මාස්ක් එක දැම්මත් දෙවෙනි ඉනිමේ පවනි හඳුනගන්නවා - දිල්කි දිසානායක




ඌව පළාතේ සීතල බදුලු පුරවරයෙන් ඇය කලාවට එක් වුවාය. කුඩා කල රූපවාහිනි තිරය මත පෙනි ඉන්නටද ඇ සිහින මැව්වාය. පසු කාලෙක නිරුපිකාවක් ලෙසින්ද අනතුරුව ජනප්‍රියතම රූපවාහිනි සේවයක අවුරුදු කුමරිය වැඩසටහන හරහා ඇයට රංගනය සදහා දොරගුල් විවර විය. මේ වන විට ඇය ජනප්‍රිය කාර්ය බහුල රංගන ශිල්පිනියක් බවට පත් වී හමාරය සතියේ දින පහේම රාත්‍රි 8.30 ට දෙරණ රූපවාහිනි සේවයෙන් විකාශය වන තාරුණ්‍යයේ ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන දෙවෙනි ඉනිමේ ’පවනි’ ලෙසින් ඇය අපේ ආලින්දය සරසන්නිය. එමෙන්ම සති අන්තයේ සෙනසුරාදා, ඉරිදා දිනවල රාත්‍රි 9.00 ට ස්වර්ණවාහිනි නාලිකාවෙන් විකාශය වන ‘දෙකඩ කඩ’ ටෙලිනාට්‍යයේ රතු මුදලාලිගේ එකම දියණිය රශ්මි ලෙසද අප පිනවන්නීය. මෙවර අපේ කතා බහා ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිනි දිල්කි දිසානායක සමඟයි.


 දිල්කිගේ පෞද්ගලික විස්තර කිව්වොත්?


මගේ ගම බදුල්ල. පාසල් ගියේ බදුල්ල මධ්‍ය මහා විදුහලට. පවුලේ අම්මායි, අප්පචිචියි, අක්කයි, මමයි. තාත්තා ඉදිකිරිම් කොන්ත්‍රාත්කරුවෙකි.


කලාවට ආරම්භය සිදුවුණේ කොහොමද?


පාසල් අධ්‍යාපනය ලබන අතරතුර මට නිරූපිකාවක් ලෙස අවස්ථාව ලැබුණා. මේ ගමනේ ආරම්භය සිදු වන්නේ මෙරට ජනප්‍රියතම රූපවාහිනි නාලිකාවකින් පැවැත්වු අවුරුදු කුමරිය තරගයෙන් අවසන් පස්දෙනා අතරට තෙරි පත්වීමෙන් අනතුරුවයි.


ප්‍රථම රංගනය සිදුවන්නේ


රූපවාහිනි නාලිකාවේ ගියපු කෙටි චිත්‍රපට දෙකක තමා මට මුලින්ම රගපාන්න ලැබුණේ. ඊට පස්සේ ටෙලිනාට්‍යවලටත් අවස්ථාව උදාවුණා.


මේ දවස්වල ඔබ දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ පවනි ලෙස තමා වඩා ජනප්‍රිය. මුල සිටම මේ ටෙලි නාට්‍යයේ හිටියද?


නෑ. දෙවෙනි ඉනිමට සම්බන්ධ වෙන්නේ ටෙලිනාට්‍යය විකාශය වෙන මැද හරියෙදි වගේ. පස්සේ මගේ අධ්‍යාපන කටයුතු නිසා එයට විරාමයක් තියන්න සිද්ධ වුණා. දැන් මෑතක සිට නැවතත් දිගටම දෙවෙනි ඉනිම සමඟ ඉන්නවා.


මේ ටෙලිනාට්‍යයේ ඔබට රංගනයට අවස්ථාව ලැබෙන්නේ කොහොමද?


නිරංග සංජිව අයියා හරහා තමයි මට ටමි සඳහා අවස්ථාව ලැබුණේ. ඔහු තමයි සාරංග අයියට (දෙවෙනි ඉනිම ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂ සාරංග මෙන්ඩිස්) මං ගැන කියලා දෙවෙනි ඉනිමේ පවනිගේ චරිතය සදහා අවස්ථාව උදාකර දෙන්නේ.


කොහොමද ඒ සඳහා ඔබට ලැබෙන ප්‍රතිචාර


ගොඩාක් හොදයි. මං හිතපු නැති විදිහේ අසීමිත ප්‍රතිචාර දෙවෙනි ඉනිමේ පවනිට ලැබෙනවා.


ඒ ලැබෙන ප්‍රතිචාර ගැන මොකද කියන්න තියෙන්නේ


ගොඩාක් සතුටුයි ලැබෙන ප්‍රතිචාර ගැන නම් අදටත්. මං කොළඹින් පිට ප්‍රදේශයක වුණත් පාරට බැස්සාම මං මාස්ක් එක දාගෙන හිටියත් දෙවෙනි ඉනිමේ පවනි ලෙස හැමෝම හඳුන ගන්නවා. මම හිතන්නේ රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් බලාපොරොත්තු වන්නේ ඒවන් ප්‍රතිචාර. රසික ආදරය තමා.


‘පවනි’ කියන චරිතය ගැන මතක් කළොත්


පවනි කියන්නේ කැම්පස් ගියපු බුද්ධිමත් ගැහැනු ළමයෙකුගේ චරිතයක්. තවත් විදියකින් ලිහිණිගේ හොඳම යාළුවා. ගමක ඉඳන් කොළඔට ඇවිත් එහේ යාළුවොත් එක්ක බෝඩිං වෙලා ඉදගෙන තමාගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සිදු කර ගෙන යනවා.


ටෙලිනාට්‍යයේ හැටියට පවනි මලිත්ත ආදරය විවාහය දක්වා දුරදිග යයිද නැතිනම් දෙන්නා දෙපැත්තට වෙයිද?


ඇත්තටම අයියා මට ඒ නම් හරියට මුකුත් කියන්න බෑ. දිගටම නාට්‍යය නැරඹුවොත් මොකක් වෙයිද කියලා බලාගන්න පුළුවන් වේවි.


මේ දවස් වල ඔබ තවත් ටෙලිනාට්‍යයක ඉන්නවා නේද?


ඔව්... ස්වර්ණවාහිනියෙන් සෙනසුරාදා ඉරිදා දිනවල රාත්‍රි 9.00 ට යන ‘දෙකඩ කඩ’ ටෙලිනාට්‍යයේ. රංගන අයියා (ස්වර්ණවාහිනියේ විධායක අධ්‍යක්ෂ රංගන ද සිල්වා) තමයි මට ඒ සඳහා කතා කරලා අවස්ථාව ලබා දුන්නේ.


දැන් දිල්කිගේ වයස කියන්න පුළුවන්ද?


මට දැන් අවුරුදු විසිහයයි (26)


පවනි මලිත්ත වගේ දිල්කිත් කෙනෙක් හොයා ගෙනද ඉන්නේ


ඔව්.. අයියේ මට කෙනෙක් ඉන්නවා.


ඔහු ගැන විස්තර කිව්වොත්?


ඒ ගැන පසුව දැන ගන්න ලැබෙයි. එයා කැමති නෑ ඒ ගැන මාධ්‍යට කියනවට.


දෙන්නගේ විවාහය සිදු වන්නේ කවද්ද?


තවම ඒ ගැන මුකුත්ම ප්ලෑන් කරලා නෑ අයියේ. ඉස්සරහට ඒ ගැනත් කියන්නම්.


මේ ටෙලි නාට්‍යයේ වැඩ කරද්දි ඔබට අන් අයගෙන් ලැබෙන සහාය කොහොමද?


ඇත්තටම හැමෝගෙන්ම වගේ හොඳ සහායෝගයක් ලැබෙනවා. ඒ වගේම මට මේ හරහා හොඳ යාළුවෝ පිරිසකුත් ඇති වුණා.


දිල්කිට රංගනය ගැන ඉදිරියට හැදැරිමක් කරන්න අදහසක් නැද්ද?


එහෙම වුවමනාවකුත් තියෙනවා අයියේ මේ දවස් වල මගේ වෘත්තියට අදාළ වැඩිදුර අධ්‍යාපන කටයුතු හා වෘත්තිය කටයුතු මෙන්ම රංගන වැඩත් එක්ක කාර්ය බහුල වෙලා ඉන්නේ. රංගනය ගැන ඉදිරියේදි හැදෑරීමක් කරන්නටත් මං බලාපොරොත්තුවෙන් ඉන්නවා.


ඒ කියන්නේ දිල්කි වෘත්තිය රංගන ශිල්පියෙක් නොවෙයිද?


නෑ අයියේ මම වෘත්තියක් ලෙස රංගන කටයුතු වල නිරත වෙන්නේ නෑ.


ඔබේ වෘත්තිය ගැන කියන්න කැමතිද?


මං මගේම ව්‍යාපාරයක් කරගෙන යනවා. ඊට අමතරව තමා රංගනයේ නිරත වෙන්නේ. මොකද මට පුංචි කාලයේ රූපවාහිනි තිරයේ පෙනි ඉන්න නිළියක් වෙන්න ආසාවක් තිබුණා. දැන් මගේ ඒ ආසාව ඉෂ්ට වෙලා තියෙනවා. ගොඩාක් සතුටුයි. ඉතින් ඒ නිසා මම දිගටම රංගනයේ නිරත වෙනවා.


අවසන් වශයෙන් දිල්කිට යමක් කියන්න තියෙනවද?


මාව මේ ක්ෂේ්‍ත්‍රයට හඳුන්වා දුන් නිරංග සංජිව අයියට සාරංග මෙන්ඩිස් චාමික මෙන්ඩිස් ඇතුළු නිර්මාණවලදි මා හට හමුවන සියලු දෙනාටමත් ප්‍රේක්ෂක ජනතාවටත් මා මේ අවස්ථාවේදි ගොඩාක් ස්තුති වන්ත වෙනවා.





Previous Post Next Post