ගොඩක් දේවල් වෙනස් උනේ පැටියා කුසට ආපු දවසෙ ඉඳලා - මුතු තරංගා

 


ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ පුංචි තිරයෙන් නිරන්තරයෙන්ම අපිට දැක බලා ගන්නට හැකි සුන්දර කලාකාරිනියක් තමයි මුතු තරංගා කියන්නේ. ඇයටම හිමි ඒ ස්වභාවික සුන්දරත්වය නිසා බොහෝ දෙනෙක් මුතු තරංගා කියන මේ රංගන ශිල්පිනියට ආදරය කරන්න පටන් ගත්තා. ඒ වගේම තමයි ඇය අද වෙද්දි වාසනාවන්තම කලාකාරිනියක් කියලත් හඳුන්වන්න පුළුවන්. ඒකට මූලිකම හේතුව මුතු තරංගා විවාහ වෙලා අවුරුදු දාහතරකට පස්සේ වාසනාවන්ත වුණා උතුම් මව් පදවිය ලබන්න. ඇය මේ වෙද්දි ආදරණීය අම්මා කෙනෙක්. ඒ නිසාම මූතූ සැහැල්ලුවෙන් සරළව ගත කරපු ඒ ජීවිතය දැන් ගොඩක් වෙනස් වෙලා. ඒ අලුත් ජීවිතය පිළිබඳව මුතු පුවත්පතකට අදහස් එකතු කරල් තිබුනෙ මේ විදිහටයි.

“ගොඩක් දේවල් වෙනස් උනේ පැටියා කුසට ආපු දවසෙ ඉඳලමයි.අපි දෙන්නම කලා කටයුතුවල නියැළිලා හිටියා මිසක් දරුවෙක් ගැන ලොකුවට හිතුවේ නැහැ. අන්තිමට දන්නෙම නැතුව ලොකු කාලයක් ගෙවිලා ගියා දැන් නම් ඉතින් වගකීම් දරන්න කාලෙ හරි කියලා අපි දෙන්නම හිතුවා.

කොහොමත් මගේ ජීවිතයේ අහවල් බලාපොරොත්තු හීන කියන දේවල් තිබුණු කෙනෙක් නෙමෙයි. ඒ වගේම ඒවා පිටිපස්සේ දුවපු කෙනෙකුත් නෙවෙයි.මම සැමදාම හිතුවෙ ඒ වෙලාවේ ඒ මොහොත ගැන විතරයි. මමයි අයියයි ජීවිතය හොඳට වින්දා ඇවිද්දා පස්සෙ අපි දෙන්නම තීරණය කළා දැන්නම් පැටියෙක් ගැන හිතන්න ඕනේ කියලා.”

ඇය ඒ විදියට අදහස් දක්වපු අතර දරුවෙක් හම්බ ඉන්නවා කියන ඒ සුභ ආරංචිය අහපු දවසේ පටන් මුතූගේ සාමාන්‍ය ජීවිතය වගේම සිතුම් පැතුම් පවා වෙනස් වෙන්න පටන් අරන්. ඇය බොහොම ආසාවෙන් දින ගනිමින් බලාපොරොත්තුවෙන් ඉඳලා තියෙනවා ඒ ආදරණිය දරුවා මේ ලෝකයට එනතුරු. ඉතින් ඇය මේ වන විට දරු සුරතල් විඳිමින් ජීවිතය ගත කරනවා. ඒ වගේම පසුගිය දිනක ඇය දරුවාත් සමඟ ජනතාවත් එක්ක විරෝධතා භූමියේ දී විරෝධය පළ කරනවත් අපි දැක්කා. ඒ වගේම තමයි මුතු තරංගා එක්තරා අවස්ථාවකදී සඳහන් කරනවා ඇගේ ජීවිතයේ විවාහය කියන දේ පිළිබඳව හරි අමුතු කතාවක්. එයාකාරයෙන් ඇය සඳහන් කරපු අදහස පහතින් දක්වා ඇත.

“අපි විවාහ ගිවිස ගත්තේ 2008 දී ඊට පස්සේ පුංචියට හරි විවාහ උත්සවයක් ගන්න හිතාගෙන හිටියත් කලා කටයුතු සහ පෞද්ගලික කටයුතු එක්ක ඒක කල් ගියා. ඒ නිසා අපි විවාහ උත්සවයක් ගන්න හිතුවේ නෑ. ඒක නිකන් විහිළුවක් වගේ කොහොමත් මම ලොකු උත්සව වලට කැමැති කෙනෙක් නෙවෙයි. ලොකුවට වෙඩින් එකක් නොගත්තට අපි විවාහවෙලා අවුරුදු දාහතරක්. දරුවෙක් ගැන හිතන්න මෙච්චර කාලයක් යයි කියලා හිතුවේ නැහැ. දන්නෙම නැතුව පෞද්ගලික සහ කලා කටයුතුත් එක්ක කාලය ගියා.”

ඒ ආකාරයෙන් ඇය අදහස් දක්වන අතර දරුවෙක් ලැබෙන්න ඉන්න කාලසීමාව තුළදී ඒ ගැනම හිතමින් ඇය ඒ වෙනුවෙන්ම සූදානම් වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ වන විට උතුම් මව් පදවිය ලබමින් ආදරණීය දරුවා සමග සුන්දර ජීවිතයක් ගත කරන මේ සොඳුරු කලාකාරිනිය ට අපි හදවතින්ම ජීවිතය සුබ වේවා කියා ප්‍රාර්ථනා එක් කරන්නෙමු.





Previous Post Next Post