දැනටමත් මං ආදරවන්තියක් - හිරුෂි පෙරේරා



හිරුෂි පෙරේරා කියන නම අපට හුරුපුරුදු නොවුණට ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගි නම් නොදන්න කෙනෙක් නැති තරම්. දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වන ඉස්කෝලේ ටෙලි නාට්‍ය මේ දිනවල ප්‍රේක්ෂක ප්‍රතිචාර ඉහළින්ම ලබන ටෙලි නාට්‍යයක්. එහි අනගි ලෙසින් ප්‍රධාන චරිතයකට පණ පොවන තරුෂිත් මේ දිනවල බොහෝ ජනප්‍රියයි. ඇය සමඟයි අද කතාබහ.


හිරුෂිට වඩා අනගි ගොඩක් ජනප්‍රියයි නේද?


ඔව්. හිරුෂි කියන නම තාම නුහුරු වුණාට අනගි කිව්වම නොදන්න කෙනෙක් නෑ. පුංචි ළමයි අනගි අක්කට හරිම ආදරෙයි. මේ දවස්වල වයස් භේදයකින් තොර ප්‍රේක්ෂක ආදරේ හිතාගන්නත් බැරි තරම්.


හිරුෂි කියන්නේ රංගනයට ආධුනික කෙනෙක්. ඒත් අනගි දිහා බැලුවම නම් එහෙම දෙයක් පේන්නෙ නෑ.


රංගනය කියන්නේ මට ආධුනික හැඟීමක්. මං පාසල් වේදිකාවෙවත් රංගනයෙන් දායක වෙලා නෑ. පාසලේ 4 පන්තියේ වගේ ඉඳන්ම මං නර්තනය හැදෑරුවේ. මං දක්ෂ වුණේ නර්තනයට. නර්තනයේදීත් හැඟීම් ප්‍රකාශනය ගොඩක් වැදගත්. මගේ ගුරුවරු මට ඒ දේවල් කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි ජීවිතය ගැන පවා කියලා දුන්නා.


රංගනයට පිවිසීම අහම්බෙන් වුණු දෙයක්. මගේ කවුරුත් කලාවට සම්බන්ධත් නෑ. ඒත් මගේ අම්මට නම් ලොකු ආශාවක් තිබුණා කලාවට. ඒ නිසාමයි මගෙ අම්මා දෙරණ අවුරුදු කුමරිය තරගයට මගේ ඉල්ලුම් පත්‍රයක් දැම්මේ. ඒකෙ අවසන් වටය දක්වා ආවා. මගේ යාළුවෙක්ගේ අයිය කෙනෙක් ඉන්නවා නිමල් රංජිත් කියලා. ඒ අයියා නිසා තමයි මං මෙතන ඉන්නේ. එයා තමයි කිව්වේ නංගි ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියෙනවා ගිහින් බලන්න කියලා. එතැනදි මාව තේරුණා. ඒ දෙවනි ඉණිමෙ පොඩි චරිතයක්. ඊට පස්සෙ තමයි දිනුක ප්‍රසාද් අයියගේ ඉස්කෝලේ ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබුණේ. එයාලට ඕන වෙලා තිබුණේ දේශීය නර්තනය හොඳින් දන්න කෙනෙක්. එයාලා මගෙන් කීප සැරයක්ම කතා කරලා ඇහුවේ දේශීය නර්තනය දන්නව ද කියලා. මං උසස් පෙළට හැදෑරුවෙත් දේශීය නර්තනය. මගේ නර්තන හැකියාව තමයි මේ චරිතය ලැබෙන්න මූලිකම සුදුසුකම වුණේ.


අනගි කියන්නේ යුනිෆෝම් එක ඇඳලා කොණ්ඩ දෙකක් ගොතලා ඉස්කෝලේ යන ළමයෙක්. කොහොම ද හිරුෂි ඒ අත්දැකීම?


මං ගියේ නුගේගොඩ අනුලා විද්‍යාලයට. ස්කෝලෙන් අවුට් වෙලත් දැන් ටික කාලයක් වෙනවා. ස්කූල් යුනිෆෝම් එක ඇඳලා කොණ්ඩ දෙකක් ගෙතුවම හරි අමුතු හැඟීමක් ඇතිවුණා. ඒකාලේ කරපු වැඩ ආයිම කරන්න හිතෙනවා. ඒ ලැබුණු අවස්ථාව මට ලොකු සතුටක්. ගොඩක් අය හිතන්නෙ මං තාමත් පාසල් යනවා කියලා.


අනගි, දුලාන් අතරේ පෙම් පටලැවිල්ලකට සමාන ගනුදෙනුවක්නෙ තියෙන්නේ. ගොඩක් අය මේ වගේ දේවල්වලට බණිනවනේ. ඉතින් හිරුෂිටත් ඒ වගේ ප්‍රතිචාර ලැබුණ ද?


අපොයි ඔව්. සමහරු බණිනවා. ඒත් ඉතින් ඒක නාට්‍යයක්නේ. ඒක ජිවිතේට ආදර්ශයක් කරගන්නෙ නැතුව රස වින්ද නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. හැබැයි ගොඩක් දෙනා කතා කරලා කියන්නේ අපිටත් අපේ පාසල් කාලය මතක් වුණා කියලා. එහෙම බැලුවම වැඩිහිටි අයට මේක මතක ආවර්ජනයක්.


සෙට් එකේදි අමතක නොවන අත්දැකීම් එහෙමත් ඇති නේද?


මං මුලින්ම කැමරාවට මුහුණ දුන්නේ දෙවනි ඉණිමෙ වෙද මාමගෙ දුවගෙ චරිතයෙන්. මුල්ම සීන් එක තිබුණේ මයික්, චබී එක්ක. ලොකේෂන් තිබුණේ නුවරටත් එහා තැනක. මිනිස්සු 60ක් 70ක් විතර වටේටම බලන් ඉන්නවා. මං පාසල් වේදිකාවෙවත් රඟපාල තිබුණෙ නෑ. මගෙ කකුල් වෙව්ලන්න ගත්තා. කියන්න ඕන දේත් අමතක වුණා. අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස් අයියට තේරුණා මං බයවෙලා කියලා. එයා මගේ ළඟට ඇවිත් නංගි මෙන්න මෙහෙමයි එන්නෙ, මෙහෙමයි කරන්නෙ කියලා කරලා පෙන්නුවා. කොහොමහරි මුල් සීන් එකම මං හොඳට කළා කියලා හැමෝම කිව්වා. පස්සෙ ඉතින් ටික ටික බය නැති වුණා. ඉස්කෝලෙ නාට්‍යයේ වුණත් මුලින්ම දුලාන් එක්ක ලව් සීන් කරද්දි හරි අමාරු වුණා. නොදන්න කෙනෙක් එක්ක පුරුදු දෙයක් වගේ කරන්න අමාරුයි.


හිරුෂිට තියෙන්නේ ගැමි ස්වාභාවික පෙනුමක් කියලා බොහෝ දෙනා කියනවා.


ඔව්. ගොඩක් අය එහෙම කියනවා. පාසලේදී කවදාවත් කතා කරපු නැති අය පවා මට කතා කරලා කියනවා ඔයාට හොඳ ඔහොම තමයි කියලා. ඔයාගෙ ඔය පෙනුමට තමයි මිනිස්සු කැමති කියලා. ඉතින් මාත් කැමතියි මේ පෙනුම රැක ගන්න. මං කොතරම් ෆැෂනබල් වෙන්න හැදුවත් ඒක මට ගැළපෙන්නෑ කියල මටත් හිතෙනවා.


අනගි තාමත් පාසල් ප්‍රේමයකට ඉඟිබිඟි කරමින් හිටියත් හිරුෂි නම් මේ වන විටත් ආදරවන්තියක් කියලයි ආරංචිය.


ආදර ඇරයුම් නම් ඕන තරම්. ඒත් දැනටමත් මං ආදරවන්තියක්. ඔහුත් මේ ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක්. ඉදිරියේ දී වැඩි විස්තර කියන්නම්කො.


හිරුෂි තාමත් ක්ෂේත්‍රයට ආධුනික නිසා ද ක්ෂේත්‍රයටම සම්බන්ධ කෙනෙක් තෝරගන්න හිතුවේ?


මේ ක්ෂේත්‍රයේ වැඩ කරද්දි ඉන්න ඕන විදියක් තියෙනවා. අලුත් කෙනෙකුට රැඳෙන්න අමාරුයි. ඒ නිසා ක්ෂේත්‍රයේ පළපුරුද්දක් තියෙන කෙනෙක් ළඟින් ඉන්න එක හොඳයි. අනික කලාව කියන්නේ උදේ 8 ඇවිත් හවස 5 ට යන රැකියාවක් නෙවෙයිනෙ. යන එන වෙලාවක් කියන්න බෑ. ඉතින් ඒ දේවල් තේරුම් ගත්ත, මං නියැළෙන ක්ෂේත්‍රය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් හමුවීම මට වටිනවා.


 




Previous Post Next Post