ආදරේ දී මිල මුදල්වලට මූලික තැනක් දෙන්නේ නැහැ කිව්වට ඇතැමුන් මුලින්ම බලන්නේ මූල්‍ය පසුබිම. ඒ විදිහට සල්ලි නිසා අත හැරුණු ආදරයක් එක්ක ගායකයෙක් වුුණු කෙනෙක් තමයි සතිශාන් රත්නායක කියන්නේ, මේ නමට වඩා මැණිකේ මගේ හිතේ ගීතය නොදන්න කෙනෙක් නැහැ, හුරුපුරුදු යි. එහි මුල් අයිතිකරු තමයි සතිශාන් කියන්නේ. මිලියන විස්සකට අධික සංඛ්‍යාවක් එම ගීතය යූටියුබ් ඔස්සේ නරඹා තිබෙනවා. ලෝකයේ බොහෝ රටවල ජනප්‍රිය වූ මැණිකේ මගේ හිතේ ගීතයේ අයිතිය ඇති ඔහු ගැන තමයි මේ කතාබහ.
සතිශාන් කොහොමද අලුත් අවුරුද්ද ..?
පටන් ගත්තා විතරයි , 2022 ට වඩා 2023 අවුරුද්ද සුබ වෙයි මට වගේම ලංකාවාසීන්ට කියලා හිතනවා. ආර්ථික අරගලය එක්ක හැමෝම ගැටෙනවා මට කියලා වෙනසක් නැහැ . මටත් ආර්ථික ප්‍රශ්න දැනෙනවා. මම තවම ඉන්නෙත් රෙන්ට් එකට ගත්ත ගෙයක. ප්‍රසංගයකට අය කිරිම් කියන්න බැරි මට්ටමක ඉන්නේ. සංවිධායකයන් වගේම අපිත් අසරණයි. ඔය දේවල් එක්ක අලුත් ගීත දෙකකුත් රූප රචනා එක්ක එළිදක්වන්න බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවේ සංවිධායකයින් පිරිසක් ලංකාවේ සුගතදාස ස්ටේඩියම් එකේ ප්‍රසංගයක් පවත්වනවා, රුද්‍රා සීතා කියලා. ඉන්දියාවේ ගායක ගායිකාවන් එක්ක මම, නදීමාල්, දුලාන් හා උමාරියා එදාට සින්දු කියනවා. ඊට අමතරව මේ මාසේ එංගලන්තයේ ප්‍රසංගයකට ආරාධනාවක් ලැබුණා . ඒ හැම දෙයක් එක්කම ජීවිතේ බැලන්ස් කර ගන්න බලනවා.
යොහානි ගායනා කරන “මැණිකේ මගේ හිතේ“ කවර් එක ඔබේ හඬට වඩා අතිශය ජනප්‍රිය වුණා. දැන් ඒ සිද්ධිය වෙලා කාලයක් වෙනවනේ, දැන් ඇත්ත කියමු. යොහානි ඔබේ ගීතයෙන් ජනප්‍රිය වෙද්දී ඊර්ෂ්‍යාවක් හිතුණේ නැද්ද ..?
හැමෝම මගෙන් ඔය ප්‍රශ්නය අහනවා. යොහානි කියන සින්දුව මිලියන 13 බලද්දී මගේ එක මිලියන 20 ඉක්මවලා තියෙනවා. මගේ එක වැඩියි. ඒ වුණාට ලෝකය පුරා ජනප්‍රිය වුණේ යොහානි කියන එක. ඔය සින්දුව ලිව්ව දුලාජ්වත් සංගීත අධ්‍යක්ෂණය කරපු චමත්වත් මංවත් අයිතිවාසිකම් කතා කරන්නේ නැහැ. සමහර වෙලාවට මම මගෙන්ම අහනවා ඇයි මොකුත් හිතෙන්නේ නැත්තේ කියලා. කොහොම නමුත් යොහානි කරපු දෙයින් හොඳ දෙයක් වුණේ.
දැන් දෙන්නගේ තරහ ඉවරද..?
බොහෝ දෙනෙක් හිතන්නේ අපි හතුරෝ කියලා. කොහෙත්ම නැහැ. ළඟදිත් කතා කරා එයා විදෙස්ගත වෙලා ඉඳලා ආවා කියලා. මගේ සින්දුවලට ප්‍රමෝෂන් වලින් එයා උදව් කරනවා, අපි තවම හිතවත්
එතකොට යොහානිගේ පියා හිටපු හමුදා ප්‍රධානියෙක් වු ප්‍රසන්න ඔබට කරපු තර්ජන..?
එතුමා තවම මට මුණගැහිලත් නැහැ. ඔය හැම කතාවක්ම එක එක්කෙනා ගොතපු කතා. මාව බය කරලා සින්දුව ගත්තේ නැහැ. කැමැත්තෙන් දුන්නේ. ඒ නිසා මට වැඩිපුර වැඩත් ආවා.
දැන් පෙම්වතෙක්ද..?
තවම නැහැ.
ජනප්‍රියත්වය එක්ක කී දෙනෙකුට ආදරේ කරලා තියෙනවා ද..?
එක්කෙනෙක් දෙන්නෙක් කියලා නැහැ කිහිප දෙනෙක් එක්කම යාළු වුණා. නොගැළපීම් එක්ක අයින් වුණා.
කී දෙනෙක්ව රැවට්ටුවාද..?
රවට්ටලා නැහැ. මම රැවටෙන්නේත් නැහැ.
දරුණු විදිහට විරහව වින්ද සතිශාන් ආදරේදි කෙල්ලෝ විශ්වාස කරන්නෙ නැහැ කියන්නේ ඇත්තද..?
ඇත්තටම විශ්වාස කරන්නෙ නැහැ. සම්බන්ධකම් පැවැත්තුවාට විශ්වාස කරන්න අමාරුයි.
සල්ලී නිසා ඔබව අත හැරපු පළමු පෙම්වතිය ඔබ ජනප්‍රිය වුණාට පස්සේ කතා කළාද ..?
මැණිකේ මගේ හිතේ ගීතය ඒ කාලේ ජනප්‍රිය වෙද්දී කෝල් කළා. මගේ සිංදුවක් කරලා එයාට මුලින්ම අහන්න දුන්නම එයා මට කිව්වේ ඔය සිංදු බල්ලෝවත් අහන්නේ නැහැ කියලා, මගේ පෙම්වතිය වෙලා හිටපු එයා එහෙම කියද්දි මම ගොඩක් මානසිකව වැටුණා. මට සල්ලි නැහැ කියලා එයා මාව අත ඇරියේ. මාත් එක්ක යාළු වෙලා ඉද්දි අවුරුද්දක් විතර මාව රවට්ටලා එයා වෙන සම්බන්ධයක් පවත්වාගෙන ගිහිං ඊට පස්සේ තමයි එයා මාව දාලා ගියේ. ඒ කාලේ මම ආදරේ නිසා ගොඩාක් දුක්වින්ද කෙනෙක්. ඊට පස්සෙ හිත හදාගෙන කොළඹ ආවා. ජනප්‍රිය වුණාට පස්සේ කෝල් කරලා කිව්වා මම දැනගෙන හිටියා ඔයා කවදා හරි ඔය තත්ත්වයට එයි කියලා. බල්ලොවත් මගේ කටහඬ අහන්නේ නැති වෙයි කියපු එයාම එහෙම වර්ණනා කළා. මම කිව්වා ඔහොම කතා කියලා ගොඩක් කෝල්ස් එනවා ඒ නිසා අඳුරගන්න බැහැ කවුද කියලා මම ෆෝන් එක තිබ්බා. ආයේ මොකටද දැන්. අමාරු කාලේ නැතුව.
හිත හදාගන්න කොළඹ ආව සතිශාන් ගායකයෙක් වුණා නේද ..?
ඔව්. මම කොළඹ එන්නේ ගමේ ඉන්න බැහැ හිතට ඒ ප්‍රශ්න වද දුන්නු නිසා. ඒ කාලේ මට හරියට තරහා යනවා. ඒ හැමදේකින්ම මිදෙන්න ආවා කොළඹ එයා මගේ ජීවිතේ හිටියා නම් තවම මම ගමේ ගලක් උඩ වාඩි වෙලා ඔහේ රස්තියාදුකාරයෙක් වගේ ඉඳියි. එයාට පිංසිද්ධ වෙන්න ඕන මාව දාලා ගියාට. මොනවා වුණත් එයා තමයි මගේ මෝටිවේෂන් එක.
ගමේ රස්තියාදුකාර පුතා කොළඹ ඇවිත් ජනප්‍රිය තරුවක් වුණා කියලා මාපියන් ආඩම්බර වෙනවා ඇති ..?
මගේ තාත්තා නිතරම කිව්වේ වැඩක් ඇති වැඩක් කරපං පුතේ බොරු වැඩ නොකර කියලා. තියෙන සල්ලි වියදම් කරනවා කියලා බැන්නා. නමුත් මැණිකේ මගේ හිතේ ගීතය අහලා අම්මා වගේම තාත්තා හුඟක් සතුටු වුණා. දැන් නම් මොකුත් කියන්නේ නැහැ , කවුරු මොනවා කිව්වත් ගායකයෙක් වෙලා තමයි නතර වුණේ. මගේ මල්ලිවත් මතක් කරන්න ඕන. එයාට සින්දු කියන්න බැහැ හොඳට නටන්න පුළුවන්. මේ හැමෝම මම ගැන දැන් සතුටු වෙනවා.