දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන තරඟාවලිය හරහා කලාවට පිවිසි හර්ෂී අංජුමාලා මේ වනවිට වඩාත් ජනප්‍රිය වෙලා තියෙන්නේ නම් රංගනය පැත්තෙන්. කුඩා අවධියේම නර්තනයට හපන්කම් පෑ ඇය මේ දිනවල දෙරණ ඔස්සේ විකාශය වන රාජිනී ටෙලි නාට්‍යයේ අභී ලෙස ඔබ හමුවට එයි. රංගනයේ මෙන්ම නර්තනයේත් දස්කම් පාන ඇය ගැනයි අද කතාබහ.
අභී මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි නේද? කොහොමද ලැබෙන ප්‍රතිචාර?
අභිෂේකා (අභී) කියන්නේ මේ දිනවල දෙරණ නාලිකාවේ විකාශනය වන තිළිණ බොරලැස්සගේ රාජිනී ටෙලි නාට්‍යයේ චරිතය. ඒක අභියෝගාත්මක, ආදර්ශවත් චරිතයක්. අම්මයි, තාත්තයි දෙන්නම නැතුව, එක්තැන් වුණු මල්ලිවත් බලාගෙන ඔහුව සුවපත් කරගැනීමට ලොකු වෙහෙසක් දරන පාසල් වියේ ගෑනු ළමයෙක් තමයි අභී. ඒකට බොහෝ ප්‍රතිචාර ලැබෙනවා.
අංජු කලාවට පිවිසෙන්නේ නර්තනයෙන්. ප්‍රේක්ෂකයා ඔබව හඳුනගන්නේ නම් රංගන ශිල්පිනියක් විදියට. ඒ ආ ගමන් මඟ ගැන කිව්වොත්
දෙරණ ලිට්ල් ස්ටාර් නර්තන අංශයේ ජනප්‍රියම තරුව කිරුළ හිමිවෙන්නේ මට. ඒ 2008 වසරේ. මගේ කලාවට පිවිසීම සිද්ධ වෙන්නේ ඒ හරහා. අද මං යම්තැනක ඉන්නව නම් ඒ මගේ අම්මා නිසා. පුංචි කාලෙදිම මගේ නර්තන හැකියාව හඳුනගෙන මාව නැටුම් පන්තිවලට දාලා උගන්නලා මේ තරගයට යොමු කළේ මගේ අම්මා. එයා හැමදාම මගේ සෙවණැල්ල වගේ පස්සෙන්ම හිටියා. අදටත් එයා මගේ පස්සෙම ඉන්නවා.
සිඳූ ටෙලි නාට්‍යයේ ගයනිගේ චරිතයෙන් තමයි මම පුංචි තිරයට එන්නේ. ඊට පස්සේ නොමැකෙන මතක, රාජිනී කියන ටෙලි නිර්මාණවලට දායක වුණා. ඊට අමතරව හඬ කැවීම් ශිල්පිනියක් විදියටත් කටයුතු කරනවා. මතක සිත්තම් කියන කොරියන් ටෙලි නාට්‍ය මාලාවේ හඬ කැවීම්වලට සම්බන්ධ වුණා. ඒක වොයිස් එකේ පරාසය හොඳින්ම පෙන්නන්න පුළුවන් නිර්මාණයක්. මේ දවස්වල නැවතත් හඬ කැවීම් පැත්තටත් යොමු වුණා. ඒක ජාතික රූපවාහිනියේ අලුතින් පටන් ගන්න ජපන් ටෙලි නාට්‍ය මාලාවක ප්‍රධාන චරිතයක්.
දැනට චිත්‍රපට දෙකකට ප්‍රධාන චරිතවලින් සම්බන්ධ වෙලා ඉන්නවා. එකක් හර්ෂ උඩකන්දගේ සේද මාවතේ කියන චිත්‍රපටය. අනිත් එක ආරියරත්න ඇතුගල සර්ගේ සහෝ කියන චිත්‍රපටය. ඒක ලංකාවේ තාමත් ප්‍රදර්ශනය ආරම්භ වුණේ නෑ. ජාත්‍යන්තර සම්මාන උලෙළ නියෝජනය කරලා නොමිනේට් වෙලා සම්මාන දිනාගත්ත චිත්‍රපටයක්. ඇතුගල සර්ගෙම සිසිවන වුවන කියලා ටෙලි නාට්‍යයකටත් ප්‍රධාන චරිතයෙන් සම්බන්ධ වුණා. ඒකත් ඉදිරියේදී විකාශනයට නියමිතයි.
ඔබට ඔබේ සහකරුවා හමුවීමත් නොමැකෙන මතකයක් වුණා කියලා ආරංචියි?
ඔව්. මං විවාහ වුණේ යෝජනාවකින්. ඒකත් අහම්බෙන් සිද්ධ වුණු දෙයක්. මං ටෙලි නිර්මාණයකට දායක වුණා නොමැකෙන මතක කියලා. හැම වැඩකටම යද්දි අපේ අම්මා මා එක්ක එනවමයි. ඉතින් ඒ ලොකේෂන් එකේ දි එයාගේ ඥාතියෙක් තමයි එයා ගැන අපෙ අම්මගෙන් අහලා තිබුණේ. එයාගේ නම අම්ජු. එයා විදෙස්ගත වෙලා හිටියේ. අන්තිමට නොමැකෙන මතක තිරයට විතරක් නොවෙයි මගේ ජීවිතේටත් නොමැකෙනම මතකයක් වුණා.
කොහොමද මහත්තයාගෙන් ලැබෙන සහයෝගය. රඟපාන එකට තහංචි එහෙම දාන්නෙ නැද්ද?
අපි විවාහ වෙලා තාම මාස 8ක් වගේ. එයා රැකියාව සඳහා ආයෙම විදෙස්ගත වුණා. එයා දන්නවා අම්මා මං පස්සෙම ඉන්නවා කියලා. කොහොමත් එදා ඉඳලම චරිතයක් ලැබුණම අම්මයි මමයි සාකච්ඡා කරලා තමයි ඒක භාර ගන්නේ. කවදාවත් මං මගේ තීරණයට විතරක් වැඩ කරලා නැහැ. අම්මා හා කිව්වොත් තමයි මං ඒකට හා කියන්නේ. චරිත තෝර බේර ගෙන මට කරන්න පුළුවන් ඒව විතරයි ඒ නිසා තෝර ගන්නේ. ඒක අම්ජු දන්නවා. එයා දන්නවා අපි තෝරා බේරාගෙන තමයි වැඩ කරන්නේ කියලා. ඉස්සර අම්මගේ කැමැත්ත විතරයි බැලුවේ. දැන් ඉතින් මහත්තයගෙ කැමැත්තත් බලන්න ඕනනේ. ඒ දෙන්නගේම අදහස් එක වගේ. ඒ නිසා අපි අතර ලොකු ගැටුම් නැහැ. මමත් ගැටුම් ඇති කරගන්න කැමැති කෙනෙක් නොවෙයි.“
අංජු විදෙස්ගත වෙනව කියලත් ආරංචියි. ඇයි රට හැරයන්න අදහස් කළේ?
රට හැරයනවාම නෙවෙයි. මගේ මහත්තයා ඉන්නෙ ඕස්ට්‍රේලියාවේ. ඒ නිසා භාරගත්ත වැඩ ටික ඉවර කරලා නිවාඩුවකටත් එක්ක ගිහින් එන්නයි අදහස් කළේ. අනිවාර්යයෙන්ම ආයිම ඇවිත් හොඳ නිර්මාණවලට සම්බන්ධ වෙනවා.