මම නිරුවත් චරිත කොහෙත්ම බාරගන්නේ නැහැ - ශෂී ඇන්ජලිනා




ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චි විසින් ගායනා කළ නොදැක ඉන්න බෑ ගීතයේ මියුසික් වීඩියෝව හරහා කලාවට ආ ශෂී ඇන්ජලිනා මේ වෙද්දී රංගන ශිල්පිනියක්, නිරූපණ ශිල්පිනියක් වගේම දක්ෂ නිවේදන ශිල්පිනියක් ලෙස කටයුතු කරනවා. රංගනය වෙනුවෙන් පසුගියදා ඇය 2021 වසරේ හොදම නැගි එන නිළිය ලෙසින් සම්මාන ද ලැබුවා.


“මම ඉපදුණේ දියතලාවේ. පාසල් ගියේ ඇල්ලගම ගමේ පාසලට ගිහින් පස්සේ බණ්ඩාරවෙල ධර්මපාල විද්‍යාලයට. තාත්තා තමයි ගොඩක් ආස කළේ මම කලාවෙන් ඉදිරියට යනවා දකින්න. දැන් තාත්තා ජිවතුන් අතර නැහැ. අම්මා සහ මල්ලි ඉන්නේ. මල්ලි නම් දැන් විවාහ වෙලා ඉන්නේ. 


පොඩි කාලේ ඉඳන් ගොඩක්ම ආසාවෙන් හිටියේ රංගනයට. පුංචි කාලේ ඉඳන් මම ටීවී එකේ ගිය ටෙලි නාට්‍ය ආසාවෙන් බලපු කෙනෙක්. මම හැම තිස්සෙම හිතපු දෙයක් “අනේ මටත් මේ වගේ රඟපාන්න ලැබෙනවා නම්“ කියලා. ඉතින් ඒ අවස්ථාව මගේ යාලුවෙක්ගේ මාර්ගයෙන් මට ලැබුණා. ඒ ජනප්‍රිය ගායක රුවන් හෙට්ටිආරච්චිගේ ‘නොදැක ඉන්න බෑ‘ ගීතයේ රූප රචනාවෙන්. ඊට පස්සේ මට දෙරණ නාළිකාව හරහා නිවේදිකාවක් විදිහට කටයුතු කරන්න ලැබුණා. නොදැක ඉන්න බෑ ගීතය තුළින් පටන් ගත්ත ගමනට දැන් අවුරුදු 10ක්. මේ වෙද්දී මම මියුසික් වීඩියෝ 300කට වැඩි ප්‍රමාණයකට රංගන දායකත්වය ලබා දීලා තියෙනවා. කාලය ගත වෙලා ගියත් මට ලැබෙන වැඩවල අඩුවක් නැහැ. ඒ නිසා ආපස්සට හැරිලා බලද්දී මට මං ගැන සතුටු වෙන්න පුළුවන්. ගොඩක් අයට අද කාලේ මේ ක්ෂේත්‍රයට එන්න තියෙන අවස්ථා වැඩි වුණත් රැඳිලා ඉන්න අමාරුයිනේ. ඒ අතින් බලද්දී මේ අවුරුදු 10 තුළ කිසිම ප්‍රශ්නයක් නැතුව තාමත් මට වැඩ කරගෙන යන්න ලැබීම ගැන නිහතමානී සතුටක් තියෙනවා.


මේ කාලය ගත්තමත් මම අලුත් මියුසික් වීඩියෝ කිහිපයක් කළා. අලුත් ටෙලි නාට්‍යයක වැඩ භාරගෙන තියෙනවා. ඒ එක්කම යූ. ඒ පල්ලියගුරු නිෂ්පාදනය කළ “69“ චිත්‍රපටයේ වැඩ අවසන් වෙලා තියෙනවා.


මේ වසර 10ක කාලය තුළ රංගනයට ලැබුණු අවස්ථා ගැන තෘප්තිමත් ද කියන දේට ශෂී නම් කියන්නේ බොහෝ නිර්මාණ නොලැබුණත් ලැබුණු නිර්මාණ කිහිපය ගැන තෘප්තිමත් බවයි. ඒතුළින් ලැබුණු චරිත සඳහා සාධාරණයක් කරන්න පුළුවන් වුණා සහ ප්‍රේක්ෂක ආදරය දිනා ගන්න හැකියාව ලැබුණා. පෝර්ක් වීදිය නාට්‍යය වෙනුවෙන් 2021 වසරේ හොඳම නැගි එන නිළිය ලෙසින් සම්මාන ද ලැබුවා. ඉතින් මට සතුටුයි මට ලැබුණු අවස්ථා ගැන.


ගොඩක් නාට්‍යය වල දකින්න නොලැබෙන්නේ ශෂීට ලැබෙන ආරධනා අඩු නිසාද? නැත්නම් චරිත තෝරා බේරා ගැනීමක් කරන නිසාද?


“මම චරිත තෝරා බේරා ගැනීමක් කරන්නේ නැහැ. විශේෂයෙන්ම මම ගොඩක් මියුසික් වීඩියෝ පැත්තට සම්බන්ධ වෙලා ඉන්න නිසා නාට්‍යය අධ්‍යක්ෂකවරු වීඩියෝ එක්ක සංසන්දනය කළා ද දන්නේ නැහැ. ඇත්තම කිව්වොත් නාට්‍යය වලට මට වැඩිය ආරාධනා ලැබුණේ නැහැ. අහම්බෙන් ලැබුණු නාට්‍යය තමයි මම කළේ. ඒ නිසා මම කවදාවත් චරිත තෝරා බේරා ගැනීමක් නැහැ. මම කැමතියි ගම්බද චරිත වලට. හේතුව මට මෙතෙක් ලැබිලා තියෙන්නේ බටහිර පන්නයේ චරිත. මම කැමැත්තෙන් ඉන්නවා ඒකාකාරී චරිත නොකර විවිධ චරිත කරන්න.“


තෝරා බේරා ගැනීමක් නැහැ කියන්නේ රංගනයේ දී කිසිම සීමාවන් නැහැ කියන එකද?


“චරිතයට අවශ්‍ය නම් ඕනෙම ආකාරයක දර්ශනයකට පෙනී ඉන්නවද කියන ප්‍රශ්නයත් ඇහුවා. එතැනදී නම් ශෂී කියන්නේ පෞද්ගලික ජිවිතේ මත තමන්ම පනවාගත් සීමාවන් තියෙන බවයි. ඒ නිසා සිපගැනීම් සහ නිරුවත් හෝ අඩ නිරුවත් චරිත කොහෙත්ම භාරගන්නේ නැහැ. ඒ නිසා සිනමාවට නම් සීමාවක් අදාල වෙනවා. නමුත් නාට්‍යය වල නම් එවැනි දේවල් බොහෝ දුරට රූපවාහිනී තිරයේ පෙන්වීමක් කරන්නේ නැති නිසා නාට්‍යය පැත්තෙන් මට සාධාරණයක් කරන්න හැකි චරිත භාරගන්නවා. කොහොමත් මම භාර ගන්නේ මගේ හිතට එකඟව කරන්න හැකි නිර් මාණ පමණයි.


කලාවට අහම්බෙන් ආව ගමනේ පවතින්න පහසු වුණාද? ඒ ගැනත් අපි කතා කළොත් 


අපි හරි විදියට ඉඳලා හරි විදියට කළොත් මේ ක්ෂේත්‍රයේ රැදෙන්න පුළුවන්. එහෙම නැතුව කරන්නම් වාලේ දෙයක් කළොත්් පවතින්න බැහැ. අපි දෙයක් භාරගත්තොත් ඒ වෙනුවෙන් කැපවෙන්න ඕනේ. මම මේ ක්ෂේත්‍රයට ආවේ කිසිම දෙයක් දැනගෙන නෙවෙයි. ඒත් මම අදටත් ආසයි දන්නේ නැති දෙයක් ඉගෙන ගන්න. ජ්‍යෙෂ්ඨ කලාකරුවන් හමුවුණාම මම ඒ අයගෙන් ගුරුහරුකම් ලබා ගන්නවා. ඒ දේවල් හරියට අවබෝධ කර ගත්තොත් දිගු ගමනක් යන්න පුළුවන්.“


කටකතා ගොසිප් වගේ දේවල් නිසා කඩා වැටුණු අවස්ථා තියෙනවද?


කටකතා ගොසිප් නම් ගොඩක් එනවා. අපි මොන දේ කළත් කතා හදන අය ඉන්නවා. ඒවා නිසා හිතට පුංචි දුකක් දැනෙනවා. මම බොහෝම සංවේදී කෙනෙක්. ඇයි මට මෙහෙම කියන්නේ මම එයාලට මොනවා කරලද කියලා මටම දුක හිතෙනවා. මේ ළඟදී මම මැච් එකක් බලන්න ගියා. මම පොඩි කාලේ ඉඳන්ම ක්‍රිකට් මැච් බලන්න ආස කෙනෙක්. මම එදා ඇඳගෙන ගියේ ලෙගින් එකක් සහ ටී ෂර්ට් එකක්. ඒකට රටේ නැති කතා කියලා තිබ්බා. මම දන්නේ නැහැ ඒ ඇයි කියලා. කමක් නැහැ ඉතින්. ඵල ඇති රුකටනේ ගල් ගහන්නේ කියලා හිත හදාගෙන හිටියා.


ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගෙන් ආදර යෝජනාවක් ආවොත් භාර ගන්නවද කියලයි අපි ශෂීගෙන් ඇහුවේ. ශෂී කිව්වේ නම් මේ වෙද්දීත් එහෙම යෝජනාවක් ඇවිත් තියෙනවා. හැබැයි ඒක භාර ගත්තේ නැහැ කියලා. ඒකට හේතුව විදියට කියන්නේ ශෂී හොයන විදියේ කෙනෙක්ට අවංකව ආදරේ කරලා ඒ අය දාලා ගිය නිසා කාලයක් යනකම් නැවත ආදර කතාවක් පටන් ගන්නේ නැහැ කියලයි.


ශෂී සමාජ මාධ්‍ය එක්ක වැඩිපුර ගනුදෙනු කරන කෙනෙක් ද කියලා අහද්දී තමයි දැන ගන්න ලැබුණේ ශෂීගේ Fb ගිණුම සහ Fb ‍ෙප්ජ් එක මේ වෙද්දී හැක් කරලා තියෙන බව. ඔන්න ඒ නිසා මේ දවස් වල ශෂීගේ ගිණුමකින් මැසේජ් එකක් ආවොත් පරිස්සමෙන්. මේ කාලයේ ශෂීව සමාජ මාධ්‍යය තුළින් හමුවෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඉන්ස්ටග්‍රෑම් එක කියලත් ඇය කිව්වා.


අනාගත බලාපොරොත්තු ගැන කතා කරද්දී ශෂී කිව්වේ සෑහෙන කාලයක ඉඳන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න සැලසුම් කරගෙන යන බව. කොරෝනා නිසා සහ මේ වෙද්දී රටේ පවතින ආර්ථික අර්බුද හමුවේ ව්‍යාපාර වලට මුදල් යොදවන්න බියක් තියෙන නිසා තව පොඩ්ඩක් කල්පනා කරලා හිතලා බලලා පටන් ගන්න ඉන්න බවත් රසඳුනට කිව්වා.


අනුෂා රණසිංහ





Previous Post Next Post