දෙරණ නාලිකාවේ සතියේ දිනවල විකාශය වන දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ ලිහිණිගේ චරිතය මේ දිනවල කා අතරත් ජනප්‍රියය. දිගු කොණ්ඩයකට හිමිකම් කියන ශලිනි ප්‍රනාන්දු නම් වූ ඇය මෙවර අපේ කතාබහට එක්වේ.
ශලිනි ප්‍රනාන්දු කියන රංගන ශිල්පිනිය බිහිවුණේ ලිහිණි නිසා නේද?
ඇත්තටම ඔව්. කලා ක්ෂේත්රය තුළ ශලිනි ප්‍රනාන්දු කියන කෙනා බිහිවීමේ ගෞරවය හිමිවෙන්නේ ලිහිණිට තමයි. කවුද මේ ශලිනි කියලා මිනිස්සු හොයන්න පටන් ගත්තේ ලිහිණිට තියෙන ආදරේ නිසා. ගම්බද මිනිස්සුන්ගෙන් පුදුමාකාර ආදරයක් ලැබෙනවා. ඒක මට හිතාගන්නත් බෑ. තම පළමු නිර්මාණයෙන්ම ඒ තරම් ආදරයක් ලැබෙනව නම් ඒක ඇත්තටම රංගන ශිල්පියෙකුට හෝ ශිල්පිනියකට වෙස් වලාගත් ආශීර්වාදයක් කියලයි මං හිතන්නේ. නොහිතපු විදියට ඊටම සමාන ප්‍රේක්ෂක ආදරයක් ලොක්කිටත් හිමි වුණා. ඒ ගැන හිතද්දි මට ලොකු සතුටක් දැනෙනවා.
ඒත් ලිහිණි මේ දවස්වල පේන්න නැත්තේ ඇයි?
අවුරුදු 5ක් තිස්සේම මං ගොඩක් කැපවීම් කරලා ලිහිණිට සාධාරණයක් කළා කියලයි මට හිතෙන්නේ. ඒ නිසාම වෙන්න ඇති ලිහිණිට මේ තරම් ආදරයක් ජනප්‍රියත්වයක් ලැබුණේ. යම් යම් හේතු කාරණා නිසා ඒ ලැබූ ප්‍රේක්ෂක ආදරයත් තුරුලු කරගෙනම ලිහිණිට සමු දුන්නා. ඉදිරියේ දී ලොක්කි 2 එන්න තියෙනවා.
ඔබ ක්ෂේත්රයට එන්නේ රංගන ශිල්පිනියක් විදියටම ද?
නැහැ. මං මුලින්ම සම්බන්ධ වෙන්නේ දෙරණ අවුරුදු කුමරිය තරගයට. ඒ 2017 වසරේ. ඒ කිරුළ තමයි මට රංගනයට අවස්ථාව ලබා දුන්නේ. ඒ දෙරණ උප සභාපති ලක්සිරි වික්‍රමගේ සර් නිසා. ඇත්තටම නවකයන් කිසිම කෙනෙක් දෙරණ අතාරින්නෑ. අවසන් වටයට තේරුණ කුමර කුමරියන් හය දෙනාටම ‘ස්ක්‍රීන් ටෙස්ට්‘ එකක් තිබ්බා. ඒ දෙරණේ ඉදිරි නිර්මාණවලට අවශ්‍ය අලුත් මුහුණු තෝරා ගැනීමේ අරමුණෙන්. ඊට මාසෙකට විතර පස්සෙ තමයි මට දෙවනි ඉනිම ලිහිණිගෙ චරිතයට ආරාධනා ලැබෙන්නේ. ලිහිණි කතාවට එකතු වෙන්නේ දෙවනි ඉණිම අසීමිත විදියට ජනප්‍රියත්වයක් ලබපු කාලේ.
ඊට පස්සේ ‘ලොක්කි‘ ටෙලි නාට්‍යයට සම්බන්ධ වුණා. ලිහිණි කියලා කතා කරපු ප්‍රේක්ෂකයන් ලොක්කි කියලත් කතා කරන්න පටන් ගත්තා. මං සම්බන්ධ වුණ නිර්මාණ දෙකම එක වගේම ජනප්‍රිය වීම ලොකු සතුටක්. හර්ෂ උඩකන්ද සර් එක්ක වැඩ කරනව කියන්නේ වෙනමම අත්දැකීමක්. ඉගෙන ගන්න දේවල් ගොඩයි.
ක්ෂේත්රයට එද්දි ඔබ රංගනය ගැන හැදෑරීමක් කරලා තිබුණ ද?
කිසිම හැදෑරීමක් කරලා තිබුණේ නෑ. මුල් ඒව දැන් බලද්දි මටම අඩුපාඩු පේනවා. මං ගොඩක් ෆිල්ම්ස් බලන්න ඇබ්බැහි වෙච්ච කෙනෙක්. හැම රටකම වගේ ඒව බලනවා. ඒවායින් ගත්ත දේ, අපේ ප්‍රවීණයන්ගෙන් ලබා ගත්ත අත්දැකීම් එක්ක තමයි මං මේ ගමන ආවේ. මං කැමති මං අඬනව නම් ප්‍රේක්ෂකයනුත් අඬවන්න. මොකද මට දැනෙන හැඟීම එයාලට දැනෙනව කියන්නේ ඒ චරිතය සාර්ථකයි.
ඔබ චරිත ගැන සැලකිලිමත් ද?
ඇත්තටම ඔව්. ඇඳුම ගැන වුණත් මං හිතනවා. මොකද ඕනම දෙයක් කරලා ඉදිරියට යන්න බලන්නේ ජනප්‍රියත්වය කියන දේ ඔළුවට ගත්තොත් තමයි. මං කවදාවත් ඒ වැරදි පාරේ යන්නේ නැහැ. මුදලටවත් ප්‍රසිද්ධියටවත් මං මගේ ආත්ම ගරුත්වයට හානියක් වෙන දේවල් කරන්නෙ නෑ. මගේ තාත්තගෙ ආදරේ මට අහිමි වෙන්නේ මං පුංචි කාලෙදිමයි. අම්මා, අයියා මගේ හෙවණැල්ල වගේ පස්සෙන්ම ඉන්නවා. කවුරු මාව කැපුවත් මං යන්නේ මං හදාගත්ත පාරක හෙමින් ගමනක්.
ලිහිණි කියන්නේ ආදරේ හිතේ හංඟගෙන දුක් විඳින තරුණියක්. ඔබ ආදරේ විඳින්නෙ කොහොමද?
මාත් ආදරේ විඳල තියෙනවා. එහෙම නෑ කිව්වොත් ඒක බොරුවක්. දැන් ඒක ඉවරයි. මේ වෙද්දි නම් මං ආදරවන්තියක් නෙවෙයි. ආදරය කියන්නේ සුන්දර හැඟීමක්. ආදරයෙදි විශ්වාසය තමයි වැදගත්ම දේ. මගේ සියයට සියයක් විශ්වාසය එයාට දෙන්න ඕන. එයාගෙ සියයට සියයක් විශ්වාසය මට දෙන්න ඕන. අංක එක තමයි විශ්වාසය. එයා දිහා වෙන ගෑනු ළමයෙක් බැලුවත් රණ්ඩු වෙනව නම් ඒක ආදරයක් නෙවෙයි. ගොඩක් අයට තේරුම් ගන්න බැරි දේත් ඕකමයි. මං විශ්වාස කරන දෙයක් තමයි මං ආදරේ කරන කෙනාගෙ ප්‍රමුඛත්වය වෙන්න ඕන මමයි. මගේ ප්‍රමුඛත්වය එයා වෙන්න ඕන. මගේ පළමු තැන එයාට දෙන්න ඕන. මගේ පළමු තැන මං වුණා කියන්නේ එතන තියෙන්නෙ ආත්මාර්ථකාමීත්වය. එතකොට තමයි හැමදේම පළමුව බලාපොරොත්තු වෙන්නේ. එයා මට ඕන විදියට ඉන්න ඕන නෑ. එයා ඉන්න ඕන එයාට ඕන විදියට. එයාට එයා විදියට ඉන්න දුන්න නම් ඒක තමයි ආදරය. එතන තමයි ආදරය රැඳෙන්නේ. මේ ජීවිතේ අපට ලැබෙන්නෙ එක පාරයි. මේක සල්ලි ගෙව ගෙවා තියාගන්න පුළුවන් එකක් නෙවේ නෙ. ඒ නිසා හැමදේම කරන්න ඕන අපේ සීමාවෙ ඉඳගෙන. අපට ගැළපෙන විදියට.