විවාහ වෙන්න ගිහින් පැරදුණ මට දෙපාරක් හිතන්න වෙනවා - හසිත විජේවර්ධන




හසිත විජේවර්ධන කියන්නේ මේ වන විට TV දෙරණ ආයතනයේ නිවේදකයෙකු ලෙස කටයුතු කරන දක්ෂ නිවේදන ශිල්පියෙක්.ඔහු මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙන්නේ ජාතික රුපවාහිනියේ විකාශනය වූ අතුරු මිතුරු වැඩසටහනේ ළමා නිවේදකයෙකු ලෙසයි. කොළඹ තර්ස්ටන් විදුහලෙන් අධ්‍යාපනය ලබන මොහු උසස් පෙළ අධ්‍යාපනයෙන් එවකට දෙරණ මාධ්‍යය ජාලයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකවරයා යටතට පුහුණු නිවේදකයකු ලෙස එකතු වුණා. පුහුණු කාලය අවසන් වීමෙන් පසු ක්‍රීඩා වාර්තා නිවේදකයකු ලෙස වසර 3ක් පමණ ක්‍රීඩා අංශයේ කටයුතු කරනු කර අනතුරුව ප්‍රවෘත්ති වාර්තාකරණය කරන්නට ඔහුට හැකියාව ලැබුනා. ඉතින් ඔහු ඒ ගැන පුවත්පතකට මෙලෙස පවසා තිබුනා.


“මම ඉගෙන ගත්තේ කොළඹ තර්ස්ටන් විදුහලෙන්. මගේ පියාගේ දැඩි ඉල්ලීම මත මා උසස් පෙළ අවසන් වීමෙන් පසු පියාගේ මඟපෙන්වීම යටතේ දෙරණ නාලිකාවේ එවකට ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි වර්තමානයේ උපසභාපති ලෙස කටයුතු කරන ලක්සිරි වික්‍රමගේ මහතා ළඟ නිවේදකයකු ලෙස මාස 8ක් පුහුණු වෙනවා. ඉන් අනතුරුව මම ක්‍රීඩා නිවේදකයෙකු ලෙස බඳවා ගන්නවා. වසර 3ක් පමණ ක්‍රීඩා අංශයේ සේවය කරන අතර විවිධ ඉසව් ඔස්සේ මගේ වැඩකටයුතු කරන්නට නාළිකාවෙන් මාව යොමු කරනවා. ඊට පසු මට මේ ක්ෂේත්‍රයේ නියළෙන්නට වෙනදාට වැඩි ආශාවක් හා අහුමුළුවල තියෙන සැඟවිච්ච දේවල් සොයන්නට ඕන කියලා හිතුණා. ඒ නිසා මම මගේ රැකියාව මේ දේ විය යුතුයි කියලා හිතුවා.පාසලේ සියලු වැඩසටහන් මාධ්‍ය කවය තුළින් කරන්නේ. ඒ දේවල් සියල්ල නිවේදන කටයුතු සිදු කළේ එවකට මාධ්‍ය කවයෙන්. ඒ හැම වැඩකටයුත්තකදීම මම මුල් වෙලා වැඩකටයුතු කළා. මගේ ගමනට එයින් ලැබූ පන්නරය තමා ගොඩක් පිටුවහලක් වුණේ. පාසලෙන් බිහිවුණු අයියලත් එක්ක අද වැඩ කරන්න ලැබීමත් සතුටක්. මගේ නාළිකාවේ දැනට ඉන්න චතුර අල්විස්, දිලීප හෙන්නායක හා සාරංග දිසාසේකර වැනි ජේ්‍යෂ්ඨයන්ගේ ආභාසය මගේ ගමන් මඟට ගොඩක් රුකුලක් වුණා.කවදාවත් නිවේදකයකු වන්න හිතාගෙන නොවේ ආවේ. ළමා කාලයේ රූපවාහිනියේ නිවේදකයකු වුණාට මෙහේ ආවේ ප්‍රවෘත්ති වාර්තාකරණයට. කොහොම හරි ඒ ගමන්මඟට අවතීර්ණ වෙන්නට ඉඩ ප්‍රස්ථාව නාලිකාවෙන් සලසා දුන්නා. මම ඒ ගැන හරිම සතුටින් ඉන්නේ. මුල් කාලයේ ටිකක් ප්‍රශ්න තිබුණා. ඒත් සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය අධ්‍යයනය කරන්නට පටන් ගෙන පොත් පත් වැඩි වශයෙන් කියවන්නට ගත්තා. ලෝකයේ විවිධ ප්‍රවෘත්ති නාලිකා ගවේෂණාත්මක වාර්තාකරණය, ක්ෂණික වාර්තාකරණය හා සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ මම තොරතුරු ගවේෂණය කළා. ඒ නිසා මට ගැටලු මතු වුණේ නෑ. පසුව සාමාන්‍ය ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබඳ යම් දැනුමකින් යුතුව වැඩකටයුතු සිදු කරන්නට පෙලඹුණා. ඔය ආකාරයට තමයි මම නිවේදකයෙකු වෙන්න ගමන් මඟ සැකසුණේ.”


ඒ වගේම මේ දිනවල ඔහු ඉදිරිපත් කරන ජනප්‍රිය වැඩසටහනක් වන ඔන් ටොපික් වැඩසටහන ගැනත් ඔහු මේ විදිහට පවසා තිබුනා.“ඔන් ටොපික් වැඩසටහන පළමුව අපි කළේ ලංකාවේ සංවර්ධන කටයුතු ගැනයි. එහෙමත් නැතිනම් ලංකාවේ නම ජාත්‍ය්‍යන්තරයට රැගෙන ගිය අවස්ථාවකයි. එයට අලා වැඩසටහන් කිරීම තමයි ඔන් ටොපික් හරහා පළමුව අපි දියත් කළේ. පසුව නාලිකාවේ විධායක අධ්‍යක්ෂක මාධව මඩවල මහතා කීවා මේක කරනවා නම් බ්රෑන්ඩ් නේම් එකක් යටතේ කරන්න කියලා. පසුව අපේ නිෂ්පාදක කණ්ඩායම ඔන් ටොපික් වැඩසටහන බ්රූන්ඩ් නේම් එකක් යටතේ කරන්න පටන් ගත්තා. මාතෘකා පිළිබඳ කතා කරන වැඩසටහනක් බවට පත් වුණා. මේ නිසා රටේ විවිධ අප්‍රසිද්ධ දේවල් ජනතාවට පෙන්වන්න කතා කරන්න ගත්තා. උදාහරණයක් ලෙස මා පැහැදිලි කළොත් ලෝකයේ ලොකුම නැව ලංකාවට ආපු වෙලාවේ එහි සියලුම දේවල් රූප රාමු එක්ක විස්තරාත්මකව පෙන්වන්න ගත්තා. රිදියගම සෆාරි උද්‍යානයේ අලුතින් ඉපදුණ සිංහ පැටව් ගැන මෙවැනි දේවල් ගැන කතා කරන්න ගත්තාම ඔන් ටොපික් කියන වැඩසටහන ප්‍රේක්ෂයන් අතරට කෙටි කාලයක් තුළ ජනප්‍රියත්වයට පත් වුණා.


මේ හරහා ප්‍රථම වතාවට ප්‍රවෘත්තිකරණයට ඩ්‍රෝන කැමරාකරණය අපට ගේන්න පුළුවන් වුණා. ඒකත් මේ වැඩසටන ජනපි‍්‍රයත්වය කරා ගෙන යන්නට පිටිවහලක් වුණා. ලංකාවේ වැඩසටහන් හා ප්‍රවෘත්ති වාර්තාකරණයට ඩ්‍රෝන භාවිතය පිටරටවල් එක්ක සංසදනය කරන විට ඉතා අඩුවෙන් භාවිතා කරන්නේ. ඩ්‍රෝන භාවිතය නිසා විවිධ කැමරා කෝණ ඇතුළත් කරලා වැඩසටහන අලංකාර දර්ශන පේළියක් එකතු කිරීම තුළින් හා සංස්කණයෙන් ජනතාව බලාපොරොත්තු වන දේවල් දීමට හැකි වුණා. ඔන් ටොප්ක් වැඩසටහන නිසා කොටින්ම කියනවා නම් සුවිශේෂී වැඩසටහනක් කොහේහරි වෙනවා නම් අපට කතා කරලා ගෙන්න ගන්න තැනට අද ජනප්‍රියත්වයට පත් වෙලා තිබෙනවා. සමහර දවස්වලට අපිට යන්නත් බැරි වෙනවා. එදාට වෙන වැඩසටහන් භාරගෙන තිබෙනවා. අපි සියලුදෙනාම මේ වැඩසටහන කරන්නේ හරිම ආශාවෙන්.”


ඉතින් ඔහු මේ කරන නිවේදන රැකියාව ගැන තෘප්තිමත් වෙන බවත් ඔහු පවසා තිබුනා.“ඇත්තටම මම හරිම තෘප්තිමත්. ලෝකයේ කරන්න පුළුවන් හොඳම රැකියාව ලෙස මම දකින්නේ මාධ්‍යවේදියකු වීමයි. මට නම් ජීවිතේ පුදුමාකාර අද්දැකීම් සම්භාරයක් රැකියාවෙන් ලබාගෙන තිබෙනවා. ඒ සියලු දේවල් මගේ ජීවිතයට හරියට ගහට පොත්ත වගේ බැඳිල තිබෙනවා. මේ වනවිට ලංකාවේ නොගිය තැනක් නෑ. ලෝකයේ රටවල් ගණනාවකට යන්න ලැබුණේ මාධ්‍යවේදියකු වීම නිසා. ඒක සාමාන්‍ය ජීවිතයේ ඉන්න පුද්ගලයකුට අත්විදීමට නොහැකි දෙයක්. ජනාධිපතිවරයාගේ සිට පාරේ අතුගාන අම්මා තාත්තා දක්වාම ඔවුන් හමුවෙනවා දුක, සතුට, වේදනාව මම දන්නවා. “පැල්පතේ සිට රජමන්දිරය දක්වා දුකත්, සැපත්, සතුටත් මේ රැකියාව කරන මමයි ඔබයි තරම් වෙන අය දන්නෙ නැතුව ඇති කියලා මම හිතනවා. ඒ නිසා මම මේ රැකියාව තමයි කෙනෙකු කළ යුතු හොඳම රැකියාව ලෙස මම දකින්නේ.මගේ ගමනට යෝධ ශක්තියක් වන්නේ අම්මයි, තාත්තයි දෙන්නා. අම්මා පිටිපස්සේ ඉඳන් නිතරම මාව දිරිමත් කරනවා. වැරදි අඩුපාඩු පෙන්වනවා. සමහර වේලාවට මම එකම සන්ග්ලාස් එක වැඩසටහන් තුන හතරක දාගෙන ඉදල තිබෙනවා. ඒව පෙන්වලා දෙන්න වෙන කවුරුත් නෑ මට අම්මා තමයි ඉන්නේ. තාත්තා තමයි මේ ගමනට මාව යොමු කළේ. තාත්තා ගුවන්විදුලි සංස්ථාවේ ක්‍රීඩා අංශයේ හා ඉංගී‍්‍රසි අංශයේ ප්‍රධානියා ලෙස කටයුතු කළා. ඉන්පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මාධ්‍ය කළමනාකරු ලෙස කටයුතු කළා. ඔහු නමින් වජිර විජේවර්ධනයි. ඔවුන් දෙපළගේ එකම පැතුම වුණේ මමත් මාධ්‍යවේදියකු වනවා දැකීමයි. ඒ අරමුණ මම ඉෂ්ඨ කළා.”

ඒ වගේම විවාහය ගැනත් ඔහු මේ විදිහට පවසා තිබුනා.“මාධ්‍යවේදියකු ලෙස මගේ ගමන මම යනවා. සමාජයට යම් මෙහෙවරක් කරන එක තමයි මගේ එකම බලාපොරොත්තුව. රැකියාව කරන අතරතුර සුළු ව්‍යාපාර කටයුතුවලද නිරත වෙනවා. මේ රැකියාවට අවශ්‍ය අධ්‍යාපන සුදුසුකම් ටික මේ යන ගමනේ හිමීට කරගෙන යනවා. ලොකු බලාපොරොත්තු මගේ ළඟ නෑ. මම හිමින් ගමනක් ආපු කෙනෙක්. ඒ නිසා හැමෝටම උදව් කරගෙන අපෙන් පසුව එන පරම්පරාවට මේ මාවත පෙන්වා දීම තමයි මාගේ බලාපොරොත්තුව. ආයතනයේ සියලු දෙනාටමත් හිතමිත්‍රාදීන්ටත් තිබෙන වැඩියෙන්ම කතා කරන මාතෘකාව විවාහය. විවාහ වෙන්න ගිහින් පැරදුණ මට දෙපාරක් හිතන්න වෙනවා මේ ගැන. ආදරයට ආදරය කරන මිනිස්සු නැහැ. එහෙම හොයා ගන්නත් බැහැ. මාව තේරුම් අරගෙන මාගේ රැකියාව අවබෝධ කරගත්ත කෙනෙක් ඉදිරියේදී මුණගැසුණොත් සිය දහස් වාරයක් හිතලා තීරණයක් ගන්නවා.”










Previous Post Next Post