23 වසර උදා වෙද්දී කලා ලොවේ වැඩිම කතාබහට ලක්වුණ මාතෘතාව කේ. සුජීවා හා ඇගේ දරුවන් මුහුණ දුන් රිය අනතුර යැයි කීම නිවැරදියි. 31 රෑ සංගිත සංදර්ශනයකට යමින් සිටි සුජීවා සහ ඇගේ පවුලේ අය මුහුණදුන් අත්දැකීම ගැන දැන් නොදන්නා කෙනෙක් නැහැ මේ මහා කලබැගෑනියෙන් පසු සුජීවා කතා කළා...
අවුරුද්ද පටන් ගද්දිම මේ තරම් ප්‍රසිද්ධියක් ලැබෙයි කියලා හිතුවද?
එක රැයකින් මා ගැන හැම තැනකම කතා කරන්න පටන් ගත්තා. රටේ හැම චැනල් එකකම නිවුස්වල මම උන්නා. අන්තර්ජාලයේ කේ. අකුර ටයිප් කළ සැනින් කේ. සුජීවා කියල මා ගැන විස්තර කියවෙන තරමට මගේ නම ප්‍රසිද්ධ වුණා.
නමුත් ඒ සිදුවීමෙන් ඔබ බොහොම කලබලයට පත්වෙලා නේද ඉන්නෙ?
මම මගේ දරුවො දෙන්නට අම්මයි තාත්තයි වෙලා ජීවත්වෙන කාන්තාවක්. කවුරු හරි තමන්ගේ දරුවන්ට පරුෂ වචනයෙන් බණිද්දි සාමන්‍ය මනුස්සයෙක් ඒ දේට ප්‍රතිචාර දක්වන විදිහට තමයි මමත් හැසිරුණේ. එම සිදුවීම වෙන අවස්ථාවෙ සංගීත සංදර්ශනයකට යන්න හොඳින් හැඳ පැළඳගෙන ගමන් කරමින් උන්නේ. මට කිසිම කෙනෙක් එකක් ගැටුමක් ඇතිකර ගන්න වුවමනාවක් තිබුණේ නැහැ. ඒ සිදුවීමෙදි ඔවුන් සාමකාමී ලෙස ඒ සිදුවීම නිරාකරණය කරගන්න ඉදිරිපත් වුණා නම් කිසිසේත් මම කලබල වෙන්නෙ නැහැ.
ආගම දහමට දැඩිව බැදුන බෞ ද්ධ කාන්තාවක් විදිහට මීට වඩා සාමකාමීව ප්රශ්නය විසඳුනා නම් හොඳයි නේද..
කෙනෙක් තමන්ට ගහන්න පනිද්දි කරන්න තියෙන්නෙ එක්කො පැනලා දුවන එක, නැතිනම් එයින් බේරෙන්න උත්සාහ කරන එක. මම බීමතින් හෝ ඇඳුම් අඩුවෙන් ඇඳගෙන හරි නිරුවතින් හරි ගිහින් එතන බැණ වදිමින් හැසිරුණා නම් මම ලැජ්ජා වෙන්න ඕනෑ. ඔය සිදුවීම් දකිමින් නරඹමින් තුටු පහටු වෙන අය එක් මොහොකත හරි හිතුවා නම් තමන්ට මේ වගේ දේකට මුහුණ දෙන්න වුණා නම් තමන් මොන විදිහටද හැසිරෙන්නෙ කියලා ඔය විදිහට චෝදනා කරන්නෙ නැහැ. මම සිල් ගන්නවා, බණ අහනවා කියලා මම රහත් වෙලා නැහැනේ. මට හෝ මගේ දරුවන්ට කවුරුහරි හිංසාවක් අපහාසයක් කරදරයක් කරද්දි ඒක මට දැනෙනවා. මමත් හැසිරුණේ අනිත් මනුස්සයො වගේ තමයි. මිනිස්සු ඒ සිදුවීම වීඩියෝ කරගෙන සමාජ මාධ්‍යයට දමමින් මම ලෝකෙ කිසිම කෙනෙක් නොකරන දෙයක් කළා වගේ දක්වන්න උත්සාහ කරනවා. කියන්න ලැජ්ජයි කාන්තාවකට අපහාස කරන්න ඔය සමහර වීඩියෝවලට හඬ ලබාදෙන්නෙත් කාන්තාවක්.
එම අවස්ථාවේ ඔබ ප්‍රසිද්ධ මනුස්සයෙක් බව මතක් කළේ විශේෂ සැලකිල්ලක් බලාපොරොත්තුවෙන්ද?
ඒ සිදුවීම විඩියෝ කරද්දි මම කිව්වා මේවා වීඩියෝ කරලා ප්‍රසිද්ධ කරන්න එපා, මාව මිනිස්සු දන්න කෙනෙක් නිසා ඒක හොඳ නැහැ කියලා විතරයි. නමුත් මගේ ප්‍රකාශයේ කෑල්ලක් අරගෙන වැරදි අදහසක් සමාජයට දෙනවා.
ඇයි සුජීවාට මේ තරම් ද්වේශයක් සමාජයෙන් එල්ල වෙන්නෙ?
ගෙවල් දොරවල් හදන් යාන වාහන අරන් රන් ආභරණ පළඳලා දරුවන්ට හොඳට සැප සම්පත් දීලා ජීවත් වෙනවා දකින්න බැරි කිසිම දෙයක් නැති පිරිසක් තමයි ඔය විදිහට ද්වේශයෙන් පහර දෙන්නෙ. මට කියන්න තියෙන්නෙ ඔය වගේ සිදුවීමක් වීඩියෝ කරගෙන එකට විවිධ කතා මුසු කරමින් ප්‍රචාරය කරන්නෙ වගේම ඒවට කමෙන්ට් කරමින් ෂෙයාර් කරමින් සතුටු වන්නෙ තමන්ගෙ අම්මා තාත්තා කවුද කියල හරියට දන්නෙ නැති අවජාතක මිනිස්සු.
සුජීවාට සුපිරි ජීවිතයක් ගත කරන්න වරම් හිමිවෙලා තියෙන්නෙ කලාව නිසාද...
මම ජීවිතය ජය ගත්තෙ කම්මැලි නැතිව වැඩ කළ නිසා. මම දවසකට නිදියන්නෙ පැය හතරයි. දවසේ පැය විස්සක් මම වැඩ කරනවා. මගේ සැලෝන් එකේ වැඩ කරනවා. සංදර්ශනවලට සහභාගි වෙනවා.
ඔබේ ව්‍යාපාරයට දුවල දෙන්නගේ දායකත්වය ලැබෙනවද?
දරුවො දෙන්නට මම බල කරන්නෙ නැහැ. එයාලට සතුටින් නිදහසේ ඉන්න පුළුවන් විදිහට එයාලටත් එකක් මම හම්බ කරනවා. මගේ ලොකු දුව අංජලී පිටරට යවලා මම කරගෙන යන රූපලාවණ්‍ය කටයුතු උගන්වල තියෙනවා. හදිසියේ මට මේ වැඩ කරගන්න බැරිවුණොත් මගේ සේවාදායකයන් වෙනුවෙන් වැඩ කරන්න ඇයට හැකියාව ලබාදීලා තියෙනවා.
මේ කාර්ය බහුලත්වය නිසා දාන සීල භාවනා කටයුතුවලට වෙලාව ඉතිරි වෙනවද?
හැම පෝයකටම මම දායකත්වය දරණ විහාරස්ථානයට දාන දෙනවා. නමුත් මම පන්සල් ගිහින් සිල් ගන්නෙ නැහැ. මට සිල් ගන්න ඕන නම් මගේ ගෙදර බොහොම අපූරුවට නිමවා තිබෙන ධාතුන් වහන්සේලා වැඩමවා තිබෙන බුදු කුටියක් තියෙනවා. මට හිතුණම මගේ ගෙදර බුදු කුටියට වෙලා සිල් සමාදන් වෙනවා.
ඔබ මෙන්ම දරුවනුත් බුද්ධාගම වැළඳගෙනද ඉන්නෙ...
මගේ තාත්තා හින්දු, අම්මා කතෝලික. ඔවුන් දෙදෙනා ආගම් දෙකක නිසා ඒ දෙන්නටම වුවමනා වුණා ඔවුන්ගේ ආගම්වලට මාව ගන්න. එක තැනකදි ඒක මට වදයක් වුණා. දරුවන්ට කිසිම ආගමකට බැඳෙන්න කියලා බල කරන්නෙ නැහැ. ඒත් මගේ කාමරේ පැය විසි හතරේම රේඩියෝවේ බණ ප්‍රචාරය වෙනවා. දරුවො ඒ බණ ශ්‍රවණය කරනවා. මට දැනෙනවා ඒ දෙන්න බුද්ධාගම ගැන පැහැදීමකින් ඉන්නවා කියලා.