන දකින හීනවල ජීවත්වනවාට වඩා මේ යථාර්ථයට අපි මුහුණ දිය යුතුයි. යථාර්ථය සමඟ කතා කළ යුතුයි කියල මම හිතනවා. ඒ කාරණාවත් එක්ක තමයි මේ නාට්‍යය කරන්න මම මුලික වශයෙන් පෙලඹෙන්නේ.


කාන්පේ වෝන්පේ කියන නාට්‍ය මීට කලින් පරිවර්තන විදියට අවස්ථා කීපයකදීම මේරටේ වේදිකාගත වෙලා තියනවා. නමුත් අනුවර්තනයක් විදියට මම මේක කරන්නේ. මේ රටේ අද පවතින සමස්ත සිද්ධි දාමය තුළ අද වෙනකොට සමාජ ප්‍රවාහය තුළ සිදුවෙන දේවල් දකින කොට නිර්මාණකරුවකු විධියට හදවතට ඔළුවට දැනෙන යමක් කරන්න ඕනේ. මේක හරියන්නේ නෑ. පවතින තත්තවයට බැණ අඩගහනවාට වඩා අඩුම තරමින් මා නිර්මාණකරුවකු විධියට මට හැකි පමණින් නිර්මාණයක් කරනවා නම් ඒක තමයි මගෙන් මේ වෙලාවේ ඉටුවිය යුතු දේ කියල මගේ ඩියුටිය නිර්මාණ කිරීම ඒ නිර්මාණ හරහා මිනිස්සුන්ට හිතන්න පෙලඹවීම ඔවුන්ව යහපත් සමාජයකට රැගෙන යාම මෙන්න මේ කාර්ය මම නිර්මාණකරුවකු ලෙස අදටත් කරමින් ඉන්නවා.




ඔබ හිතනවාද ඒ ඔබේ අදහස මේ නිර්මාණය තුළ කරන්න පුුළුවන් වෙලා කියලා.?


අපිට මේ දේ වුණේ මීට කලින් පරම්පරාව ඒ කියන්නේ දේශපාලන පැත්තෙන්. ඒ හදල දුන්න රට තුළනේ අපි ජීවත් වෙන්නේ. මට පස්සේ පරම්පරාවෙන් ඔය චෝදනාව කවදා හරි මටත් කියාවි. ඔයාල දුන්න රට තුළනේ අපි ජීවත් වෙන්නේ කියලා. මේ රටේ තියන වහල් භාවය ගැතිකම. තමන්ට තියන සර්ව ජන ඡන්ද අයිතිය මේ ගැනවත් අපේ අයට වැටහීමක් නෑ. මේ හින්ද අයිතියේ බලය ගැනවත් දැනුමක් නෑනේ. මට ඒ දේ දැක දැක තවදුරටත් චෝදනා කරල තේරුමකුත් නෑ. මම දෙයක් කළ යුත්තේ මගේ පස්සේ පරම්පරාවට කියල මා තුළ විශ්වාසයක් තියෙනවා. මම චෝදනා එල්ල කරන්නේ මේ රටේ ඡන්ද බලය හිමි ඡන්ද දායකයාට දේශපාලකයාට නොවෙයි. ඉතිං මම හිතනවා කලාකරුවන් හැටියට අපිට කරන්න පුළුවන්. මිනිස්සුන්ගේ විඥානය අවදි කිරීම ආනන්දයෙන් ප්‍රඥාව ඇති කිරීමට අවශ්‍ය නිර්මාණ කිරීම.


සුජීව කලාකාරයෙක් කියනවට අකමැති පුද්ගලයෙක් කියලත් ආරංචියි?


ලංකාවේ කලාකාරයෙක් කියනවට වඩා නිර්මාණකාරයෙක් කියනව නම් ඊට වඩා හොඳයි. දැන් බලන්න කලාකාරයා කියන හඳුන්වාදිමේ තියන අවුල බලන්නකෝ මට කවුරු හරි රංගන ශිල්පියෙක් කියනවා නම් මම ආසයි ඒකට. මම ඒ වෙනුවෙන් කැපවෙනවා. වැඩකරනවා මහන්සි වෙනවා මට පුළුවන් ධාරිතාවේ මම ඒ දේ කරනවා. ලෝකයේ ගත්තහම ඇක්ටර් කියන භූමිකාව හරි ප්‍රබලයි. පොදුවේ කලාකාරයා කියන කෙනාව හඳුන්වා දෙන අය දිහා බැලුවහම මම කලාකාරයා කියලා හඳුන්වාදෙනවා නම් තවත් හොඳයි. අපේ රටේ කලාකරුවන් කියන අය කරන කියන දේ දැක්කම.


සුකිරි බටිල්ලෝ නිර්මාණය ජනවිඥානය දැන්වත් අවධිකරයි කියලද ඔබ හිතන්නේ?


මම හිතන්නේ නෑ. ඒක කොයි තරම් සාර්ථක ද කියල මට කරන්න පුළුවන් මිනිස්සුන්ව රසවින්දනයට ලක් කරන්න. මේ මොහොතේ තියන මානසික ආතතිය පීඩනය නැති කරගෙන වේදිකා රංග ශාලාවට ඇවිත් නාට්‍යය බලල හිනාවෙලා සතුටුවෙලා ඔළුවට යමක් අරගන්නවා නම් අරගෙන යන්න පුළුවන්. මම ඒ දෙකටම වැඩේ කරල ඇති. යම් කිසි විධියකට මානසික සුවයක් ගන්න. සැහැල්ලු වෙන්න හිනාවෙන්න ඕනෙ නම් ඒකටත් ඉඩ කඩ තියෙනවා. මේක පට්ට කොමඩියක්. හැබැයි පොලිටිකල් කොමඩියක්. ඒ පොලිටිකල් කතන්දරය සුකිරි බටිල්ලෝ තුළ යට තියනවා. ඒ පොලිටිකල් එක කියවන එක ඔබේ අයිතියක් ඒක නරඹන්නාගේ හැකියාව.


ලෝකයේ රටවල් ගණනාවක නිර්මාණය වූ නාට්‍ය නිර්මාණයක ආභාසය නේද ඔබ අපේ පේ‍්‍රක්ෂකයා වෙත සමීප කරන්න උත්සාහ ගන්නේ?


1974 වර්ෂයේ දාරියෝ ෆෝ විසින් නිර්මාණය කරපු කාන්වේ වෝන්පේ නාට්‍ය ලෝකයේ රටවල් තිස් හයකට වඩා ප්‍රමාණයක් වේදිකාගත වුණා. ලංකාවේ දාරියෝෆෝගේ මේ නාට්‍ය කරන්නෙ හතරවෙනි වතාවට. ඊට කලින් මේක පරිවර්තන හැටියට නිර්මාණය වුණා. නමුත් මම තමයි මේක අනුවර්තනයක් ලෙස ඉදිරිපත් කරන පළමු වැනියා, කාලීන වශයෙන් අද මේක අතිශයින්ම වැදගත් නාට්‍යයක්.


තුන්වතාවක් අප රට තුළ පරිවර්තනයක් හැටියට නිර්මාණය වූ එකම නාට්‍යයක් ඇයි ඔබ යළිත් අනුවර්තනයක් ලෙස ඉදිරිපත් කරන්න හිතුවේ. ඒ සඳහා යෙදුව කාලය ශ්‍රම්‍ය වෙනත් නිර්මාණයක් වෙත යොමු කළා නම් හොඳ නැද්ද?


එහෙම නම් ලෝකයේ ක්ෂේක්ස්පියර්ගේ නාට්‍ය කොච්චර නම් එක එක නාට්‍යකරුවා හරහා නිර්මාණය වෙලා තියනවාවද හැම්ලට් මැක්බත් කොච්චර කරල තියනවද ජුලියස් සීසර් කොච්චර කරල තියනවාද බර්ටෝල් බ්‍රෙෂ්ට්ගේ නාට්‍ය කොච්චර කරල තියනවද හුණුවටේ කතාව කීසැරයක් කරල තියනවාද හෙන්රි ජයසේන විතරක් නොමේනේ හුණුවටේ කතාව කළේ. එක එක කෙනා එක එක ප්‍රකාශන කළා. දාරියෝ ෆෝගේ. කාන් පේ වෝන්පේ තුළින් විවිධ විවිධ අවස්ථාවල විවිධ නාට්‍යකරුවෝ ප්‍රකාශන කරල තියනවා. සුකිරි බටිල්ලෝ තුළ මගේ ප්‍රකාශය තියෙන්නේ. ඩාරියෝ ෆෝගේ නාට්‍ය තුළ මම කරල තියෙන්නේ මගේ ප්‍රකාශනය මේක අනුවර්තනයක් නිර්මාණකරුවෙකුට ඔර්ජිනල් එක අරගෙන එතැනින් එහාට තමන්ගේ මතය ඉදිරිපත් කරන්න නිදහස තියනවා. මම කරන්නෙත් මේ මොහොතේ ඒක. අපි අරාජිකයි කියන දේ තමයි මමත් පෙන්නල දීලා තියෙන්නේ.


මේ නාට්‍යය තුළත් ඔබ රංගනයේ නියැළෙනවා. ඒ තුළින් සාර්ථක අධ්‍යක්ෂවරයෙක් වන්න ඔබට පුළුවන් ද?


ඒකට උත්තරය දෙන්න ඕනේ මම නෙමේ. ඕඩියන්ස් එක. ඒක කියන්න මට බෑ. ඒකට මට අයිතියක් නෑ ඒක ප්‍රේක්ෂකයා කියන්න ඕනේ දෙයක්. මෙච්චර කාලයක් කරපු දේවල් පේ‍්‍රක්ෂකයා ආදරයෙන් වැලඳ ගත්තා. ලෝරන්ස් ගේ මනමාලි දර්ශන වාර පන්සියකට වඩා වේදිකා ගත කළා. ලෝකයේ වෙනත් රටවල පවා ඕස්ට්‍රේලියාව, ඩුබායි යුරෝපයේ රටවල් අටක ආදී වශයෙන් වේදිකා ගත වුණා. මම කියන්නේ මම කොච්චර දුරට සාර්ථක ද අසාර්ථක ද කියල විසිහත්වෙනි දා ලයනල් වෙන්ඩ්ට් එකට හවස ආපුවහම තේරුම් ගන්න පුුළුවන් වෙයි. මම අසාර්ථක ද කියලා. මම අසාර්ථක වෙන්න කැමති නෑ. එහෙම වුණොත් ඒ සියල්ලේ වගකීම මා සතුයි. සාර්ථක වුණොත් මම නාට්‍ය කණ්ඩායම සමඟ ඒක බෙදා ගන්න පුළුවන් වෙයි. නාට්‍ය කණ්ඩායම සමඟ ඒ සාර්ථත්වය බෙදා ගන්න තමයි මම ඕනේ. ඒ විශ්වාසය මට තියෙනවා.


සුකිරි බටිල්ලෝ රට වටා ගෙන යනවා.


මට ඕනේ කොළඹ විතරක් පෙන්නන්න නොවෙයි. නාට්‍ය උළෙලට විතරක් ඉදිරිපත් කරන්න නොවෙයි. අපි සැලසුමක් ඇතුවයි මේ දේ කරන්නේ. සුකිරි බටිල්ලෝ වටා පහළොස් දෙනෙක්ගෙන් පමණ යුතු කණ්ඩායමක් ඉන්නවා. මේ අය මේ කරන්නේ වෘත්තියක්. වෘත්තීය වශයෙන් අපි සැලසුම් කරල තියනවා වෘත්තීය ගරුත්වය රැකෙන විධියට කටයුතු කරන්න අපේ රටේ කලා සංගම් තියෙන්නේ. එහෙම හදනවා නම් මේ රටේ වේදිකාව සිනමාව රූපවාහිනිය තුළ නිරත අයට ඒ තත්ත්වය පවත්වාගෙන යන්න පුළුවන් වෙන්න ඕනෙනෙ. කෝ අදටත් නෑනේ. මම විශ්වාස කරනවා. අපිත් එක්ක ඒ වැඩකරන කණ්ඩායමට අවශ්‍ය කරන පරිසරය හදල තියනවා. මේක කමර්ෂල් එකක් කොමඩි ඩ්‍රාමා එකක් මිිනිස්සුන්ට ඕනේ විධියට රස විඳින්න පුළුවන් එකක්. බලන්න පුළුවන් හිනාවෙන්න පුළුවන් කැමති නම් ඒ තුළ තියන පොලිටිකල් අයිඩියා එක ගන්න පුළුවන්. නැත්තම් අතහැරල දාන්න පුළුවන්. දැනටමත් බලංගොඩ, කහවත්ත, මොරටුව ප්‍රදේශවල මේක පෙන්නන්න දැනටමත් සංවිධාන කටයුතු පටන් අරන්.


ඔබ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වගේම ටෙලි නාට්‍ය නළුවෙක්?


ටෙලි නාට්‍ය නළුවෙකු වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් ලෙසත් මම කටයුතු කරමින් ඉන්නවා. මගේ මුල්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය ඉන්ටනැසනල් මේ දවස්වල දිවිතුරා ටෙලි නාට්‍යයේ තේමියගේ චරිතය තුළින් මම පේ‍්‍රක්ෂකයන් අතර ජනප්‍රියයි. මම ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කළා. හැබැයි මම කරන්නන් වාලේ කරන අධ්‍යක්ෂවරයෙක් නොවෙයි. මම දෙයක් කරන්නේ මගේ රසවින්දනයට මම රඟපාන්නේ ආශාවට. මගේ රඟපෑමේ ආශාව නැති කරගන්න. කොයි මොහොතකවත් කැමැති නෑ. මම ආශාව නැත්තම් එතැනින් ඉවත්වෙලා යනවා. නැත්තම් මම නවතා දමනවා. කොතරම් දුෂ්කරතා තිබුණත් මම අදටත් වේදිකාවේ රැඳෙන්නේ එතැන මට වින්දනයක් තියන නිසයි. ඉන්ටනැසනල් කලාට පස්සේ මම ටෙලි නාට්‍ය කරන්නේ කොහොමද කියන දේ හදාගන්න බැරිවෙලා තියනවා. බජට් ප්‍රශ්නය. ආතල් එක මම කඩා ගන්න කැමැති නෑ. ඊට වඩා හොඳයි. නාට්‍යයක් කරගෙන ඉන්න එක නමුත් මම කියන්නේ නෑ. සහමුලින්ම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයෙන් ඈත් වෙලා කියල මට නම් ඕනෙ කමක් ආවොත් සමහරවිට යළිත් ටෙලි නාට්‍යයක් අධ්‍යක්ෂණය කරයි. මගේ ආතල් එක කඩා ගන්නැතුව.


රඟපාන්න ආරධනා ලැබුණොත්?


මගේ වෘත්තිය රඟපෑම ඒක නිසා. මම සීමා දාගන්නත් බෑ. හැබැයි මම ආතල් එක ‘කුඩුකර ගන්නත් කැමති නෑ.’


චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්න අදහසක් නැද්ද?


ඊළඟට මොනවද කරන්නේ කියල මගේ සැලසුමක් නෑ. මේ මොහොතේ මම වේදිකා නාට්‍යයට තමයි. මුළු කැපකිරීම කරල තියෙන්නේ. මට ආතල් එක ගන්න මේ කාලේ මේ නාට්‍ය ඉතාම ප්‍රමාණවත් හොඳ කොලිටි ප්‍රඩක්ෂන් එකක් හදන්න තමයි මම මහන්සි වෙන්නේ හොඳ ඕඩියන්ස් එකක් හදාගත්තොත් මට ආතල් එකේ ඉන්න පුළුවන්. වෙනත් දේකට මගේ අදහසක් තවම නෑ. චිත්‍රපට කීපයක රඟපෑම සඳහා නම් ආරාධනා ආවා ඒත් මගේ නාට්‍යයේ වැඩ නිසා ඒ ගැන හිතන්න මම මැළි වුණා.


චිත්‍රපට නළුවෙක් ලෙස ඔබ කතාබහට ලක් වු පුද්ගලයෙක්?


මම මුලින්ම රඟ පෑ අශෝක හදගමගේ සඳ දඩයම චිත්‍රපටය තවම තිරගත වුණේ නෑ. මම රඟපෑ උදයකාන්තගේ රංකෙවිට තමයි මුලින්ම තිරගත වුණේ. මචං චිත්‍රපටයේ මගේ රංගනය තමයි අදත් මිනිස්සු කතා කරන්නේ. අදත් සමහරු මචං ගැන කතා කරනවා. ලංකාවේ සිනමාව සම්බන්ධයෙන් අපි මතකයේ තියාගත යුතු චිත්‍රපටයක් තමයි මචං. මචං තුළ අපි දැක්ක දේ අදටත් සැබෑමක් රටේ තරුණයෝ නීති විරෝධී ක්‍රමයකින් හරි රට පනින්න හදනවා නම් අද ලැජ්ජවෙන්න ඕනේ.


සුජීව වඩාත් කැමති අධ්‍යක්ෂවරයෙක් ලෙස වැඩකරන්නද රංගන ශිල්පියෙක් ලෙස වැඩකරන්නද?


මම ආශාවට රඟපාන්න ආපු කෙනෙක්. දැන් මේක මගේ වෘත්තීය බවට පත්වෙලා. ඒත් අද ආශාවට රඟපාන්න කොහේද වැඩ තියෙන්නේ. මම නිර්මාණයක් කරන්නේ මට රඟපාන්න නෙමේ. එහෙම ආශාවක් තිබුණානම් එහි ප්‍රධාන චරිතේ මම ගන්නවනේ. සුකිරි බටිල්ලෝ තුළ මම අධ්‍යක්ෂවරයා වුණාට මට රංගනයේ හැකියාව තියන නිසා රංගනයෙනුත් දායක වෙනවා. ගෙදර දුලීකා ඉන්න නිසා මම වෙන ගැහැනියක් ඒකට ගත්තේ නෑ. අධ්‍යක්ෂණයේදී මම අධ්‍යක්ෂකවරයා පමණයි රංගන කාර්යේ දී. මම ඒක කරන්නේ නිර්මාණයක් උදෙසා.


 




Previous Post Next Post