දේශපාලනයේ හසරක් නොදැන හොර පාරෙන් නියෝජ්‍ය ඇමැති ධූරයක් ලබා ගත් ඔහු සිය පියාගේ ඇමැති බලය ආයුධය කරගෙන අහිංසක මිනිස් ජීවිතවලට ද තර්ජනයක් වෙමින් වර්තමාන දේශපාලනඥයකුගේ භූමිකාව නිරූපණය කරයි. ඔහු අපට හමුවන්නේ දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතේ ටෙලි නාට්යෙය්ය. කල්පන නම් නියෝජ්‍ය ඇමැතිවරයා ලෙසිනි. සැබෑ ජීවිතයේ දී රංගන ශිල්පියකු මෙන්ම ව්‍යාපාරිකයකු ද වන ඔහු නමින් මනෝජ් දේවගේය.
“සංගීතය කියන්නේ මං සම්බන්ධ වුණ මුල්ම ටෙලි නාට්‍යය. ඒක මේ තරම් දුර යයි කියලා නම් හිතුණෙ නෑ. ඒක නිෂ්පාදනය කරන ශාමිකා මෙන්ඩිස් අක්කා සහ ඩිරෙක්ටර් සාරංග මෙන්ඩිස් අයියා තමයි මට ආරාධනා කළේ. එයාලට ඕන වෙලා තිබුණේ මගේ වගේ පෙනුමක් තියෙන කෙනෙක්. ඉතින් මගේ පෙනුම තමයි ඒ චරිතයට මූලික වුණේ. ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියලා මාව තෝර ගත්තා. මාත් හිතුවෙ නෑ මෙතරම් ලොකු චරිතයක් වේවි කියලා. මුලින් පොඩි පොඩි කොටස් තිබුණේ. දැන් ඒක ප්‍රධාන චරිතයක් වෙලා. ගොඩක් ප්‍රතිචාර ලැබෙනවා. ප්‍රේක්ෂකයන් ඊළඟ කොටස එනකල් බලාගෙන ඉන්නෙ කියලා කියනවා. කල්පන කියන්නේ කළු චරිතයක් වුණත් රසිකයන් මට කවදාවත් බැණලා නෑ. එයාලා මගේ මූණටම කියනවා ඔවුන් මං රඟන චරිතයට කැමතියි. අද කාලයේ දේශපාලනඥයකුගේ චරිතයක් නිරූපණය කරන්න ලැබුණ එක මට සතුටක්. ඒත් මගේ තුන්හිතකවත් දේශපාලනයට එන්න නම් අදහසක් නෑ. වෘත්තියෙන් මං ව්‍යාපාරිකයෙක්. පවුලේ ව්‍යාපාරයට අමතරව මගේම කියලා ‘ඔන්ලයින් ක්ලෝතින් බ්‍රෑන්ඩ්’ එකක් කරනවා. පවතින ආර්ථික අර්බුදය හමුවේ කලාවෙන් විතරක් ජීවිකාව ගෙනියන්න අමාරුයි.”
සංගීතය හරහා බොහෝ ජනප්‍රියත්වයක් ලබා ගත් මනෝජ් කලාවට පිවිසීම ගැන සඳහන් කළේ මෙවන් අදහසක්.
“මීට අවුරුදු 3කට විතර කලින් තමයි මං සංගීතය ටෙලි නාට්‍යය හා සම්බන්ධ වුණේ. මේ ක්ෂේත්රයට එන්න කලින් මං මියුසික් වීඩියෝ කිහිපයක් කළා. ලහිරු මුදලිගේ අයියගේ මියුසික් වීඩියෝ එකක් හරහා තමයි කලාව හඳුන ගත්තේ. ඊට පස්සේ කළ සංදේශ් බණ්ඩාරගේ ‘සංසාරිනී‘ මියුසික් වීඩියෝ එක ගොඩක්ම ජනප්‍රිය වුණා. කැළුම් උඩුවාවල අධ්‍යක්ෂණය කළ කෙටි චිත්‍රපට කිහිපයකටත් රංගනයෙන් දායක වුණා. ඒ අතරේ තමයි සංගීතේ ටෙලි නාට්‍යයට ආරාධනා ලැබුණේ. මුලින්ම නිරූපණ ක්ෂේත්රයට සම්බන්ධ වෙලා හිටියා. රංගනයට ආසාවක් තිබුණත් ඒ ගැන හැදෑරීමක් කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. උසස් අධ්‍යාපනය සඳහා මට සිංගප්පූරුවට යන්න වුණ නිසා. කැලණිය ගුරුකුලේ පාසල් වේදිකාව මට හොඳ තෝතැන්නක් වුණා. සමස්ත ලංකා දක්වා ගිහින් ජයග්‍රහණ ලබන්නත් හැකියාව ලැබුණා. ඒ ලැබූ පන්නරය රංගනයේ දී මට ලොකු අත්වැලක් වුණා. නිර්මාණ රැසකට දායක නොවුණත් මෙතෙක් දායක වුණු නිර්මාණ ගැන මං තෘප්තිමත්. ශ්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘සුබ සහ යස’ වේදිකා නාට්‍යයට සම්බන්ධ වෙන්න හැකි වුණත් පවතින වාතාවරණය නිසා ඒවා වේදිකා ගත කරන්නට තාම අවස්ථාවක් ලැබුණේ නැහැ. සිනමාවටත් ආරාධනාවක් ලැබිලා තියෙනවා. සුධාරගේ ‘සූරියවංශ’ කියන ටෙලි නාට්‍යය සහ ‘සිහිනයකි ආදරේ’ කියලා නිර්මාණයකටත් සම්බන්ධ වුණා.
ආධුනික රංගන ශිල්පියකු ලෙස තමන් පැමිණි ගමන ගැන සඳහන් කළ ඔහු අලුතින් ක්ෂේත්රයට එක්වන පිරිසට කීවේ මෙවැන්නක්.
“කලාවට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. මේ ක්ෂේත්රය ගැන ලොකු හැදෑරීමක් කරලා එන්න අවස්ථාවක් නොලැබුණත් ක්ෂේත්රයට ආවට පස්සේ මං හැදෑරීමක් කළා. රාජගිරිය ‘ලයිට් හවුස් ඇකඩමියේ’ පාඨමාලාවක් වගේම ප්‍රසන්නජිත් අබේසූරිය මහතාගේ පාඨමාලාවක් හැදෑරුවා. ඊට අමතරව ක්ෂේත්රයේ ප්‍රවීණයන්ගෙන් ගොඩක් අත්දැකීම් ලබා ගත්තා. අලුතින් ක්ෂේත්රයට එන අයටත් මං කියන්නේ ක්ෂේත්රය ගැන හොඳ හැදෑරීමක් කරලා ආවොත් හොඳ අනාගතයක් තියේවි. සාර්ථක නිර්මාණ බිහිවේවි. හොඳ අධ්‍යාපනයක් ලබා තිබීමත් මේ ක්ෂේත්රයේ දී ගොඩක් වැදගත්.“
තරුණියකගේ නෙත් සිත් පැහැරගන්නා කඩවසම් පෙනුමකින් යුතු තරුණයෙක් වන මනෝජ් තරුණියන්ගේ ආකර්ෂණය නොඅඩුව ලබන්නෙක්.
“තරුණියන්ගේ ආකර්ෂණය නැතුව නොවෙයි. ඒත් මට ඕන මේ ක්ෂේත්රයේ හොඳ තැනකට යන්න. මගේ ඉලක්කයට ගිය දවසට ආදරයක් ගැන හිතනවා. මමත් ආදරය කරලා තියෙනවා. ඒත් මේ වෙද්දි මං ආදරවන්තයෙක් නෙවෙයි. මොන ප්‍රශ්නෙ ආවත් ආදරේ වෙනුවෙන් කැප වෙන්න පුළුවන් කෙනෙක්ට මං කැමතියි.”