දික්කසාද වෙන්න බැරි නිසා හොඳම කෙනා හෙව්වා - තරුෂී පෙරේරා



තරුෂී පෙරේරා, ඒ නම වගේම ඇයත් අහිංසකයි. පුංචි තිරය ආක්‍රමණය කරගෙන ඉන්නෙත් දඩබ්බර නැති අහිංසක චරිත වලිනුයි. නීල පබළු හා දෙවැනි ඉනිම නාට්‍යවල මේ දිනවල ඇගේ රංගනය දැක ගන්න ලැබෙනවා, ඒ නිසා අහිංසක අම්මාගේ චරිතයට පණ පොවන ඇය ගැන කතා කරන්න ඇයව කතාබහකට එකතු කරගත්තා.


කොහොමද ජීවිතේ අලුත් තොරතුරු තරුෂී..?


නීල පබළු හා දෙවැනි ඉනිම කියන අතිශය ජනප්‍රිය නාට්‍ය දෙකේ වැඩ කරගෙන අලුත් වැඩකට අත ගහන්න බලාගෙන ජීවිතේ ගෙවනවා.


විවාහයෙන් පස්සේ ලොකු දුලා ඉන්න අම්මාගේ චරිත වැඩිපුර ලැබෙනවා වගේ..?


පුතා ලැබෙන්න ඉන්නකොට මම ටිකක් මහත් වුණා, පුතාගේ පෝෂණය ගැන හිතලා මම ඩයට් කළේ නැහැ. ඒ දවස්වල ඇඟ ගැන නොහිතා හොඳට කෑවා. ඒ ජීවිතේ වෙනස් කරගන්න මට අවශ්‍ය වුණෙත් නැහැ, ඊට පස්සේ තමයි ඔය චරිත දෙක ලැබුණේ. ඉතිං කැමැත්තෙන් භාර ගත්තා. ඊට පස්සේ මොන හේතුවකටද මන්දා ඒ වගේ චරිත තමයි ලැබුණේ.


සැබෑ පෙනුමට වඩා ඔබ තිරයට වෙනස්..?


ඉස්සර අධ්‍යක්ෂවරුත් කියනවා මම කැමරාවට පිරිච්ච චරිතයක් කියලා. ළඟට මම ලොකුවට මහත නැහැ. නමුත් කැමරාවට මහතයි. එහෙම නිළියෝ කිහිප දෙනෙක්ම ඉන්නවා.


සාමාන්‍ය ගමන් බිමන් යන්නෙත් මේකප් දාලද..?


අයි ලයින් එකයි ලයිට් ලිප්ස්ටික් විතරයි පාවිච්චි කරන්නේ. මම මේක්අප් දාන කෙනෙක් නෙමෙයි සාමාන්‍ය තැන්වලදි


එහෙම හඳුන ගන්න පුළුවන් ද..?


හොඳට මාව හඳුනගන්න පුළුවන්. මේකප් නැතත් කිසි වෙනසක් නැහැ.


ඔබේ පුතා ඔබේ විලාසිතා ගැන සැලකිලිමත් කියන්නේ ඇත්තද..?


මගේ පුතා අකේන් තෙන්නකෝන්, වයස 7යි. මගේ සැමියා සුමේධ. මේ දෙන්නා තමයි මට වඩා මගේ ලස්සන ගැන හිතන්නේ. පුතාට ඕන මගෙන් චාම් ලස්සනක් දකින්නයි. මේකප් ලයිට් එකක් හරි දාන්නත් ඕන. දෙන්නම එහෙමයි. පුතාට හොඳ ඇහැක් තියෙනවා


සැමියා අකමැත්තෙන් ඔබේ ස්වකැමැත්තෙන් නේද තවම රඟපාන්නේ..?


සුමේධ ඩුබායි බැංකුවක වැඩ කරන්නේ. ඉතිං මම විවාහයට පස්ස ගහපු කාලෙක තමයි එයාගෙ පාර්ශ්වයේන් විවාහ යෝජනාවක් එන්නේ. මම හරියට වැරදි හොයපු කෙනෙක්. දික්කසාද වෙන්න බැරි නිසා හොඳම කෙනා හෙව්වා. ඒ කාලේ සුමේධට මගෙත් හිත ගියා. අපි කැමති වෙලා මාස දෙකෙන් විවාහ ගිවිස ගත්තා. මාස හයෙන් විවාහ වුණා .


එයා ටිකක්වත් කැමති නැහැ මම රඟපානවට. මුලදි කමක් නැහැ කිව්වට විවාහ වුණාට පස්සේ එපා කිව්වා. මට හොඳම චරිත ලැබුණු නිසා භාර ගත්ත චරිත නොකර ඉන්න ලෝබ හිතුණා. ඊට පස්සේ පුතා ලැබෙන්න හිටපු නිසා ටිකක් නිහඬව හිටියා. නමුත් මම රඟපාන්නේ නැහැ කියලා කිව්වේ නැහැ. ඊට පස්සේ තමයි නීල පබළු ලැබුණේ අකමැත්තෙන් කැමැත්ත අරන් කරනවා.


සැමියා විදෙස්ගත වෙලා ඉන්න නිසාත් ඔබ ජනප්‍රිය තරුවක් නිසාත් අයුතු යෝජනා එනවා ඇති..?


ගැහැනු පිරිමි භේදයකින් තොරව මම මිනිස්සු ආශ්‍රය කරනවා. ඒ වගේ යෝජනා නැහැ කිව්වොත් ඒක බොරුවක්. එහෙම එන යෝජනා සියල්ල කපා හරිනවා. කෙළින්ම කිව්වොත් නම්බර් එක පවා බ්ලොක් කරනවා. මම නිදහසේ ඉන්න කැමති කෙනෙක්. අනවශ්‍ය ප්‍රශ්න දාගන්නේ නැහැ


ආදරයට යෝජනා ..?


එනවා. ඒක සමාන්‍ය දෙයක් . නමුත් තව කෙනෙක්ගේ හැඟීම් මට නතර කරන්න බැහැ. ඒක හොඳ ද නරකද කියන්න මම දන්නේ නැහැ. නමුත් මම ඒවාට ප්‍රතිචාර දක්වන්නේ නැහැ.


සැමියා සැක කරන්නේ නැද්ද ..?


මුලදි සැක කළා. ඒක සැකයක්ම නෙමෙයි, එයාට මාව නැති වෙයි කියන බය වෙන්න ඇති. දැන් එයා දන්නවා එයාට මාව නැති වෙන්නේ නැහැ කියලා. ඒ නිසා පාඩුවේ ඉන්නවා.


රණ්ඩු නොවෙන පවුල් හොයන්න බැහැ කියලා කතාවක් තියෙනවා නේ..?


අපි දෙන්නත් රණ්ඩු වෙනවා. ඇත්තටම කිව්වොත් එයා නෙමෙයි මම. එයා රණ්ඩු කරන්නේ අපේ ආරක්ෂක ප්‍රශ්නවලට විතරයි. මම එහෙම නෙමෙයි. අනිත් එක එයා එකටඑක කරන්නේ නැහැ. මම තරහා වුණොත් එයා කොහොම හරි මාව යාළු කරගන්නවා. ඒ නිසා අපි හරි සතුටින් ආදරෙන් ජීවත් වෙනවා . ඒ ජීවිතේ මොන ප්‍රශ්න තිබ්බත් විඳිනවා.





Previous Post Next Post