බොහෝ දෙනෙක් ආදරේ කරන්නෙ තරුව ඇතුළේ ඉන්න සැබෑ චරිතයට නෙමෙයි - තීක්ෂණ අනුරාධ



රියැලිටි වේදිකාවෙන් සංගීතයට පන්නරය ගත් තීක්ෂණ අනුරාධ කාලයක් වේදිකාවට අවශ්‍ය ගායකයෙක් බවට පත් වුණා. එහෙත් දැන් නම් ඔහුව ප්‍රසංග වේදිකාවෙන් දකින්න නැති තරම්. ඊට හේතුව නව පරපුරේ ගායකයන් බිහි වීම වෙන්න පුළුවන්. කොහොම නමුත් ජනතාව වැලඳ ගත් ගීත නිර්මාණ කළ ඔහු මේ වෙද්දී සංගීත අධ්‍යක්ෂවරයෙක් හැටියට කටයුතු කරනවා. දරුවෝ දෙන්නෙකුට ආදරණීය තාත්තා කෙනෙක් වූ ඔහුත් එක්ක කතා කරන්න අපි කල්පනා කළා. මේ කතාබහට ඔහු වගේම ඔහුගේ බිරිඳ අනුරාධිවත් එකතු කර ගත්තා. මේ ඔවුන්ගේ කතාවයි.


කොවිඩ් ප්‍රශ්නය යම්තාක් දුරට මග ඇරුණු නිසා ලංකාවේ ත් විදෙස් රටවලත් මේ වෙද්දී ආයේමත් සංගීත ප්‍රසංග පැවැත්වෙනවා . ඔබට සංගීත ප්‍රසංග සඳහා ආරාධනා ලැබෙනවද, එහෙම නැත්තම් තීක්ෂණ අනුරාධව වේදිකාවට අමතක වෙලාද ?


සංචාර දෙක තුනකට ආරාධනා ලැබුණා. මේ මාසේ ඩුබායි සංචාරයක් තියෙනවා. ලබන අවුරුද්දේ දින වෙන් කරගත්තා තව විදෙස් සංචාර දෙකකට. බොරු කියන්න ඕන නැහැනේ ඉස්සර තරම් ප්‍රසංගවලට ආරාධනා ලැබෙන්නේ නැහැ. ඒකට හේතුව අපි වගේම රියැලිටි වලින් බිහි වෙන අලුත් අයට අවස්ථාව ලැබිම වෙන්න පුළුවන්.


 

වැඩිපුර කාලයක් දැන් ගෙදරට වෙලා ඉන්නවා වගේ..?


මගේ ස්ටූඩියෝ එක තියෙන්නේ ගෙදර. ගෙදර ඉදලා සංගීත නිර්මාණ අධ්‍යක්ෂණය කරනවා. අලුත් ටෙලි නාට්‍යයක සංගීත අධ්‍යක්ෂණය කරන්නත් අවස්ථාව ලැබුණා. ඒ වැඩත් එක්ක ජීවත් වෙනවා. ඒ නිසා වැඩිපුර ඉන්නේ ගෙදර තමයි


 

රෑට ප්‍රසංගවලට ගිහිං උදේ පාන්දර ගෙදර ඇවිත් දවල් වෙනකල් නිදාගත්ත ආයේමත් ප්‍රසංගවලට සම්බන්ධ වුණු කාලයක් ඔබටත් තිබ්බද..?


ඔව්. එහෙම සුන්දර කාලයක් මටත් තිබ්බා. කොච්චර මහන්සි වුණත් ඒ ජීවිතේ වින්දා. ඉස්සර දවසට ෂෝ හතර පහ ගන්නවා. යන්නේ ට්‍රිප් යනවා වගේ. බිරියයි මායි හරි ආසයි ට්‍රැවල් කරන්න අපේ විනෝදාංශය ඒක. ඒ නිසා දෙන්නා එක්ක දරුවෝ හදන්න කලින් අපේ ජීවිතේ සැලසුමක් ඒක. වයස 30 වෙනකල් විනෝද වෙනවා කියලා. බිරිය එක්ක යන නිසා අමාරුව දැනෙන්නේ නැහැ.


 

විවාහයෙන් පස්සේ පවුල් ජීවීතේ කොච්චර කාලයක් මග ඇරිලා තියෙනවද..?


මග නොහැරුණු තරම් කිව්වොත් හරි. විදෙස් සංචාර සඳහාත් සම්බන්ධ වුණේ අපි දෙන්නා එකට. දැනුත් ගෙදර ඉදලා වැඩ කරන්නේ. පුළුවන් හැම ප්‍රසංගයකටම අපි හතර දෙනා යනවා. කොහේ ගියත් එකට. සුපර් මාර්කට් යන්නෙත් පවුල පිටින්. ඒක දැන් පුරුදු වෙලා


 

දරුවෝ දෙන්නා එක්ක ගෙවන ජීවිතේ කොහොමද ..?


හරිම සුන්දර යි. ලොකු පුතා ඒඩ්න් ලුක් අනුරාධ, වයස අවුරුදු පහ මාරයි පොඩි පුතා ජේඩ්න් ජෙක් අනුරාධ.


 

විදෙස්ගත වෙන්න හිතාගෙන නේද දරුවන්ට නම් තැබුවේ..?


දෙන්නගේ නම් අහපු ගමන්ම බොහෝ දෙනෙක් ඔය ප්‍රශ්නය මගෙන් අහනවා. නම් දාන්න එක අරමුණක් ඒක. අනිත් එක වෙනස් නම් වුණාම කතාබහට ලක් වෙනවා. ඒකයි.


 

රටේ ආර්ථිකය පවුලට බලපානවද..?


අපි විවාහ වුණේ අවුරුදු 25න්. මම හම්බ කරලා බිරියට සල්ලි ටික දෙනවා. දෙන්නම ඒක හරියට කළමනාකරණය කර ගන්නවා. අපි ප්ලෑන් කරා ඉඩමක් ගන්න. ඒක කළා. ඊට පස්සේ හිතුවා ඒ ඉඩමේ මේ කාලේ වෙනකොට ගේ හදලා ඉවර කරන්න. අපි හිටියේ රෙන්ට් එකට නිසා. හිතපු කාල සීමාවට කලින් ගේ හැදුවා. වාහනයක් ගත්තා. වාහනයක් ගත්තෙත් ගමන් පහසුවට මිසක් මිනිස්සු කරන නිසා නෙමෙයි. එතකල් ෂෝවලට ගියේ රෙන්ට් එකට වාහනයක් අරන්. මුල් කාලේ අපි දෙන්නා ගමන් බිමන් ගියේ බස් එකේ, කෝච්චියේ. දැන් රුපියල් 1000ක් වැඩිපුර තිබ්බත් කම්මැළි නොවි ගිහිං බැංකුවට දානව. ඒ පරිස්සම නිසා ලොකුවට ආර්ථික ප්‍රශ්න දැනෙන්නේ නැහැ . ප්‍රසංග අඩු වුණත් මම මගේ ඔක්ටෙව් විත් තීක්ෂණ අනුරාධ කියන සංගිත කණ්ඩායම පවත්වාගෙන යන නිසා ආර්ථික ප්‍රශ්න තේරෙන්නේ නැහැ


 

ගමෙන් ආව තීක්ෂණ දැන් ගමේ ජීවිතේ අමතක කරලද..?


ගම ගාල්ලනේ. යන්න පැයක දුරක් තියෙන්නේ හයි‍ෙව් එකෙන්. පුළුවන් හැම වෙලාවකම යනවා. බිරියගේ ගම වෙන්නප්පුව එහෙත් යනවා. කොළඹ ගෙවල් හැදුවා කියලා ඒ ජීවිතේ අමතක කරලා නැහැ


 

තීක්ෂණ ලොකු කට්ටක් කෑවා මේ තත්ත්වයට එන්න. දැන් ජීවිතේ සම්පුර්ණයි කියලා හිතනවද..?


හිතපු හැමදෙයක්ම කරන්න හිටපු කාලෙට කළා. දරුවෝත් හැදුවා. දැන් නම් නිදහසේ ජීවත් වෙනවා. රැල්ලට දිව්වොත් තමයි හති වැටෙන්නේ. එන එන වාහන ගන්න අම්මා තාත්තා උප්පත්තියෙන්ම සල්ලිකාරයෝ වෙන්න ඕන. මම එහෙම සල්ලිකාරයෙක් නෙමෙයි නේ. ඒ නිසා අරපිරිමැස්මෙන් ජීවත් වුණු නිසා ගොඩ ගියා.


 

දැන් බිරිය හිටියට කමක් නැහැ කියලා පෙම් පලහිලව්වල පැටලුණු අවස්ථා ඇතිනේ..?


කොහේ පැටලෙන්නද. ‍කාහේ ගියත් එයත් එක්කනේ යන්නේ.


 

ඇත්ත ද අනුරාධි..?


ඒක ඇත්ත කොහේ ගියත් යන්නේ පවුල පිටින් ගොඩක් වෙලාවට. එයාට තනියම සුපර් මාකට් ගිහිං එන්න බැහැ . අපිටත් කතා කරනවා යන්න එන්න කියලා.


 

කෙල්ලෝ එක්ක චැට් කරනවා අනුරාධිට අහු වෙලා නැද්ද අනුරාධි...?


නැහැ නේ. මොකද අපි දෙන්නම ෆේස්බුක් ලොග් වෙලා ඉන්නවා පාස්වර්ඩ් දන්නවා දෙන්නම. පවුලේ ෆොටෝස් දාන්නේ. එයාගේ තනි ෆොටෝස් දානවට වඩා වැඩි ලයික් කමෙන්ට් ප්‍රමාණයක් එනවා පවුලේ ෆොටෝස් ෂෝශල් මිඩියා දැම්මම. ඉස්සර ඉඳලා එයාට කෝල්ස් ආවම මම ගැනත් අහන රසික රසිකාවියන් එයාට ඉන්නේ. ආ පොඩ්ඩක් ඉන්න අක්කා ඉන්නවා කියලා මට ෆෝන් එක දීපු අවස්ථා ඕන තරම් තියෙනව. එයා නිතරම පවුලට මුල් තැන දුන්නු කෙනෙක්.ඒ නිසා එයා එහෙම කරන එකක් නැහැ කියලා හිතනවා


 හදිස්සියේ හරි කෙල්ලෙක් එක්ක චැට් කරලා අනියම් සම්බන්ධයක් ඇති කරගත්තොත් මොකද කරන්නේ….?


එයා එහෙම කරන්නේ නැහැ කියලා විශ්වාසයි.


 තීක්ෂණ ගායකයෙක් වෙන්න කලින් නේද ඔබට ඔහුව මුණගැහෙන්නේ, ජනප්‍රියත්වය පවුල් ජීවීතේට බලපායි කියලා හිතුවේ නැද්ද ..?


ඔව්. ක්ලාස් යද්දී තමයි මට එයාව හම්බෙන්නේ. මම LLB ඉගෙන ගන්න යනවා. එයා විශාකා එකේ ප්‍රැක්ටිස් ආවා. මම යාළුවෝ එක්ක විහාර මහා දේවී පාක් යනවා එයත් එනවා. හැමදාම දකිනවා ටික දවසක් යද්දී අපි හැමෝම යාළුවෝ වුණා . එයාගේ හිතේ කාලයක් මම ගැන හිතිලා තිබිලා දවසක් එයාගේ යෝජනාව කිව්වා. මම කල් ගත්තා 2006 අප්‍රෙල් 7 මම එයාට කැමති වුණා. ඊට පස්සේ 2010 නොවැම්බර් 22 විවාහ වුණා . තවම යාළුවෝ වගේ ජීවත් වෙනවා. එහෙම එයාගේ ජනප්‍රියත්වය පවුලට බලපායි කියලා කවදාවත් බය වුණේ නැහැ . මොකද මම එයාව අඳුරගත්තේ එයා ජනප්‍රිය වෙන්න කලින්නේ.


 

බොහෝ ජනප්‍රිය තරු විවාහයට තෝරා ගෙන තිබෙන්නේ තරු වෙන්න කලින් හිටපු පෙම්වතිය හෝ පෙම්වතාවමයි..?


ඒකට හේතුව විදිහට මම දකින්නේ දැන් ඉන්න බොහෝ දෙනෙක් ආදරේ කරන්නේ තරුව ඇතුළේ ඉන්න සෑබෑ චරිතයට නෙමෙයි ජනප්‍රිය කමට හෝ සල්ලිවලට. මම ආදරේ කරන්නේ මට මුලින් මුණගැහුනු තීක්ෂණට මිසක් පස්සේ ජනප්‍රිය වුණු චරිතයට නෙමෙයි . ඒක තීක්ෂණත් දන්නවා. දැන් ආදරේ කරා නම් විවාහ කරගත්තා නම් එයාට වුණත් හිතෙන්න පුළුවන් මෙයා මාව බැන්දේ මගේ සල්ලි වලට හෝ ජනප්‍රියත්වය‍ට කියලා . එහෙම හිතෙන එක සාමාන්‍ය දෙයක් . නමුත් තීක්ෂණ ට එහෙම හිතන්න ඉඩක් නැහැ . ජීවිතේ සාර්ථක වෙන්න ඒකත් හේතුවක් වෙන්න පුළුවන්


 

හස්බන්ඩ්ට නීතී ගොඩක් දානවා කියලා ආරංචියි, දාලා යයි කියන බයටද එච්චර ආරක්ෂා කරන්න උත්සාහ කරන්නේ..?


පොඩි පොඩි නීති දාන්නේ මම හරියට බබාලා තුන් දෙනෙක් බලාගන්නවා වගේ. තීක්ෂණගෙන් තමයි අමාරු. ඇඳුම් ගැලෙව්වොත් ඒක එතන පිළිවෙළක් නැහැ කියලා තමයි කෑගහන්නේ. ලොකු රණ්ඩු නම් වෙන්නේ නැහැ. ආරක්ෂා කර ගන්න දෙයක් නැහැ. එයා මගේම වෙලා ඉවරයිනේ.


 

තීක්ෂණ මේ තත්ත්වයට එන්න ඒ කාලේ ගොඩක් මහන්සි වුණා , ආර්ථික ප්‍රශ්න එද්දී හා ඔහු සංගීතය පස්සේ දුවද්දී හිතුණේ නැද්ද සාමාන්‍ය කෙනෙක් විවාහ කර ගත්තා නම් කියලා?


කොහෙත්ම නැහැ. කොච්චර කාර්යබහුල වුණත් මාත් එක්කමයි තීක්ෂණ හිටියේ, මාව තනි කළේ නැහැ කවදාවත්. ඒ නිසා මට එහෙම හිතුණෙම නැහැ.


 

ඔහුගේ කැමති ම ගීතය මොකක්ද, කැමති වෙන්න හේතුව ..?


සඳ පිනි දියේ ගීතය. ඒකේ පද වගේම රූප රචනාව ලස්සනයි . අකමැති ගීතය බෝඩිම. මට ඒක අහන්න හිතෙන්නේම නැහැ . ඒක එයාට මම කෙළින්ම කිව්වා.


 

ඔහුත් එක්ක ගෙවන දැන් ජීවිතේ ගැන මතක් කරලම මේ කතාබහට සමු දෙමු..?


එදා වගේමයි වෙනසක් නැහැ. එයා හොඳ තාත්තා කෙනෙක්. ඒ වගෙම හොඳ හස්බන්ඩ් කෙනෙක්. කවදාවත් අපි දෙන්නගේ ප්‍රශ්න වලට තුන් වැන්නෙක් එකතු කර ගත්තේ නැහැ. අපේ අම්මාවත් අපි අතර තියෙන ප්‍රශ්න දන්නේ නැහැ. කියන්නේ නැහැ අපි දෙන්නම කතාබහ කරලා විසඳ ගන්නවා. එයත් එහෙමයි. මම ගැන හෝ එයා ගැන තව කෙනෙකුට කිව්වා නම් වෙන්නේ පවුලත් කැඩෙන එක තමයි. පවුල් කැඩෙන්න ඒක තමයි මූලික හේතුව. ඒක අපි අවබෝධ කරගෙන සතුටින් ජීවත් වෙනවා. තරහා වෙනවා යාළු වෙනවා. රණ්ඩු වෙනවා. ඒ හැමදේම පොඩි වෙලාවක ට විතරයි. ඒ නිසා ජීවත් වෙනවා කියලා දැනෙනවා.


 





Previous Post Next Post