මටත් ලස්සන ආදර කතාවක් තියෙනවා. මමත් ආදරය විඳිනවා. ඒත් ඒ ආදරය ගැන කියන්න මේ හොඳම කාලය නෙවෙයි කියලා මම හිතනවා. විවාහයට දින දාගෙන හැමදේම සැලසුම් කළාට පස්සේ මගේ ආදරය ගැන හැමෝටම කියන්න තමයි මම හිතාන ඉන්නේ. කොහොම වුණත් ඊළඟ අවුරුදු දෙක ඇතුළත විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා. ඒ ගැන තීන්දු තීරණ ගත්තාට පස්සේ මගේ ආදරය ගැන විවාහය ගන ප්‍රශ්න කරපු හැමෝටම හරිම උත්තරේ ලැබෙයි."
ජනප්‍රිය රංගන ශිල්පිනී පූජනී භාග්‍යා තමයි මේ විදියට ආදරය සහ විවාහය ගැන වචන එකතු කළේ. රංගන ශිල්පිනියක් වගේම ඇය දක්ෂ නිරූපණ ශිල්පිනියක්. මේ දවස්වල නිවේදිකාවක් හැටියටත් පූජනීව අපට මුණගැහෙනවා. ඒ වගේම ගීත ගායනයටත් පූජනී දක්ෂයි කියලා අපිට දැනගන්න ලැබුණා.පහුගිය දවස්වල පූජනී සහ ගයාන් ගුණවර්ධන ගැන සමාජ මාධ්‍යවල විවිධ කටකතා පැතිරුණා. ගයාන් පූජනී කියන්නේ පෙම්වතුන් කියලා පිරිසක් කියනවා. කාටත් රහසේම ගයාන් පූජනී විවාහ වෙලා කියලත් කතාවක් පැතිරෙන්න පටන් ගත්තා.
ඉතින් මේ කතාවල ඇත්ත නැත්ත පූජනීගේ වචනවලින්ම දැනගන්න අපි තීරණය කළා. කාටත් රහසේම ගයාන් සමග විවාහ වුණා කියන කතාවට පිළිතුරු දුන් පූජනී ,
"ගයාන් අයියත් එක්ක එකතු වෙලා ෆොටෝ ෂූට් පහක් විතර දැන් කරලා තියෙනවා. තවත් ෆොටෝ ෂූට් කිහිපයක්ම කරන්න තියෙනවා. ඉතින් අපේ ෆොටෝ සෝෂල් මීඩියාවල ශෙයාර් වෙනවා. ඒ ෆොටෝ බොහෝ දෙනෙක්ගේ කතාබහට ලක් වෙලා තිබුණා. ගයාන් අයියයි මමයි රහසේම විවාහ වුණාද කියලත් පිරිසක් අහනවා.
අපි ගැන දන්න අය නම් මේ කරන්නේ ෆොටෝ ෂූට් විතරයි කියලා තේරුම් ගන්නවා. ඒත් නොදන්න පිරිස අපිට දිගින් දිගටම සුබ පතනවා. ඇත්තටම මට රහසේ විවාහ වෙන්න වුවමනාවක් නැහැ. කොහොම වුණත් පහුගිය දවස්වල ගොඩක් අය ගයාන් අයියටයි මටයි සුබ පතනවා. කරන කරන ෆොටෝ ෂූට් එකට අදටත් අපි දෙන්නාගේම රසික රසිකාවියන් අපිට සුබ පතනවා."
පහුගිය දවස්වල පූජනී අලුත් නිර්මාණයකින් අපට මුණ ගැහුණේම නැති තරම්. රංගනය ගැන කලකිරිලා ඇය ක්ෂේත්‍රය අතහැරලා ගිහින් කියලාත් පිරිසක් කිව්වා. ඒ වගේම නිරූපණය සහ නිවේදනය නිසා පූජනී රංගනය අත් හැරලාද කියලාත් ඇයට ආදරය කරන රසික රසිකාවියන් බොහෝ දෙනෙක් අහන්න පටන් ගත්තා.
ෙකොහොම වුණත් මාස හය හතකට පසුව පූජනී අලුත් ටෙලි නාට්‍යයක රඟපාන්න තීරණයක් අරන් තිබුණා. මේ දිනවල සති අන්තයේදී ස්වර්ණවාහිනියේ විකාශය වන මැස්සා ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතයත් එක්ක නැවතත් ඇයව ප්‍රේක්ෂකයන්ට මුණ ගැහෙනවා. පූජනී කියන විදියට මැස්සා ටෙලි නාට්‍යයේ පිංකිගේ චරිතය කියන්නේ පූජනීට වෙනස් විදිහේ අලුත්ම අත්දැකීමක්. ඊට අමතරව තවත් නිර්මාණ කිහිපයක්ම එන්න තියෙනවා කියලත් පූජනී අපිට මතක් කළා.
"මාස හය හතක කාලයක් මම රංගනයට කොමාවක් තියලා රෙස්ට් එකක් ගත්තා. හැබැයි ටෙලි නාට්‍යවල රඟපාන එකට ටික කාලයකට විවේකයක් දුන්නත් නිරූපණය නිවේදනයට විරාමයක් දුන්නේ නෑ. ඒ ක්ෂේත්‍රවලට ටිකක් වැඩි අවධානයක් දුන්නා. බ්‍රයිඩ්ල් ෂූට්ස් කිහිපයක්ම කළා."
විනෝදාංශයක් විදිහට පටන් ගත්ත රංගනය දැන් පූජනීගේ වෘත්තිය බවට පත්වෙලා... පූජනී ලබන අවුරුදු දෙක තුළ විවාහ වෙන්න හිතාගෙන ඉන්නවා කියලා මම මේ පිළිසඳර මුලදිම සඳහන් කළා. ඉතින් විවාහයෙන් පසුව දිගටම රංගනයේ රැඳී ඉන්නවාද නැද්ද කියන එක ගැන නම් ඇය තවම තීරණයක් අරගෙන නැහැ. ඒත් විවාහයෙන් පසුව බිරිඳක් මවක් හැටියට වගකීම් බාරගන්න සූදානම් විය යුතු නිසා පූර්ණකාලීනව රංගනයේ නිරත වෙන්න ලැබෙන්නේ නැති වෙයි කියලත් පූජනී අපට කිව්වා.
"විවාහයෙන් පස්සේ ටික කාලයක් සමහරවිට මම රංගන කටයුතුවලට සම්බන්ධ වෙයි. කොහොම වුණත් විවාහ වුණාට පසුව ජීවිතයට තවත් වගකීම් එකතු වෙනවා. මවක් වෙන කාලෙකදී රංගන කටයුතු වගේම ජීවිතයේ අනිත් හැමදේම බැලන්ස් කරන්න මට පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා ඒ කාලය වෙද්දී සමහර විට ක්ෂේත්‍රයෙන් අයින් වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් මට පහසු වැඩ ටික විතරක් බාර අරගෙන කරයි. ඒත් ඒ කාලේට මම ටෙලි නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්නේ නැති වෙයි."
පූජනී අපට මුලින්ම මුණ ගැහෙන්නේ සිනමා නිර්මාණයකින්. ‘දරුවනේ’ තමයි ඇයගේ පළමුවෙනි රංගන අත්දැකීම. ඉන්පසුව ඇය 2017 වර්ෂයේදී හිරු අවුරුදු කුමරිය හැටියටත් අභිෂේක ලබනවා.ඉන් පසුව ඇයට දිගින් දිගටම ටෙලි නාට්‍යවල රඟපාන්න ආරාධනා ලැබෙනවා. ඒ වගේම පුංචි තිරයේදී හුස්මක් තරමට, අසංවර වැස්සක්, නෑනලා, නාඩි, සිඳූ වැනි ටෙලි නාට්‍ය ගණනාවකින්ම පූජනී අපට නිතරම මුණ ගැහුණා.
ඉතින් මේ ආව ගමන ගැන පූජනී නම් කතා කළේ සතුටකින්. ගයාන් ගුණවර්ධන සමගින් විවාහ වෙලා කියලා ගොසිප් එකක් පැතිරුණත් ඇය ගැන නරක විදිහේ කිසිම කටකතාවක් පැතිරිලා නෑ කියලා ඇය අපිට කිව්වා. ගයාන් සම්බන්ධ කරගෙන පැතිරෙන කතා ඇය දකින්නේ සාමාන්‍ය සිදුවීමක් විදිහට. ක්ෂේත්‍රයේ වැඩ කරද්දී බොහෝ දෙනෙක්ට මේ වගේ ගොසිප් හැදෙන නිසා කලබල විය යුතු නැහැ කියලත් ඇය අපිට කිව්වා.
දැන් රංගන ශිල්පිනියක් හැටියට ජනප්‍රියත්වයට පත්වෙලා හිටියත් පූජනී පොඩි කාලේ ඉඳලම සිහින දැකලා තිබුණේ ගුවන් හමුදා නිලධාරිනියක් වෙන්න. ඉතින් ඒ හීනය පැත්තකින් තියලා රංගනයට පිවිසුණත් රංගනය තුළින් හෝ ඇයගේ ගිලිහුණු හීනයට පණදෙන්න පූජනී තවමත් බලාගෙන ඉන්නවා. කවදා හරි දවසක ගුවන් හමුදා නිලධාරිනියක් හැටියට හෝ පොලිස් නිලධාරිනියක් හැටියට නිර්මාණයක රඟපාන්න ඇය බොහොම කැමැත්තෙන් ඉන්නවා.
පූජනී ගයාන් අතර පෙම් පලහිලව්ව සමාජයෙන් හංගන්න පූජනී උත්සාහ දරනවා කියලත් කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඉතින් ඒ ගැන පූජනීට තිබුණෙ මේ වගේ අදහසක්.
"අපේ සම්බන්ධතාවලට හෙට දවසේ මොනවා වෙයිද කියලා අපි දන්නේ නෑ. හෙට වෙද්දි අපි මැරෙයිද කියලත් අපි දන්නේ නෑ. එහෙම තත්ත්වයක විවාහය ගැන තවත් කෙනෙක්ට කියන්නේ කොහොමද? ගොසිප් පැතිරෙන එක සාමාන්‍ය දෙයක්. ක්ෂේත්‍රය තුළ එවැනි කට කතා ඕන තරම් තියෙනවා. සමහර අය විවාහ වුණාට ඔය වගේ ගොසිප් වැදුණු හැම කෙනෙක්ම විවාහ වෙලත් නෑ. ඒ නිසා ආදරය ගැන විවාහය ගැන දැන්ම මම කාටවත් කියන්නේ නැහැ. හැබැයි මම පෙම්වතියක්. මම පෙම්වතියක් වෙනකම්ම මගේ ආදරණීය අම්මා පවුලේ අය මාත් එක්ක හිටියා. අදටත් ඒ අය මමත් එක්ක ඉන්නවා. ඉතින් පවුලේ අයගෙන් වගේම මගේ පෙම්වතාගෙනුත් මම ආදරය විඳිනවා. ආදරය සුන්දරයි. ලෝකෙට කිය කිය ආදරය කරන්න ඕනේ කියලා මම හිතන්නේ නැහැ."