තනියම ඉන්න ජීවිතේට මම කැමතියි - අනුෂ්ක උදාන



 සමාජ මාධ්‍ය තුළ වැඩිම ප්‍රේකෂක පිරිසක් ඇද බැඳ තබාගෙන සිටින සමාජ මාධ්‍ය සන්නාමයක් විධියට අපිට "වස්ති" හඳුන්වන්නට පුළුවන්. සමාජයේ තරුණ පිරිස අතර මතුවන විවිධ රැලි හාස්‍යයට හා උපහාසයට ලක් කොට ගනිමින් ඊට හාත්පසින් වෙනස් රැල්ලක් තම විඩියෝ හරහා නිර්මාණය කිරීමට "වස්ති" සතු හැකියාව අගය කළ යුතුයි. මිට දින කිහිපයකට ඉහතදී වස්තිහි අධ්‍යක්ෂ අනුෂ්ක උදානහට සංගීත ප්‍රසංගයකදී අපූරු අකරතැබ්බයක් සිදුවුණා. ඒ පිළිබඳව සමාජයේ දැඩි කතා බහට ඇති වුණා. ඒ පිළිබඳව සහ අනුෂ්කගේ නවතම කලා කටයුතු පිළිබඳව දැන කියා ගැනීමට ඔහුව එක්කාසු කර ගැනීමට අප සිතුවා.


මේ දිනවල කොහොමද වැඩ කටයුතු? මේ දිනවල නම් තරමක් කාර්යබහුලයි. හේතුව "ගජමෑන්" ෆිල්ම් එක ළඟදීම තිරගත වනවා. එහි සංගීත අධ්‍යක්ෂණය කරන්නේ මම. කොරෝනා වසංගතය සහ රටේ අර්බුදකාරී තත්ත්වය සමඟ ගජමෑන් තිරගත වීම තරමක් ප්‍රමාද වුණා. ඒ නිසා උදේ රෑ නැතිව ගජමන් වෙනුවෙන්  වෙහෙසෙනවා. 


"මන්දාරම් කතාවේ" කියන්නේ මේ දවස්වල වයස්  

භේදයක් නොතකා බොහෝ දෙනකුගෙම මුවගේ මිමිනෙන ජනප්‍රිය ගීතයක්. ඒ ගැන කතා කරමු? 


මම ඇත්තටම මේ සින්දුව මෙච්චර ජනප්‍රිය වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් කරන නිර්මාණය අසාමාන්‍ය විධියට ජනතාව අතරට යන්න අවශ්‍යයි කියන බලාපොරොත්තුවත් මගේ නැහැ. ඒ කාලේ ඉඳන්ම මම කැමැති කරන වැඩේ අවංකව කරලා ජය පරාජය විඳදරා ගන්න. මන්දාරම් කතාවේ ගීතයට වැඩියෙන්ම ලැබෙන්නේ ප්‍රේමණීය ප්‍රතිචාර, මගේ ඇතැම් ගීතවල හිතන්න දෙයක් තිබුණ නැහැ. නටන්න පමණයි තිබුණේ. නමුත් මන්දාරම් කතාවේ ගීතයේ හිතන්න දේවල් බොහොමයක් තිබුණා. මේ ගීතයෙන් පසුව මම තුළ ඉන්නා වූ සංවේදී චරිතය ඉදිරියට භාවිතයට ගත යුතුයි කියලා මම විශ්වාස කරනවා.


ප්‍රෙක්ෂකාගාරයේ විනෝදාස්වාදය උදෙසා youtube වැනි සමාජ මාධ්‍යක් තෝරා ගැනීමට වස්තිලට විශේෂ හේතුවක් තිබුණද?


ඉස්සර පත්තරවලින්වත් රූපවාහිනියෙත්වත් අවස්ථාවක් අපිට තිබුණේ නැහැ. අපිට තිබුණ විකල්පය තමයි youtube සහ facebook කියන සමාජ මාධ්‍යන් ද්විත්වය. චැනල්වලින් අපේ ගීත භාර ගන්නේ නැති අවස්ථාවන් තිබුණා. ඉතින් ඒ වෙලාවේ අපිට තිබුණ සුදුසුමදේ තමයි සමාජ මධ්‍යය. ඒ හරහා අපි අපේ නිර්මාණ මුදා හැරියා. 


කලකට ඉහත "අනුෂ්කට සින්දු කියන්න බැහැ" කියන මතයක් සමාජයේ තිබුණා. නමුත් මන්දාරම් කතාවේ ගීතය සමඟ ඒ අදහස් වෙනස් වුණා නේද?


මට සින්දු කියන්න බහැ කියලා මම කොහෙවත් කියලා නැහැ සහ මට සින්දු කියන්න පුළුවන් කියලත් මම කොතනකවත් කියලා නැහැ. මම වැඩ කරන්නේ ප්‍රේක්ෂකයාගේ විනෝදාස්වාදය වෙනුවෙන්. එතකොට මට මිනිස්සු අඬවන්නත් පුළුවන් වෙන්න ඕනේ. හිනස්සනත් පුළුවන් වෙන්න ඕනේ. මම මිනිස්සු කියන දේවල් අහලා බලලා වැඩ කරන කෙනෙක් නොවෙයි. නමුත් මගෙ රසිකයෝ තමා අංක එක. මට සින්දු කියන බෑ කියන්නේ එයාලනේ. ඔය කියන අයම තමා ඉතින් මගෙ සින්දු අහන්නෙත්. 


යම්කිසි නිර්මාණයක ගුණාත්මකභාවය රැක ගැනීම සඳහා  නිර්මාණකරුවකු තුළින් බිහිවිය යුතු ගුණාංග මොනවාද?


කෝටි ගණන් වියදම් කරලා ලංකාවේ තියෙන පජාතම වීඩියෝ කරන අය විධියට තමයි අපිට ලේබල් එක වැදිලා තියෙන්නේ. කොහොමත් අපි කුණුහරප කියලා නැහැ. හැබැයි මිනිස්සු අපිට දැන් බැඳිලා ඉවරයි. සුදු අම්මියා සින්දුවටත් මිනිස්සු නටනවා. මන්දාරම් කතාවේ ගීතයට මිනිස්සු හැගීම්බර වෙනවා. එකම ස්ටේජ් එකක මම සින්දු දෙකක් කියනවා. ඒක තමයි නිර්මාණකරණය කියන්නේ. ගුණාත්මකභාවය තියෙන්නේ මම කරන වැඩ ඇතුළේ වැඩේට අදාළ කරන ගුණාත්මකභාවයට මම සීයට සියයක් වග කියනවා. 


මෑතකදී පවත්වපු සංගීත ප්‍රසංගයකදී ඔබ නොහිතන සිදුවීමකට මුහුණ දෙනවා. ඇත්තටම මොකක්ද ඒ වුණේ? 


අපිට ඉන්න රසික පිරිස අපිට හරි සමීපයි. මිනිස්සු පිස්සු වැටිලා ළඟට දුවගෙන එන ආටිස්ලා හරි අඩුයි. සමහර සංගීත ප්‍රසංග අපිට අවස්ථාව දෙන්නේ නැහැ. එයට හේතුව අපි සින්දු කියනකොට මිනිස්සු පුටු උඩට නැගලා නටලා පුටු කඩනවලු. මමම පෞද්ගලිකව කතා කරලා අහන වෙලාවලට ලැබෙන පිළිතුරු තමයි මේ. සමහර ආටිස්ලා දවසට ප්‍රසංග තුන හතරකට සහභාගි වෙනවා. නමුත් අපිට ප්‍රසංගයකදී අවස්ථාව

ලැබෙන්නේ අන්තිමට අපිව අන්තිම වෙනකම්  තියා ගන්නේ මිනිස්සු ඒ ප්‍රසංගයේ රඳවා ගන්න.  ඉතින් අපිට එදාට තව ප්‍රසංගවලට සහභාගි වෙන්න බැහැ. ඒක අපිට එක අතකින් අවාසියක්. ඒ තරම් රසික ආදරයක් අපිට තිබෙනවා. මීට කලිනුත් අපිට මෙහෙම සිදුවීමක් වුණා. 


ඒ සිදුවීමෙන් පසුව අනුෂ්කව වැලදගත්තු තරුණයාව හමු වුණාද? 


ඔය මල්ලි ඔය සිදුවීමෙන් පස්සෙ මට මැසේජ් එකක් දාලා තිබ්බා අයියේ මම සෑහෙන කාලයක් ඔයාව ළඟට හම්බෙන්න බලාගෙන හිටියා. ඔයා මගෙ හිතේ වීරයෙක් කියලා. ඔහු එදා මාව බදා ගත්තු වෙලාවේ මාව නිකම් හිර වුණා වගේ. මට පිටිපස්ස හැරිලවත් බලන්න බැහැ. මම ඒකයි ඇහුවේ කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා. මම ඒවා හිතලා කියන ඒවා නෙමෙයි. මම කියන හැම දෙයක්ම කුණුහරප නෙමෙයි. ඒ වගේ ආදරයක් බලාපොරොත්තුවෙන් තමයි මමයි දුලාජුයි වැඩ කරන්නේ. එහෙම නැත්තම් අපි කරන වැඩවලින් තේරුමක් නැහැනේ. මම ඒ මොහොතට ඉතාම ආදරෙයි. ඒ මනුස්සයා මට ආදරෙටයි මම ළඟට ආවේ.


මෙවැනි රසික ආදරයක් හිමිවිම පිළිබඳව මොකද හිතෙන්නේ?


මම හැම තිස්සෙම වස්ති ප්‍රඩක්ෂන් එක ඇතුළෙ කරන්නේ අලුත් දේවල්. ලෝකේ කරපු නැති දේවල් කරන එක තමයි අමාරුම දේ. අලුත් සංකල්පයක් මිල කරන්න බැහැ. රසික ආදරය බලෙන් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේක දැළි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද මිනිස්සු අතර ජනප්‍රිය වෙන්නත් ඕනේ, ඒ ජනප්‍රියතාව පවත්වා ගන්නට පුළුවන් වෙන්නත් ඕනේ සහ ඒකට මාර වටින මිලකුත් තියෙන ඕනේ. 


ළගදී අලුත් වැඩක් කරනවා නේද? ඒ ගැනත් කියමු? 


නොවැම්බර් විසිහතර වැනිදා අපි වස්ති නමින් රෙස්ටොරන්ට් එකක් ඕපන් කරන බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒක තියෙන්නේ නාරාහේන්පිට. රෝයල් ගෘප් එක තමයි අපිට මේකට ඉන්වෙස්ට් කරන්නේ. නමුත් බ්‍රැන්ඩ් එක වස්ති. රෙස්ටොරන්ට් එක පිටුපස වෙනම වෙඩින් හෝල් එකකුත් තියෙනවා. ඒ වගේම අපේ වෙනම ඇඳුම් ශොප් එකක් තියෙනවා. අපි අපේ රසිකයව මාස හතරෙන් හතරට අපි අපේ බස් එකේ එක්කන් ගිහින් ෆ්‍රි කන්න බොන්න අරන් දීලා ගෙවල්වලට ගෙනත් දානවා. ඒ වගේම වස්ති අපේ ගෘප් එක මේ මාසේ අපේ ට්‍රිප් එක යනවා. මේක මම සහ දුලාජ් විතරක් භුක්ති විඳින ගේම් එකක් නෙමෙයි. 


කොහොමද අනුෂ්කගේ ගමනට පවුලෙන් ලබෙන සහයෝගය?


මගේ තාත්තා නම් හෘදයාබාධයකින් නැති වුණා. දැනට අමයි මමයි තමා ලංකාවේ ඉන්නේ. අක්කා ඉන්නේ ඩුබායි. ඇය විවාහකයි. අම්මත් ඉඳහිට ඩුබායි යනවා එනවා. අම්මා තමා මගේ හයිය. මගේ ජීවිතේ මෙහෙම පිළිවෙළකට තියෙන්නේ අම්මා නිසා. අම්මා නැති කාලෙක මට මොනවා වෙයිද කියලා හිතාගන්න අමාරුයි. 


පැතිරෙන කටකතා වගේම අනුෂ්ක හැමදාම තනිකඩව ඉදියිද? 


විවාහය කියන දෙයට ආස කට්ටියට ඒක හොඳයි. මම කැමතියි තනිකඩව ඉන්න. මම විනෝදාස්වාදය වෙනුවෙන් දේවල් නිර්මාණය කරන කෙනෙක්. ඉතින් ඒකට මනස නිදහසේ තිබිය යුතුයි. තනියම ඉන්න ජීවිතේට මම කැමතියි. සම්බන්ධතා කිහිපයක් පටන් අරගෙන ඉන්න උත්සහ කළා. නමුත් ඒ එකක්වත් හරි ගියේ නැහැ. මට අවශ්‍ය විධියට ඉන්නේ නැති වුණහම මට කේන්ති යනවා. එතකොට මට මගේ වැඩ කර ගන්න බැරුව යනවා. මම බලාපොරොත්තු වන දේවල් ඇය ළඟ නැත්තම් මම බොරුවටනෙ දුක් වෙන්නේ. ඔන්න ඕකයි මම තනිකඩව ඉන්න හේතුව.





Previous Post Next Post