මම රංගන ශිල්පිනියක් වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි - උදාරි වර්ණකුලසූරිය




උදාරි වර්ණකුලසූරිය සිනමාව හා පුංචි තිරය තුළ තමන්ගේ හැකියාව පෙන්නුම් කළ දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇයගේ රංගන හැකියාවට සම්මානනීය වටිනාකම් ලබා ගන්නත් ඇය සමත් වුණා. රංගන ශිල්පිනියක් වෙන්න හීන නොදැක්කත් ඇය සොයා ගත්ත මාවත ඇයට ගමන වැරැද්දුවේ නෑ.


 

පහුගිය කාලේ ලංකාවේ හිටියේ නැති ඔබ තකහනියේ ලංකාවට ආවේ විශේෂ හේතුවකටද?


මම මාස දහයක් විතර ලංකාවේ හිටියේ නෑ. ඒ කාලේ මම හිටියේ මගේ සැමියයි දුවයි එක්ක සිංගප්පූරුවේ. හැබැයි ඒ අතරමැද්දේදි මම ලංකාවට ඇවිත් ගියා. මේ සැරේ නම් මම ලංකාවට ආවේ පෞද්ගලික හේතුවක් නිසා.


 

ඔබ ලංකාවට ආවේ අසනීපයෙන් පසුවන ජැක්සන් ඇන්තනී බලන්න කියලා කියන කතාව ඇත්තද?


මම කලින් සැරේ ලංකාවට ආවේ නම් ජැක්සන් ඇන්තනී මහත්මයාව බලන්නත් එක්ක. පළවෙනි ශල්‍යකර්මයෙන් පස්සේ එතුමාගේ සිහිය තිබ්බා. කතාබහ කළා. හැබැයි දෙවැනි ශල්‍යකර්මයෙන් පස්සේ එතුමා අසාධ්‍ය වෙලා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළා කිව්වාම එතුමා බලන්නත් එක්ක තමයි මම කලින් සැරේ ලංකාවට ආවේ. හැබැයි දැඩි සත්කාර ඒකකයේ හිටපු නිසා මට එතුමාව බලන්න ලැබුණේ නෑ. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ පවුලේ අය කියන්නේ මගේ පවුලේ අය වගේ. මම ඔවුන්ගේ ගෙදරට ගිහින් ඔවුන් සමඟ දුක බෙදාගත්තා. ජැක්සන් ඇන්තනී මහත්මයා කියන්නේ මගේ රංගන ජීවිතයේ පියා. මම නොදැකපු මගේ රංගන පරාසයන් පෙන්වලා දුන්නේ එතුමා. ඔහු තුළ මහ දැනුම් සම්භාරයක් තියෙනවා. එතුමා සිනමාවෙන් හරි අඩක් කිව්වොත් මම නිවැරදියි.


 

මේ සැරේ ලංකාවට ආවේ අලුත් නිර්මාණවලට සම්බන්ධ වෙන්න බලාගෙන නෙමෙයිද?


මට අලුත් නිර්මාණවලට ආරාධනා ලැබුණා. ඒ නිර්මාණවල පූර්ව නිෂ්පාදන කටයුතු තවම කෙරෙමින් තිබෙන්නේ. ඒ නිසා අලුත් වැඩකට සම්බන්ධ වෙන්න ලැබුණේ නෑ. හැබැයි මම සම්බන්ධ වුණ චිත්‍රපට අටක් තිරගත වෙන්න තියෙනවා. ජැක්සන් ඇන්තනි මහත්මයාගේ එකගෙයි සොකරි සහ දේවි සම්බුලා. ඒ වගේම දේවි සම්බුලා චිත්‍රපටයේම ඉංග්‍රීසි චිත්‍රපටය වන සම්බුලා චිත්‍රපටයත් තිරගත වෙන්න තියෙනවා. මම සම්බන්ධ වුණ පළවෙනි ඉංග්‍රීසි චිත්‍රපටය තමයි සම්බුලා කියන්නේ. ඒ වගේම සංජීව පුෂ්ප කුමාරගේ ආසු, සරත් වීරසේකරගේ ශ්‍රී සිද්ධා, සුනිල් ආරියරත්න සර්ගේ ක්ෂීර සාගරය කැලඹිණ කියන චිත්‍රපටත් ඉදිරි වසරේ තිරගත වෙන්න තියෙනවා.


 

රංගනයෙන් ටික කාලයකට නිවාඩු ගන්න තීරණය කළේ ජීවිතයේ විශේෂ ඉඩක් වෙන් වෙලා තියෙන කෙනෙක්ගේ ඉල්ලීමක් නිසා කියන්නේ ඇත්තද?


කොරෝනා කාලේ මම එකදිගට අවුරුදු එක හමාරක් විතර දුවගෙනුයි සැමියාගෙනුයි ඈත්වෙලා හිටියා. ඒ සිංගප්පූරුවට යන්න ආගමන විගමන බාධා තිබ්බ නිසා. ඒ කාලේ මම රංගනයට කාලය වෙන් කරලා ලංකාවේ හිටියා. වසරකට වැඩි කාලයක් පවුල මඟහැරිලා තිබ්බ නිසා දුව කිව්වා අවුරුද්දක් එයාලත් එක්ක ඉන්න කියලා. ඒ නිසා මම දුවයි සැමියයි එක්ක සිංගප්පූරුවේ හිටියේ.


මම විවාහ වෙලා අවුරුදු පහළොවක් වෙනවා. මගේ දුවට දැන් අවුරුදු දහයයි. මම මූලිකත්වය දෙන්නේ මගේ පවුලට. වෘත්තීමය කටයුතු මම දෙවැනි තැන තියලා තියෙන්නේ.


ලංකාවේ කලා ශිල්පීන්ගේ ශිල්පිනියන්ගේ පවුල් ජීවිත සාර්ථක නෑ කියලා බොහෝ දෙනෙක් කියනවා. හැබැයි උදාරි ඒ මතය වෙනස් කරන්න වෙහෙසෙනවා වගේ?


පවුල් ජීවිතයයි වෘත්තීමය ජීවිතයයි සමබරව පවත්වා ගෙන යන්න බැරි නැහැ. තාවකාලික ආසාවන්වලට වහල්වෙලා මොහොතකට එන හැඟීම් පාලනය කරගන්න බැරුව තමන්ගේ ජීවිතය වගේම පවුල් ජීවිතය විනාශ කරගන්න පෙලඹෙන බහුතරයක් ඉන්නවා. තමන්ට හොඳ ආත්ම ශක්තියක් තියෙනවා නම්, තමන් සහ තමන්ගේ වටපිටාව ගැන හරි අවබෝධයක් තියෙනවා නම් තමන්ට වැරැදි නොකර හරි විදිහට කොන්ද පණ තියාගෙන ජීවත් වෙන්න පුළුවන්. නිළියක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම නිළියක් වෙන්න කැමැති දරුවෝ ඉන්න අම්මලා තාත්තලාට මං කියන්නේ මේක භයානක වෘත්තියක් නෙමෙයි. තමන්ට හොඳ ආත්ම විශ්වාසයක්, පෞර්ෂයක් තියෙනවා නම්, ඔළුව කෙළින් තියන් වැඩ කරන්න පුළුවන් කලා ක්ෂේත්‍රයේ. ඒ වගේම අපිට අපිව විනාශ කරගන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන්.


 

දිගටම සිංගප්පූරුවේ කාලය ගත කරන්න කියලා සැමියා උදාරිට කියලා නැද්ද?


මගේ සැමියා හරි අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක්. එයා කවදාවත් මට රඟපාන්න එපා කියලා නැහැ. ඔහුගේ ශක්තිය මට නොතිබුණා නම් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගෙන අවුරුදු පහළොවක් මට සාර්ථක නිර්මාණ කරමින් මේ ක්ෂේත්‍රයේ ඉන්න ලැබෙන්නේ නෑ. මගේ සැමියා මට පුදුම මානසික සුවයක් දීලා තියෙන්නේ. ඒ මානසික සුවය නැත්නම් ක්ෂේත්‍රය තුළ නිරවුල් මනසක් තියාගෙන මට වැඩ කරන්න ලැබෙන්නේ නෑ. ඔහු වෛද්‍යවරයෙක්. එයාගේ යහළුවොත් එයාට විහිළුවට කියන්නේ සෙලිබ්‍රිටි ඩොක්ටර් කියලා.


 

බිරියක්, මවක් කියන තනතුරු ඇතුළේ ඔබ දාගත්ත සීමා තියෙනවද?


ඔව්. මම බිරියක්, මවක් වගේම ශ්‍රී ලාංකික ගැහැනියක්. මම ලංකාවේ සහ සිංගප්පූරුවේ ජීවත් වුණත් මම ඉන්නේ මගේ දුවයි සැමියයි එක්ක. අපිට සංස්කෘතියක්, සදාචාරයක් තියෙනවා. අපි හැදිච්ච පරිසරයක් තියෙනවා. අපිට ඒවා ගැනත් හිතලා වැඩ කරන්න වෙන්නේ. මට වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රඟපාන්න අවස්ථාව ලැබුණොත් මම ඒක භාරගන්නේ නෑ. ඒවගේ චරිත නොකර ඉන්න එක මගේ ප්‍රතිපත්තියක්.


 උදාරිට සැමියාගෙන් උපරිම නිදහසක් ලැබිලා තියෙනවා?


අනිවාර්යයෙන්ම. අවුරුදු පහළොවක්ම හිතේ සැනසීමෙන් වැඩ කළේ ඒ නිදහස නිසා.


 

ඔබ හොඳම නිළිය ලෙස සම්මානනීය ඇගයුම් පවා ලබා තිබියදි සමහර චරිත ප්‍රතික්ෂේප කරන්න ලෝබකමක් දැනිලා නැද්ද?


එහෙම ලෝබකම් දැනුණ අවස්ථා තියෙනවා. හැබැයි නිර්මාණයේ මොන තරම් වටිනාකමක් තිබ්බත් මගේ ප්‍රතිපත්ති නිසා මම සමහර වැඩ අතහැරලා තියෙනවා. සල්ලිවලට වඩා මගේ ප්‍රතිපත්ති වටින නිසා ප්‍රතිපත්තිවලට පිටින් යන දේවල් අතහරින්න මම දෙපාරක් හිතන්නේ නෑ


 

සැමියා හොඳ වෘත්තීමය පසුබිමක් හදාගෙන තියෙද්දි උදාරි ඔහුගෙන්ම යැපෙන්න උත්සාහ නොකර ඔබටත් වෘත්තිමය පසුබිමක් නිර්මාණය කරගෙන තිබෙනවා. ගැහැනියක් එහෙම වෘත්තීමය පසුබිමක් හදාගත යුතුමද?


ගැහැනියක් පිරිමියෙක් කියන බෙදීම නැතුව


ඕන කෙනෙක් තමන්ගේ ආර්ථික සුරක්ෂිතකම හදාගත යුතුයි. කිසිම කෙනෙක් අම්මට තාත්තට, ඊට පස්සේ සැමියට, දරුවන්ට ඒවගේම රටට ලෝකයට බරක් නොවී පොළොවේ පය ගහලා ඉන්න පුළුවන් විදිහට තමන්ගේ ආර්ථික ශක්තිය හදාගත යුතුයි. අපි කිසිම වෙලාවක අපිව අපහසුතාවයට පත්වෙන විදිහට ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. මම කොහොමත් වෘත්තියක් කරන්න කැමැති කෙනෙක්. මම රංගන ශිල්පිනියක් වෙන්න හිටපු කෙනෙක් නෙමෙයි. මට පොඩි කාලේ අවශ්‍ය වුණේ හෙදියක් වෙන්න. ඒ ඇඳුමට තියෙන ආසාවට. මගේ තාත්තා තමයි මාව රංගන ක්ෂේත්‍රයට එන්න පෙලඹුවේ. මගේ අම්මා ගුරුවරියක්. ඇයට ඕන වුණේ මට හොඳ අධ්‍යාපනයක් දීලා වෘත්තීමය වශයෙන් මාව හොඳ තැනකට ගේන්න. ගැහැනු දරුවෙක් ගෙදරටම සින්න වියයුතු නැහැ කියන තැන මගේ අම්මා හිටියේ. මමත් ඒ මතයේ ඉන්නේ. කොහොම වුණත් මම රංගනය වෘත්තිය කරගත්තට පස්සේ මම විවාහ වෙනකල්ම මගේ අම්මා මගේ සෙවණැල්ල වගේ හිටියා.


 

ඔබේ දුව ඔබ රංගන ශිල්පිනියක් වීම ගැන ආඩම්බර වෙනවාද?


දුව ඇත්තටම මං ගැන ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා. එයා දැන් අධ්‍යාපනය ලබන්නේ සිංගප්පූරුවේ. එයා ඉස්කෝලේ ගිහින් යහළුවන්ට කියන්නේ මගේ අම්මා සෙලිබ්‍රිටි කෙනෙක් කියලා. එයාගේ අම්මා රංගන ශිල්පිනියක් කියන එක එයා කියන්නේ ආඩම්බරයෙන්. දුව මම සම්බන්ධ වෙන නිර්මාණත් ආසාවෙන් බලනවා.


 

දුව කලාවට නැඹුරුද?


එයා චිත්‍ර අඳිනවා, ගීත ගායනා කරනවා.


 

දුව කවදා හරි කලාවට එන්න ආස වුණොත් උදාරිගේ අකැමැත්තක් නැද්ද?


දුව මොන ක්ෂේත්‍රය තෝරා ගත්තත් එයාට මට වඩා ඉහළට යන්න මම හැමදාම උදවු කරනවා. මඟ පෙන්වනවා. කොහොම වුණත් එයා අනාගතයේ කවුරු වුණත් මට ඕනේ රටට ලෝකයට බරක් නොවී සමාජයට වැඩදායී කෙනෙක් විදිහට එයාව හදන්න.


 

උදාරි කියන්නේ ඔබේම කියලා කවුරුවත් ක්ෂේත්‍රයේ නැතුව රංගනයට ඇවිත් තමන්ගේ ස්ථාවරය හදාගත්ත කෙනෙක්. ඇත්තටම ඔබට ක්ෂේත්‍රයේ රැකෙන්න, තමන්ව රැකගන්න අපහසු වුණ තැන් තිබිලම නැද්ද?


ඇත්තටම එහෙම මම අනාරෂිතයි කියලා දැනුණ තැන් නැහැ. මාව අමාරුවෙන් රැකගන්න සිදු වූ තැන් නැහැ. ඒක මගේ පිනක්, වාසනාවක්, භාග්‍යයක් විදිහට මම දකින්නෙ.


 

ඔබ රංගනය වෙනුවෙන් චරිතයක් වෙනුවෙන් උපරිම කැපවෙන කෙනෙක් නේද?


මම නිර්මාණයක් භාරගත්තොත් ඒ නිර්මාණයට, මම කරන චරිතයට සියයට සියයක සාධාරණයක් කරන්න උත්සාහ කරනවා. මම හිතන්නේ ඒ සාධාරණය කරන නිසා තමයි අධ්‍යක්ෂවරු මාව වැඩවලට සම්බන්ධ කරගන්නේ සහ මම ක්ෂේත්‍රයේ මේ තැන ඉන්නේ.


 

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත කළ කාලය ගැන තෘප්තිමත් වෙනවද?


අනිවාර්යයෙන්ම. මේ වෙනකල් කරපු හැම නිර්මාණයකින්ම මගේ දක්ෂතා එළියට ආවා. ඉදිරියෙදි තිරගත වෙන්න තිබෙන චිත්‍රපට අට තුළත් මගේ මෙතෙක් නොදුටු දක්ෂතා රැඳිලා තිබෙනවා කියලා මම විශ්වාස කරනවා. ඉදිරියටත් මව, බිරිය, පෙම්වතිය කියන සාමාන්‍ය චරිතවලින් ඔබ්බට ගිහින් මගේ රඟපෑමේ පරාසය පෙන්වන්න පුළුවන් චරිත කරන්න මම කැමැතියි. ආසු චිත්‍රපටයෙදිත් මට ඒවගේ චරිතයක් ලැබුණා. එහි මම නිරූපණය කරන්නේ කරු ජයසූරිය මහත්මයාගේ නැතිවුණ දුවගේ චරිතය. ඇය පිළිකා රෝගයකින් පෙළුණ කෙනෙක්. මරණයට සුබවාදිව ලෑස්තිවුණ මවක්. එවැනි සුවිශේෂි චරිතවලින් ප්‍රේක්ෂකයන් අතරට එන්න මම කැමැතියි.


 

දැන් ටෙලි තිරයෙන් ඈත් වෙලාද?


නැහැ. මම මෙගා නාට්‍යවලට සම්බන්ධ වෙන එක ටික කාලයකට නැවැත්තුවා. මෙගා නාට්‍ය භාර ගත්තොත් මට ඒවායේ රූගත කීරීම්වලට නිතර ලංකාවේ රැඳිලා ඉන්න වෙනවා. ඒ නිසා දැනට මම අඩු කොටස් සංඛ්‍යාවක නාට්‍ය කරන්න තමයි කාලය වෙන් කරන්න කැමැති. එවැනි නාට්‍ය එක දිගට රූගත කිරීම් කරලා අවසන් කරන නිසා මට කාලය කළමනාකරණය කරගෙන වැඩ කරන්න පහසුයි.


 

ඔබ සම්මානනීය නිළියක්. ඉදිරියටත් සම්මානනීය අපේක්ෂා ඇති


මම මේ වෙනකල් සම්මාන බලාගෙන වැඩ කළේ නෑ. මම කරන දෙයට සාධාරණයක් කළා. මට තෘප්තියක් දැනෙන නිර්මාණ කරලා ඒ හරහා ප්‍රේක්ෂකයන්ට තෘප්තියක් ලබා දුන්නා. ඉදිරියටත් එහෙමයි. ඒ නිසා තමයි මට සම්මාන ලැබුණේ. සම්මාන බලාපොරොත්තු තියාගෙන වැඩ කරන්න මම කැමැති නෑ.


 

රංගන ශිල්පිනියක් විදිහට ඔබට ලැබෙන මූල්‍යමය වටිනාකම ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?


අපි ජීවත් වෙන්නේ ලංකාවේ. බොලිවුඩ්, හොලිවුඩ්, කොලිවුඩ් ගෙවීම් එක්ක අපේ රටේ ගෙවීම් සංසන්දනය කරන්න බෑ. නමුත් පෞද්ගලිකව මට රංගන ශිල්පිනියක් ලෙස ලැබෙන වටිනාකම ගැන මම සෑහීමකට පත් වෙනවා.


 

ඇවිත් යන බොහෝ අය අතරේ උදාරි රංගන ක්ෂේත්‍රයේ තමන්ගේ ජනප්‍රියත්වය සුරක්ෂිත කර ගන්නේ කොහොමද?


ඕන කෙනෙක්ට ප්‍රසිද්ධ වෙන්න පුළුවන්. ජනප්‍රියත්වය තියාගන්න අපි තෝරාගත යුත්තේ මොනවද කියන දේ ගැන තමන්ට අවබෝධයක් තියෙන්න ඕනේ. තමන්ට සුදුසු, ප්‍රේක්ෂකයන් වැලඳ ගනියි කියලා හිතන නිර්මාණ කරන්න ඕනේ. තමන්ට නිර්මාණයකට සාධාරණයක් කරන්න බැරිනම් නිර්මාණ ලැබෙන පළියට ඒ දේවල් භාරගෙන තමන්වත් තමන් හදාගත්ත නමත් නාස්ති කරගන්න තැනට පත්වෙනවානම් අපරාදේ. තමන් ගොඩනඟා ගත්ත වටිනාකම හරි විදිහට පාවිච්චි කරනවානම් එක දිගට ජනප්‍රියත්වය රැකගන්න පුළුවන්.






Previous Post Next Post