යන්න ප්‍රසාත් රත්නායකගේ ධරණී ටෙලි නාට්‍යයේ විනුලි ප්‍රේක්ෂකයාට අදටත් අමතක නොවන චරිතයකි. ලද බොළඳ අහිංසක ගති ඉක්මවා යමින් දැඩි සටන්කාමී බවක් ආරූඪ කරගත් විනුලි නමැති යුවතියගේ චරිතයට පණ දුන් ඇය ඩිලූෂි හංසිකාය. තම කුළුඳුල් නිර්මාණයෙන්ම ප්‍රේක්ෂක සිත් තදින් ස්පර්ශ කළ ඇය සමඟයි අද කතාබහ.
“2020 දෙරණ අවුරුදු කුමරිය කිරුළ තමයි මාව රංගනය පැත්තට යොමු කළේ. අවුරුදු කුමරිය වුණාට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකක් තිබුණා. ඒකෙන් සිලෙක්ට් වුණාට පස්සෙ මාව ධරණී ටෙලි නාට්‍යයේ විනුලී කියන චරිතයට සම්බන්ධ කරගත්තා. ඒක සටන්කාමී චරිතයක්. මං දන්න තරමින් මාෂල් ආර්ට් කලාව සඳහා කාන්තාවන් යොදා ගෙන කළ පළමු නිර්මාණය මේක. හේෂානි අක්කගෙයි මගෙයි චරිත ගොඩනැඟුණෙ මේ මාෂල් ආර්ට් කලාවත් එක්ක. ඒක අපිට අලුත් අත්දැකීමක් වුණා. අලුත් කෙනෙකුට හයිලයිට් වෙනවා කියන්නේ ලොකු දෙයක්. විනුලී නිසා ඒ වාසනාව මට හිමිවුණා. එහි ගෞරවය හිමිවෙන්න ඕන ඔසඳ සමන් බණ්ඩාර මාස්ටර්ට. එයා ලොකු කැපවීමක් කරලා අපිට පුහුණුව දුන්නා. නර්තනය හදාරලා තිබුණු නිසා මට අල්ල ගන්න පහසු වුණා. ඒත් පුහුණු වෙනකල් හරි ටෙක්නික්ස් අල්ල ගන්න කල් කොතරම් පරිස්සමට කළත් පොඩ්ඩ එහෙ මෙහෙ වෙද්දි ඇත්තටම වදිනවා. එහෙම වෙලා සමහර අය මා එක්ක කතා නොකර ඉඳලත් තියෙනවා. ඒ වැදිච්ච පාරවල්වලට අදටත් මගේ කකුලේ ලප කැළැල් තියෙනවා. මාස දෙකක් විතර පුහුණුවීම් කළා. විනුලි කියන්නේ මට වාසනාව ගෙනාපු මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය. අදටත් ප්‍රේක්ෂකයා මාව අඳුනන්නේ ධරණී එකේ කරාටේ ගහගනිපු විනුලි විදියට. ඒ වගේම ඒක ටෙලි නාට්‍ය කලාවට වෙනස්ම අත්දැකීමක් එක්කළ නිර්මාණයක්.”
දියණී ටෙලි නාට්‍යයේ වගේම මේ දිනවල විකාශය වන සැලෙනා නුවන්හි වර්ෂාගේ චරිතයත් එකිනෙකට හාත්පසින්ම වෙනස් චරිතයන් බවයි ඇගේ අදහස.
“ධරණී ටෙලි නාට්‍යයෙන් පසුව හර්ෂ උඩකන්දගේ දියණී ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණා. හර්ෂ උඩකන්ද කියන්නෙත් අලුත් විදියට හිතන කෙනෙක්. දියණී තුළින් ඔහු සීමිත කාල පරාසයක් තුළ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් එක්කළා. ඒකෙ නර්තන ශිල්පිනියකගේ චරිතයක්. නර්තනය හදාරපු කෙනෙක් විදියට ඒක මට සමීප චරිතයක්. ඊට පස්සෙ මේ දිනවල විකාශය වන සැලෙනා නුවන් ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණේ. ඒකෙ දුෂ්කර ගමකට පත්වීම ලැබිලා ආව ලොකු කැපකිරීමක් කරන අහිංසක ගුරුවරියකගේ චරිතයක්. ඊට අමතරව Colombo Food Gride කියන යූටියුබ් නාලිකාවේ නිවේදිකාවක් විදියට වැඩකරනවා. ඒ වගේම සිරස නාලිකාවේ වොයිස් වැඩසටහනේ නිවේදිකාවක් විදියටත් කටයුතු කරනවා.”
මොන චරිතය කළත් තවමත් ප්‍රේක්ෂකයා තමාව හඳුන්වන්නේ විනුලි ලෙසින් බවයි ඇය පැවසුවේ.
“මං මොන චරිතය කළත් ප්‍රේක්ෂකයාගේ මතකයේ තවමත් ඉන්නේ විනුලි. ඒකට හොඳම උදාහරණය තමයි සැලෙනා නුවන්හි එක ජවනිකාවක අඳුර වැටීගෙන එන වෙලාවෙ වර්ෂා ටීචර් බස් එකක් එනකල් තනියම ඉද්දි එක මිනිහෙක් ඇය දිහා අමුතුවට බල බලා අහනවා “බස් එක පරක්කුයි නේද? කොහේද මේ රෑ වෙලා යන්නෙ?“ කියලා. ඒ වෙලාවෙදි වර්ෂා හොඳටම බය වෙනවා. ඔය කොටස විකාශය වුණාට පස්සේ ප්‍රේක්ෂකයන් ඒකට කමෙන්ට් දාලා තිබුණා. ඇයි අනේ ඔයා එච්චර බය වුණේ. ඔයා කරාතේ දන්නවනේ, දෙන්න එපාද ඇදල දෙකක් කියලා. ඒ තමයි මගේ අනන්‍යතාව.
මේ සුන්දර යුවතිය තවමත් ආදරවන්තියක් නෙවේලූ. දියණී එකේ විවාහකයෙකුට සිතින් පෙම් බඳින ඇයට අවසානයේ සිදුවන්නේ මවුපියන් හොයලා දෙන මෝඩ පහේ මනාලයකුට කැමති වෙන්න. සැබෑ ජීවිතයේදීත් එවැන්නකට මුහුණ දීමට සිදු වුණොත් කුමක් කරන්නේදැයි ඇසූ ප්‍රශ්නයට ඇය දුන්නේ සිනහමුසු පිළිතුරක්.
“ගෙදරින් ලැබෙන ආදරයත් එක්ක ගොඩක් සතුටින් ඉන්න කෙනෙක් මං. ඒ නිසා ගෙදරට විරුද්ධව නම් කිසිම දෙයක් කරන්නේ නැහැ. දියණි එකේ වගේ එච්චර තඩි කරුමයකට කරගහන්න තරම් නම් මං පව් කරලා නැතුව ඇති. අම්මෝ මට නම් එපා, ඒ වගේ කෙනෙක්. එහෙම කෙනෙක් නම් හොයලා දෙන එකක් නැති වෙයි. හොඳ කෙනෙක් හම්බවුණොත් හෙට බඳිනව මං. එහෙම තමයි හිතාගෙන ඉන්නෙ. ඒත් ක්ෂේත්‍රයේ කෙනෙකුට නම් මගේ කැමැත්තක් නැහැ.”
නාමලී ගමගේ