එයා මටවත් මං එයාටවත් සීමා දාගෙන ජීවත් වෙන්නෙ නෑ - මියැසි සන්දීපනී




මියැසි සන්දීපනී හීන දැක්කේ ගායිකාවක් වෙන්න. නමුත් ඇයට රංගන ශිල්පිනියක් වෙන්න දොරගුළු විවර වෙන්නේ අහම්බයකින්. ඒ අහම්බය මේ වන විට ඇයව බොහෝ දුර ගෙනවිත්. මේ දිනවල මල් පිපෙන කාලේ, ගඟන පියවර ටෙලි නිර්මාණවලින් ප්‍රේක්ෂකයන්ට සමීප වෙන ඇයටයි මේ ඉඩ.


 

මියැසි මේ දවස්වල කාර්යබහුල වෙලාද?


මේ දවස්වල ටෙලි නාට්‍ය දෙකක රූගත කිරීම්වලට එකතු වෙලා ඉන්නවා. මල් පිපෙන කාලේ නාට්‍යයේ සමුදිනි සහ ගඟන පියවර නාට්‍යයේ හිරු කියන චරිත දෙකෙන් තමයි ප්‍රේක්ෂකයන්ට මාව මුණ ගැහෙන්නේ.


 

වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ මොන නිර්මාණය වෙනුවෙන්ද?


මල් පිපෙන කාලේ නාට්‍යයේ මගේ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඒ තරම් ප්‍රතිචාර ලැබෙයි කියලා බලාපොරොත්තු නොවුණට කොහේ ගියත් බන්ටිගේ අක්කා නේද කියලා ගොඩක් අය අහනවා. ඒ ප්‍රතිචාර ගැන ගොඩක් සතුටුයි.


 

ඔබ එකම චරිත ස්වභාවයකට කොටු වෙලාද?


මට ගොඩක් වෙලාවට ලැබෙන්නේ එකම වගේ චරිත. බටහිර පන්නයට හුරු චරිතවලට තමයි මේ දවස්වල වැඩිපුර ආරාධනා ලැබෙන්නේ. මම කරලා තියෙන ෆොටෝ ෂූට් නිසා වෙන්න ඇති ඒවගේ චරිතවලටම ආරාධනා ලැබෙන්නේ. කොහොම වුණත් මම ලැබෙන චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට ගිහින් තියෙනවා.


 

ගායිකාවක් වෙන්න හිටපු මියැසි රංගන ශිල්පිනියක් වුණේ අහම්බයකින් නේද?


මට රංගන ශිල්පිනියක් වෙන්න අදහසක් තිබ්බෙම නෑ. හැබැයි මට පොඩි කාලේ ඉදන් සිංදු කියන්න පුළුවන්. මගේ අම්මත් හිතන් හිටියේ මම ගායිකාවක් වෙයි කියලා. කොහොම හරි ඒ බලාපොරොත්තුව වෙනුවට රංගන ශිල්පිනියක් වෙන්න තමයි මට අවස්ථාව ලැබුණේ. දැන් මම අවුරුදු හතක් විතර වෙනවා මේ ක්ෂේත්‍රයට ඇවිත්.


 

එතකොට ගායිකාවක් වීමේ බලාපොරොත්තුවට මොකද වුණේ?


කිහිප සැරයක්ම උත්සාහ කළා මගේම ගීතයක් කරන්න. ඒත් රටේ තිබ්බ ප්‍රශ්න එක්ක ඒ අදහස මගහැරුණා. ඉදිරියෙදී නිර්මාණයක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා. ඒ ගායිකාවක් වෙන්නම අදහසින් නෙමෙයි. මගේ ආසාවට තමයි ගීතයක් කරන්න හිතාගෙන ඉන්නේ.


 

රංගන ක්ෂේත්‍රය තුළ අවස්ථා ලබා ගන්න ලොකු තරගකාරීත්වයක් තියෙනවා. ඔබටත් ඒ තරගයට මුහුණ දෙන්න සිදු වෙලා ඇති?


අලුත් අය ක්ෂේත්‍රයට එද්දි තරගකාරීත්වය වැඩි වෙනවා. ඒක ඇත්ත. මම කාලයක් ක්ෂේත්‍රයේ වැඩ කරපු නිසා මාව නිර්මාණකරුවන්ගේ මතකයේ තියෙනවා. මම අවුරුදු දෙක තුනක් පෞද්ගලික හේතුවක් නිසා රංගන කටයුතුවලින් ඈත් වෙලා හිටියා. නමුත් ආපහු මම වැඩ කරන්න ගත්තා. මම මෙතෙක් වැඩ කළ නිර්මාණකරුවෝ වුණත් අලුත් නිර්මාණයක් කරද්දි මට කතා කරනවා. අද වෙනකල් මට වැඩ ලැබිලා තියෙනවා. මම හම්බුණ වැඩ කරගෙන හිටියා. තරගකාරිත්වය ඇතුළේ මට ප්‍රශ්නයක් වෙලා නෑ තවම.


 ඒ කියන්නේ මියැසිට තිබෙන ඉල්ලුම ගැන සතුටුයි කියන එක නේද?


ඔව්. මම දැනට ටෙලි නාට්‍ය දහයකට විතර සම්බන්ධ වෙලා තියෙනවා. මගේ ගමනේ ලොකු හදිසියක් නෑ. ලොකු ලොකු ටාගට් නැති නිසා ලැබෙන දේවල් ගැන මම තෘප්තිමත්.


 

විවිධ අරමුණු තියාගෙන රංගන ක්ෂේත්‍රයේ වැඩ කරන පිරිසක් අපි දකිනවා. ඔබට කිසිම අරමුණක් නැතිවෙන්න බැහැ?


මම කැමැතියි කවදාහරි මගේ රංගනය වෙනුවෙන් සම්මානයක් ලබන්න. අඩුම තරමේ සම්මානයකට නිර්දේශ වෙන්න. හැබැයි ඒ තැනට යන්න පුළුවන් තරමේ මගේ දක්ෂතාවය පෙන්වන්න පුළුවන් වැඩක් මට තවම ලැබුණේ නැහැ. ලොකු ලොකු අරමුණු තියාගෙන වැඩ කරන්න මම කැමැති නැහැ. මොකද ඒ දේවල් ඉෂ්ට නොවුණොත් දුකයි.මම කාලයක් රංගනය නතර කරලා වෙන වෘත්තියක් කළා. නමුත් රංගනය මම ආස කරපු දේ නිසා ආයෙත් රංගනයට ආවා. ආත්ම තෘප්තියට තමයි මම වැඩ කරන්නේ.


 

මියැසි විදේශගත වෙන අදහසක ඉන්නවා කියන්නෙත් ඇත්තද?


එහෙම අදහසක් තියෙනවා. හැබැයි ඒක කවදා කොහොම වෙයිද කියලා හිතලා නෑ. මොකද එක වැඩක් ඉවර කරලා යන්න හිතද්දී තව වැඩක් කරන්න ලැබෙනවා. ඉදිරියෙදි කොයි විදිහට මගේ සැලසුම් ක්‍රියාත්මක වෙයිද කියලා බලනවා. කොහොම වුණත් සැලසුම් කිහිපයක්ම තියෙනවා. සුදුසු විදිහට ඒ දේවල් වෙයි කියන විශ්වාසය තියෙනවා.


 

ඔබ දැන් පෙම්වතියක්. පෙම්වතා ගැන කියන්න අකැමැති නෑ නේද?


මගේ පෙම්වතා චතුරංග කොඩිතුවක්කු. අපි දෙන්නා එකට වැඩ කරපු නිර්මාණයකින් තමයි මුණගැහුණේ.


 

චතුරංග එක්ක දීග යන දවස ළඟයිද?


විවාහය නම් දැන්ම වෙන්නේ නෑ. ඒ වෙන දෙයක් නිසා නෙමෙයි .චතුරංග සහ මම ස්ථාවර වෙලා ඉන්න ඕනේ හැමදේටම කලින්. ඊට පස්සේ තමයි විවාහය ගැන හිතන්නේ.


 පෙම්වතා ඔබට සීමා මායිම් දාලා නැද්ද?


රංගන ක්ෂේත්‍රයේම ඉන්න කෙනෙක් නිසා එයාට හොඳ තේරුම් ගැනීමක් තියෙනවා. එයා මට සෑහෙන උදවු කරනවා. එයා මටවත් මං එයාටවත් සීමා දාගෙන ජීවත් වෙන්නෙ නෑ.





 

Previous Post Next Post