පොළොන්නරුවේ ඉඳන් කොළඹ ආපු තරුණයෙක් අද රංගන ක්ෂේත්රයේ වගේම සංගීත ක්ෂේත්රයේ ලොකු ගමනක් ඇවිත් තිබෙනවා. අහම්බයකින් රංගන ක්ෂේත්රයට පය තියලා විවිධ හැකියා පරාසයන් පෙන්වමින්, ප්‍රේක්ෂක ආදරය ලබමින්, සම්මානනීය ඇගයුම් හිමි කර ගනිමින් ඔහු මෙතෙක් ආ ගමන පිළිබඳ සූර්යා දයාරුවන් සමඟ අප කළ කතාබහකි මේ.
සූර්යා මේ දවස්වල පෙනුම වෙනස් කරගෙන තියෙන්නේ අලුත් වැඩකට වගේ?
ඔව්. ඒ සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරන 4 චූන් රෙසිඩන්සීස් ටෙලි නාට්‍ය වෙනුවෙන්. එහි මට කරන්න ලැබිලා තියෙන්නේ වෙනස්ම චරිතයක්. මෙතෙක් ටෙලි නාට්‍යවල මාව නොදැකපු විදිහේ චරිතයක් තමයි මම මේ කරන්නේ. ඒ නිර්මාණයේ මගේ චරිතය නිපුන්. හැකර් කෙනෙක්ගේ චරිතයක්. ඒ වගේම ෂෝ ඕෆ් චරිතයක්. ඉතිං ඒ නිර්මාණයට අවශ්‍ය විදිහට මේ දවස්වල කොණ්ඩේ කලර් කරලා වෙනස් පෙනුමක් අරගෙන ඉන්නේ.
සූර්යා මේ දවස්වල කාර්යබහුල වෙලා ඉන්නේ ඔය වැඩෙත් එක්ක විතරක් නෙමෙයි නේද?
මේ දවස්වල චාමර ජයවීර අධ්‍යක්ෂණය කරන දිවිතුරා නාට්‍යයේ උදුල්ගේ චරිතයටත් එකතු වෙලා ඉන්නවා. ඒ චරිතයට විශාල ප්‍රේක්ෂක ආදරයකුත් ලැබෙනවා. ඒ වගේම ලාල් දේවරත්න අධ්‍යක්ෂණය කරන කලියුග කාලය කියන ටෙලි නාට්‍යයටත් සම්බන්ධ වෙලා රූගත කිරීම් කරගෙන යනවා. ඒක 1970-80 ගණන්වල කතාවක්. මද්දු කියන ගැමි චරිතය තමයි මම නිරූපණය කරන්නේ. විජේරත්න වරකාගොඩ, බන්දුල විජේවීර, සනත් විමලසිරි, කුමාරි මුණසිංහ ඇතුළු ප්‍රවීණ රංගන ශිල්පීන් ශිල්පිනියන් එක්ක මට මේ නිර්මාණයේ වැඩ කරන්න ලැබිලා තියෙනවා. ඒවගේම සංගීත වැඩ කටයුතුත් කරගෙන යනවා.
ඔබට ඉංග්‍රීසි චිත්‍රපටයකට සම්බන්ධ වෙන්නත් අවස්ථාව ලැබුණා කියලා ආරංචියි
ඔව්. ඒක මතක් කරන්නම ඕනේ. back to elephant island කියන ඉංග්‍රීසි චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට මම සම්බන්ධ වුණා. ඇමෙරිකානු නළුවෙක් එක්ක මට රඟපාන්න ලැබුණේ. එය අධ්‍යක්ෂණය කරන්නේ නිහාල් බණ්ඩාර. ඒකත් මට වෙනස් හොඳ අත්දැකීමක්.
පහුගිය කාලේ ඔබේ අලුත් ගීත දෙකකුත් රසිකයන්ට අහන්න ලැබුණා.?
එක රැයින් සහ මා හද දවයි කියන ගීත දෙක තමයි අලුතින් කළේ. චමිලා බණ්ඩාර තමයි එක රැයින් කියන ගීතය ලිවුවේ. එය සංගීතවත් කළේ අභිෂේක් මල්ලි. මා හද නිවයි ගීතය ලිව්වේ සුගත් අමරසිංහ අයියා. සංගීතවත් කළේ තුසිත් සිම්සන්. ඒ ගීත දෙකම ආරාධනා එක්ක කරපු ගීත. ‘මගේ නේ‘ ගීතයෙන් පස්සේ මම කරන වෙනස් වැඩක් ළඟදි එන්න තියෙනවා. ඒ ගීතය ලිවුවේ ශෙහාන් ගලහිටියාව. ෂා ......වාව් කියන්න පුළුවන් වැඩක් විදිහට තමයි ඒ ගීතය සහ මියුසික් වීඩියෝව කරන්න සැලසුම් කරලා තියෙන්නේ. ලංකාවේ මෙතෙක් නොවුණ විදිහේ වැඩක් වෙයි ඒක.
කාලයක් ඔබ රංගනයට තමයි වැඩිබර තියලා තිබ්බේ. දැන් සංගීතයට වැඩි බරක් තියන්න හිතුවද?
රංගන කටයුතුවලට ලොකු කාලයක් වෙන් කරලා තිබ්බ නිසා මගේ සංගීත කටයුතු ටිකක් අතපසු වුණා වගේ දැනුණා. ගොඩක් අය මගෙන් ඇහුවා ඇයි ඔවුන්ට විඳින්න ගීතයක් දෙන්නේ නැත්තේ කියලා. මගෙන් අහපු ප්‍රශ්නවලට උත්තර දීලා මියුසික්වල රඟන වැඩේ තමයි දැන් කරන්න යන්නේ. කොරෝනා කාලේ ගෙදරට වෙලා වැඩි කාලයක් ඉද්දි තමයි මම හිතුවේ මගේ අධ්‍යාපන කටයුතු සහ සංගීත කටයුතුවලට වැඩි කාලයක් වෙන් කරන්න ඕනේ කියලා.
රංගන ක්ෂේත්රය තුළ මෙතෙක් ඔබ කළ නියෝජනය ගැන තෘප්තියක් තියෙනවද?
අනිවාර්යයෙන්ම. මම කලා ක්ෂේත්රයට එකතු වෙලා අවුරුදු දොළහක් වෙනවා. දැනට මම ටෙලි නාට්‍ය 37ක චිත්‍රපට 10ක රංගනයට එකතු වෙලා තියෙනවා. ඒ වගේම ඇෙමරිකන් නළුවෙක් එක්ක ඉංග්‍රීසි චිත්‍රපටයක රංගනයට එකතු වෙන්නත් මට අවස්ථාව ලැබුණා. මේතාක් ලැබුණේ එකකට එකක් වෙනස් චරිත. මට තෝරාබේරගෙන රඟපාන්න වුණේ නැහැ. ලැබුණ ඔක්කොම නිර්මාණ හොඳ නිර්මාණ. ඒ නිසා කාලය හදාගන්න පුලුවන් හැම තැනකදිම මම ඒ වැඩ බාරගෙන කළා. ප්‍රේක්ෂකයන්ට ළං වෙන්න පුළුවන් හොඳ වැඩ කරන්න ලැබීම ඇත්තටම වාසනාවක්. මම රංගනයට එන්න හීන දැක්ක කෙනෙක් නෙමෙයි. රංගනයට එන්න ලැබීම මට අහම්බයක්. ඒ අහම්බය ඇතුළේ ලැබුණ දේවල් හරියට කරලා මේ තැනට එන්න ලැබීම ගැන නිහතමානී ආඩම්බරයක් තියෙනවා.
සූර්යා තමන්ගේ ජනප්‍රියත්වය රැකගන්න මහන්සි වෙන කෙනෙක්ද?
ජනප්‍රිය චරිතයක් වෙන්න ලේසි නැහැ. මම කරපු නිර්මාණ එක්ක මට ජනප්‍රියත්වය ලැබිලා තියෙනවා. ‘මගේ නේ’ ගීතයත් එක්ක තමයි ගොඩක් අය මම ගායකයෙක් කියලා දැන ගත්තේ. ඒ ගීතය කරලා අවුරුදු හයක් වුණා. එක ගොඩේ නිර්මාණ කරලා ජනප්‍රියත්වය රැකගන්න ඕනේ කියලා මම හිතුවේ නෑ. නමුත් තාමත් ඒ ගීතය අද ඊයේ ආපු ගීතයක් වගේ බොහෝ අය අහනවා. මම අවුරුදු දොළහක් මේ ක්ෂේත්රයේ ඉන්නවා. ගොසිප් හදාගෙන නෑ. සමහරු නෙගටිව් මාකටින්වලට ගොසිප් හදාගන්නවා. මම ඒවගේ දේවල්වලින් ප්‍රසිද්ධ වෙන්න කැමැති නැහැ. කරන නිර්මාණයට උපරිම සාධාරණයක් මම කරනවා. ඇක්ෂන් කට් ඇතුළේ විතරයි මම නළුවා. එතනින් එහා මම සාමාන්‍ය පුද්ගලයෙක්. අපේ ලංකාවේ මිනිස්සු පිස්සුවෙන් වගේ අපිව හඹා එන සෙලිබ්‍රිටි කන්සෙප්ට් එකක් නෑ. මම නළුවෙක් කියලා මගේ ලොකුකම් නෑ. පොළොවේ පය ගහලා මම ජීවත් වෙන්නේ. හැමෝම එක්ක සුහදව වැඩ කරනවා මම. ලැබෙන දේවල් හරියට කරන නිසා මට ප්‍රේක්ෂක ආදරය, ජනප්‍රියත්වය ලැබිලා තියෙනවා.
ඔබ කලාව තුළ තමන්ගේ ගමන හදාගෙන තියෙන්නේ විශේෂ අරමුණක් තියාගෙනද?
ඔපෙරා ගායකයෙක් කියන ඉලක්කයට යන්නයි මගේ අරමුණ. පරිපූර්ණ කලාකරුවෙක් විදිහට වෘත්තීමය පසුබිමක ඉන්න මම කැමැතියි. මට ඕනේ ලෝක ප්‍රසිද්ධ තත්ත්වයකට මාව ගේන්න. එහෙම කියද්දි සමහරුන්ට එය විහිළුවක් වගෙ දැනෙයි. ඒත් සමනල සංධ්වනිය චිත්‍රපටය කරන්න එද්දිත් මම හිතාගෙන ආවේ ඔස්කාර් සම්මානයක් ගන්නවා කියලා. ඒකට සමහරුනම් හිනා වෙයි. එහෙම ටාගට් තියාගෙන හිටියොත් ඒ ළඟට හරි යන්න පුළුවන්. මට ඒ චිත්‍රපටයෙන් සම්මාන තුනක් ලැබුණා. මම කැමැතියි සංගීතය පැත්තෙන් ව්‍යාපාරයක් පටන් ගන්නත්. ඒක ඇකඩමි එකක් වගේ වෙයි. ඒ වගේම මම මගේ අධ්‍යාපන කටයුතු පැත්තෙන් තව ඉස්සරහට යන්න සැලසුම් කරගෙන ඉන්නවා. PHD එකට දැන් ලෑස්ති වෙනවා. මම හිතන්නේ මගේ ටාගට්වලට ගිහින් ඊට පහුවදාට මම මැරුණත් කමක් නෑ.
සූර්යා දැන් පෙම්වතෙක්ද කියලත් කියමු නේද?
ඉස්සර පෙම්වතෙක් වෙලා හිටියා. ඒත් දැන් නැහැ. මට ඕනේ මගේ අනෙක් දේවල් වගේම මගේ විවාහයත් සාර්ථක කරගන්න. හොඳ විදිහට හැමදේම වෙනවට මම කැමැතියි. ඉතිං නියම කෙනා ලැබෙනකල් ඉන්නවා. විවාහය ගැන ගන්න තීරණය වැරැදුණොත් එකක්වත් හරියට කරන්න ලැබෙන්නේ නෑ. ඒ නිසා ඉවසීමෙන් බලන් ඉන්නවා.