මම පාසලේදි ලැජ්ජාවෙන් පැත්තකට වෙලා උන්න කෙනෙක් - ෂෙනායා වැනොෆ්




මෑතකදි කලාවට එක්වූ යෞවනියන් අතර ෂෙනායා වැනොෆ් ඉදිරියෙන්ම ඉන්න කෙනෙක්. ක්‍රැකර් දැන්වීමෙන් පස්සෙ හිතළඟ හිනැහුණාහි කිරුළි ලෙසින් ඔබට ළංවෙලා ඉන්න සුරූපී දඟකාරිය අප ළඟ ඇගේ සිතුවිළි අවධිකළේ මෙලෙසින්.


අපි ෂෙනායාගේ පාසල් කාලයෙන්ම කතාව ආරම්භ කළා...


මම ඉගෙන ගත්තේ බම්බලපිටිය ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන්. ඉස්කෝලෙදි මම කිසිම දේකට ඉදිරිපත් වෙන්න බයෙන් ලැජ්ජාවෙන් පැත්තකට වෙලා හිටිය නිහඬ ගැහැනු ළමයෙක්. පාසල් යන කාලේ කොහොමවත් මට කලාවට එන්න ලැබෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒ වගේම ජනප්‍රිය කෙනෙක් වෙන්න පුළුවන් වෙයි කියන එකත් මටම හීනයක් වෙලා තිබුණේ. නමුත් හැමදේම වෙනස් වුණා. ඉස්කෝලෙදි වැඩිපුරම හිටියේ ක්‍රීඩා පිටියේ. ක්‍රීඩාවට ලොකු කැමැත්තක් තිබුණා. නමුත් අවසානයේ වෙළෙඳ දැන්වීමක් නිසා මගේ මුළු අනාගතයම මටත් හිතාගන්න බැරි විදිහට වෙනස් වුණා.


බිස්කට් දැන්වීමට දඟකාරියක් වෙන්නට ලැබුණු ඒ අපූරු අවස්ථාව ගැන ඇය කතා කරන්නේ හරිම කැමැත්තෙන්...


ස්පයිසි ක්‍රැකර් දැන්වීම මාව ගොඩක් ජනප්‍රිය කළා. ගොඩක් දෙනා ඒ වෙළෙඳ දැන්වීම හරහා මාව හඳුනා ගත්තා. ඊට පස්සෙ මට වෙළෙඳ දැන්වීම් ගොඩක් ලැබුණා. ඒ වෙද්දි නම් නිළියක් වෙන්න ලොකු ආසාවක් හිතට ඇවිත් තිබුණා. ඒත් ගෙදරින් ලොකු කැමැත්තක් ලැබුණෙ නැහැ. මගේ ලොකු අක්කා විවාහ වෙලා ඉන්නේ කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය තරුවක් වන අමිල පෙරේරා සමග. අමිල අයියයි, අක්කයි මුලින්ම මට උදව් කළේ නැහැ. මොකද එයාලා කිව්වේ මම ඕවට ගිහින් මොනවා කරගනියිද දන්නේ නැහැ කියලා. ඒ දෙන්නා මගේ ආරක්ෂාව ගැන ගොඩක් බයවුණා. නමුත් මට ක්ෂේත්‍රය ගැන ලොකු කැමැත්තක් ඇතිවුණු නිසා කොහොම හරි මේ ක්ෂේත්‍රයේ ගමනක් යනවා කියලා හිතාගත්තා. වෙළෙඳ දැන්වීම්වලින් පස්සේ මට මියුසික් වීඩියෝවල නිරූපණය සඳහා අවස්ථාව හිමිවුණා. ඊට පස්සෙ තමයි ටෙලි නාට්‍යවලට ඇරයුම් ලැබුණේ. ටෙලි නාට්‍ය කිහිපයක් කළත් මාව ගොඩක් ජනප්‍රිය වුණේ ‘හිත ළඟ හිනැහුණා’ ටෙලි නාට්‍යයේ කිරුළිගේ චරිතය නිසයි.


හිත ළඟ හිනැහුණා’ නාට්‍යයේ කිරුළි හැටියට ඇය අද බොහෝ දෙනාගේ හදවතේ තැන්පත් වී අවසන්. නමුත් දිගටම කිරුළි කෙනෙක් වෙන්න නම් ෂෙනායාගේ හිතේ කැමැත්තක් නැහැ...


මාව රසිකයන් අතරට ගෙන ගිය හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයත් එක්ක මම සෑහෙන කාලයක් නතරවෙලා ඉන්නවා. මේ වෙද්දි මට තවත් ටෙලි නාට්‍යවලට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි මට ගොඩක්ම ඇරයුම් ලැබෙන්නේ කිරුළි වගේම දඟකාර චරිතවලට. එක වගේම චරිතවලට කොටුවෙන්න මම කැමති නැහැ. වෙනස් චරිතයක් ලැබුණොත් මම ආසාවෙන් භාරගන්න බලාගෙන ඉන්නවා. මම හරි කැමතියි දමිළ චරිතයක් රඟපාන්න. මොකද මට දෙමළ භාෂාව හොඳට කතා කරන්නත් පුළුවන්. අනාගතයේදී ඒ අවස්ථාව ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඒ නිසා අධ්‍යක්ෂවරුන්ගෙන් ඉල්ලා සිටිනවා කිරුළි ගැන හිතලා මට චරිත දෙන්න එපා, කිරුළිගෙන් එළියට යන්නයි දැන් මට ඕන. එවැනි චරිතයක් ඉක්මනින් ලැබෙයි කියලා මම විශ්වාස කරනවා.


දඟකාර ෂෙනායාගේ ගෙදර විස්තර ගැනත් ඇය කතා කරන්නේ හරිම ආදරණීය විදිහටයි...


මගේ පවුලේ විස්තර ගැන කිව්වොත් අම්මයි, තාත්තයි අක්කලා තුන්දෙනෙක් තමයි මට ඉන්නේ. අක්කලා තුන්දෙනාම දැන් විවාහවෙලා ඉන්නේ. ගෙදර ඉන්නේ මමයි, අම්මයි, තාත්තයි විතරයි. අපේ තාත්තා ව්‍යාපාරිකයෙක්. අම්මා නම් ගෘහණියක්. අපි පදිංචි වෙලා ඉන්නේ වත්තල. මගේ හැම දෙයකටම මගේ පස්සෙන් ඉන්නේ මගේ අම්මා. මගේ ලොකු අක්කාගේ සැමියා අමිල අයියා හැර පවුලේ වෙන කවුරුවත් කලාවට සම්බන්ධ නැහැ.


පහුගිය දවස්වල ෂෙනායා, අමිල පෙරේරාත් සමග කළ ඡායාරූප බොහෝ දෙනාගේ කතාබහට ලක්වුණා. සමහරු මේ සම්බන්ධයෙන් වැරදි වැටහීම් පවා ඇතිකර ගත්තා. එයට ෂෙනායා පැහැදිලි පිළිතුරක් ලබාදුන්නා...


පහුගිය දවස්වල මමයි අමිල අයියයි ඉන්න ඡායාරූප ගොඩක් හුවමාරු වුණා. සමහරු මේ බැඳීම වැරදියට තේරුම් ගත්තා. අමිල අයියා කියන්නේ මගේ අක්කගේ සැමියා. මගේ මස්සිනා. ඔහු ක්ෂේත්‍රය ගැන ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක්. පළමුවැනි සුපර් ස්ටාර් තරගාවලියේ ඉඳන් ඔහු බොහෝ ප්‍රේක්ෂකයන් අතරේ ජනප්‍රිය වෙලා ඉන්නවා. අමිල අයියත් පහුගිය කාලේ වැඩිපුර වැඩ කළේ නැහැ. නමුත් දැන් ඔහුත් ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. ඒක මට ලොකු හයියක්. නිතරම මගේ කටයුතුවලදි මගේ ආරක්ෂකයා වගේ ඔහු මගේ ළඟින් සිටීම ලොකු ශක්තියක්. මගේ අක්කත් අමිල අයියා තරමටම ලොකු සහයෝගයක් ලබාදෙනවා.


තමා බොහොම නිදහසේ සිටීමට කැමති බව තමයි ෂෙනායාගේ අදහස...


මම ගොඩක් කාර්යබහුල නිළියක් නෙවෙයි. මේ දවස්වල හිත ළඟ හිනැහුණා ටෙලි නාට්‍යයේ ෂූටින්වලට සහභාගි වෙනවා. රඟපෑම් නැතිනම් මම ගොඩක් වෙලාට ගෙදරමයි ඉන්නේ. කොහොමටත් ජීවිතය කාර්යබහුල කරගන්න මම කැමති නැහැ. මොන දේ කරන්නත් හිතට නිදහස තිබිය යුතුයි. ඒ නිදහසත් විඳින ගමන් තෝරාගත්තු වැඩ කොටසකට පමණක් මගේ දායකත්වය ලබාදෙනවා.


විලාසිතා ගැනත් ඇය තුළ ලොකු උනන්දුවක් තියෙනවා...


ගැහැනු ළමයෙක් කරන ඕනෑම විලාසිතාවක් කරන්න මම ආසයි. මට ගැළපෙන විලාසිතාවන් නිතරම තෝරාගන්නවා. තවම නම් මගේ කැමැත්තට කවුරුවත් දොස් කියලා නැහැ.


ජීවිතය, අනාගතය ගැන ඇය සඳහන් කළේ මේ විදිහට...

හැම වෙලාවෙම සරලව ජීවත් වෙන්න උත්සාහ කරනවා. මගේ පවුලත් එක්ක තමයි මම ජීවත් වෙන්න කැමති. මට එළියේ යාළුවො නැහැ. නමුත් හැමෝම එක්කම සුහදව කතාබහ කරලා ඉන්න තමයි මම කැමති.


ආදරය ගැනත් ඇයගේ හිතේ බලාපොරොත්තු තිබෙනවා...

මගේ තාත්තා වගේ මාව බලාගන්නා ආරක්ෂා කරන කෙනෙක්ට තමයි මම ආදරේ කරන්න කැමති. මට පුළුවන් තරම් කාලයක් මම රංගන කටයුතුවල යෙදෙන්න බලාපොරොත්තු වෙනවා. කවදා හරි මම විවාහ වෙන කෙනා මම රඟපානවාට අකමැති වුණොත් මම රඟපෑමට සමුදෙනවා.



ක්ෂේත්‍රයේ හෙමින් හොඳ ගමනක් යෑම තමයි ඇගේ එකම බලාපොරොත්තුව...

රංගන ක්ෂේත්‍රයේ බලාපොරොත්තු නම් ගොඩක් තියෙනවා. හොඳ චරිත කරන්න, සම්මාන ලබන්නත් ආසයි. හොඳ චරිත කරලා මතකයේ රැඳෙන ශිල්පිනියක් වෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඉදිරියේදී එවැනි අවස්ථා හිමිවෙනකම් බලාගෙන ඉන්නවා. ආපු ගමනේ වැරදි වගේම අඩුපාඩුත් හදාගෙන හොඳ නමක් හදාගන්නවා.





Previous Post Next Post