මගේ හිතේ තියෙන දේවල් ලැබෙන්න තවම කාලය හරි නැතිව ඇති -රනිල් කුලසිංහ




තමන්ටම ආවේණික වූ පෙනුම සහ අපූරු රංග කුසලතාවකින් රංගන ක්ෂේත්‍රයට අවතීර්ණ වූ රනිල් කුලසිංහ අද වෙද්දී ටෙලි නාට්‍යය අධ්‍යක්‍ෂවරයෙකුද වනවා. ඔහු පිවිසෙන්නේම අධ්‍යක්ෂකවරයකු වීමේ බලාපොරොත්තුව ඇතිව. ඒ නිසාම රංගනයෙන් පසු අධ්‍යක්ෂවරයකු වීම මත ඔහු තුළින් රංගන ශිල්පියා මඳකට ඈත්ව ගොස් තිබෙනවා.


රනිල්ගේ රංගනයක් ස්වාධීන රූපවාහිනිය හරහා පසුගිය දිනවල ප්‍රේක්ෂකයන්ට සමීප වනවා. ඒ ගයනි අශිංසනා තිර රචනාව කර ඇති “මීනු“ නාට්‍යය තුළින්. එය අධ්‍යක්ෂණය කරන්නේ ඉරේෂ් ලොකුබණ්ඩාර. “මීනු” ෆාහීම් මවුජූඩ්ගේ නිෂ්පාදනයක්. මෙහි වෛද්‍ය රුසිරුගේ චරිතයට ජිවය දෙන්නේ රනිල් කුලසිංහ. කලකින් ප්‍රේක්ෂකයන් අතරට ආ රනිල් කුලසිංහ සමඟ කළ කතා බහයි මේ.


“මම මගේ තුන්වෙනි නිර්මාණයේ වැඩ කටයුතු පටන් අරන් තියෙනවා. “භුමි“ කියලා තමයි එය නම් කර තිබෙන්නේ. මේ දවස්වල මුලික වැඩ කටයුතු ඉවර වෙලා සංස්කරණ කටයුතු කරගෙන යනවා. ඒ එක්කම රටේ තත්ත්වය එක්ක ක්ෂේත්‍රයේ වැඩ කටයුතු කෙරෙන්නේ අඩුවෙන් නිසා පොඩි නිදහසක් තියෙනවා. මේ කාලය මම යොදවලා තියෙනවා ඔන් ලයින් මාර්ගයෙන් චිත්‍රපට අධ්‍යක්ෂණය ගැන හැදෑරීමක් කරන්න. මගේ අලුත්ම තොරතුරු ඕවා තමයි.


ඊට අමතරව අවුරුදු දෙකහමාරකට පස්සේ මම රංගනයෙන් දායක වුණු “මීනු” ටෙලි නාට්‍යය සතියේ දිනවල ස්වාධීන රූපවාහිනිය හරහා රාත්‍රී 9.00ට විකාශය වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ එහි අධ්‍යක්ෂ ඉරේෂ් ලොකුබණ්ඩාර අයියාව. ඔහු තමයි මට මේ නිර්මාණය කරමු කියන තැනට මගේ ඔළුව වෙනස් කළේ. මම අධ්‍යක්ෂණය කියන තැනට යොමු වුණාට පස්සේ රංගනයෙන් ඈත් වෙනවා. කොහොමත් මම රංගනයට එන්නෙම කවදා හරි අධ්‍යක්ෂවරයෙක් වෙනවා කියන බලාපොරොත්තුවෙන්. පානමංකඩ සහ වලවෙට්ටුවා කියන නාට්‍යය දෙකම එකම කාලයේ තිරගත වීමත් එක්ක බොහෝ කාර්යබහුල වුණා. ඒ අතර ආව පොඩි හිඩැසකටත් එක්ක තමයි මීනු නාට්‍යයට සම්බන්ධ වෙන්නේ. ගයනි අශිංසනා ඒ පිටපත ඉතා ලස්සනට සකස් කරලා තිබුණා. මම ඒ පිටපතට තිබුණු කැමැත්තයි, ශලනි තාරකා සහ මේනක රාජපක්ෂ රංගනයෙන් දායක වෙන නිසා ඒ චරිතය මම බාර ගත්තා. මගේ ටෙලි නාට්‍යය ඉතිහාසයේ මගේ පළමුවෙනි නාට්‍යය වන “දුවිලි මල්“ හි මගේ ආදරවන්තිය වුණේ ශලා. ඉතින් ආයේ අවුරුදු ගාණකට පස්සේ නැවත රංගනයට එන පළවෙනි වැඩෙත් ශලනි ඉන්නේ. ශලනි කියන්නේ ඉතා දක්ෂ නිළියක්. මේ වෙද්දී බොහෝ දෙනා “මීනු“ නාට්‍යය එක්ක එකතුවෙලා ඉන්නවා. ඒ නිසා පෞද්ගලිකව මටත් මම රඟපෑ චරිතයටත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 


මෙහි එන කතා තේමාව සහ මෙහි ඉන්න නළු නිළියන් එක්ක සහ ඉරේෂ් ලොකුබණ්ඩාර අයියා ගැන තිබෙන විශ්වාසය එක්ක මට හිතුණා ඉතා හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙයි කියලා. මේ චරිතය මම භාරගත්තේ සීමිත කොටස් ගණනක නිර්මාණයක් නිසා. ඒ වගේම මම චරිතයක් බාර ගන්නෙත් හොඳින් කියවලා. මේ තුළ තියෙන්නේ අසේකා තමන්ගේ විවාහක සැමියාගෙන් වෙන අසාධාරණ කම් නිසා දරුවෙක් එක්ක තනිවෙලා ඉන්නකොට එයාට ඇතිවන අසනීප තත්ත්වයක් නිසා ආදරෙන් පැරදුණු රුසිරු කියන වෛද්‍යවරයා හමුවෙලා ඒ දෙන්නගේ ජිවිත ගැන දෙන්නා කතා කරන සිද්ධීන් එක්ක ඇතිවන බැඳීමක්. මේ වගේ දේවල් වර්තමානයේ තියෙන නිසා මම එය භාර ගත්තා. මට ලැබෙන භූමිකාව මට පුළුවන් උපරිමයෙන් කරන්න උත්සහ කරනවා. ලැබෙන ප්‍රතිචාර එක්ක දැනෙනවා සාර්ථක වෙලා තියෙන බව. ඉඳලා ඉඳලා කරන නිර්මාණය වුණත් ට්‍රෙන්ඩින්වලට ගිහිල්ලා ලොකු කතාබහකට ලක්වෙලා තියෙනවා. එහෙම පොඩි වාසනාවකුත් තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ ශලනි කරන අසේකාගේ චරිතය ප්‍රේක්ෂකයන් වැලඳගෙන තියෙනවා. ප්‍රේක්ෂකයන් නම් කියන්නේ දිගටම රඟපාන්න කියලා. නමුත් ක්ෂේත්‍රයේ අය නම් කියන්නේ අධ්‍යක්ෂණය තමා හරි යන්නේ කියලා.


මේ වෙද්දී තවත් පිටපත් තුන හතරක් ලැබිලා තියෙනවා. නමුත් මට තියෙන කාල වේලාව හදාගෙන කරන්න ඕනේ. මමත් අධ්‍යක්ෂකවරයෙක් නිසා මම දන්නවා කවදාවත් නිෂ්පාදන කණ්ඩායමක් අමාරුවේ දාන්න හොඳ නැහැ කියලා. මම කොහොමත් වැඩ පටලාගෙන කරන්නේ නැහැ. චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්නත් ආරාධනාවක් ඇවිත් තියෙනවා. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම තමයි මගේ හීනය නම්, ඒකටත් මුලික කටයුතු මේ දිනවල සකසාගෙන යනවා. මගේ යාළුවෙක් කිව්ව ලස්සන කතාවක්. ඒ ගැනත් කතාවෙමින් යනවා. තවම මම නව පරපුරේ අලුත්ම අධ්‍යක්ෂවරයෙක් නිසා අපට තව අත්දැකීම් තියෙනවා එකතු කර ගන්න. ඕනෑම අධ්‍යක්ෂවරයකුගේ හීනය වෙන්න ඕනේ සිනමාව. සිනමා නිර්මාණයක් අධ්‍යක්ෂණයට සීමා නැහැනේ. එතකොට අපේ හිතේ තියෙන නිර්මාණයම කාල වේලාව අරගෙන පෙන්වන්න ලැබෙනවා. ඒ නිසා තමන්ගේ නිර්මාණ හැකියාවන් පෙන්වන්න තියෙන ප්‍රධාන තැනක් සිනමාව. මමත් ආසාවෙන් බලාගෙන ඉන්නවා කවද්ද සිනමාවට එන්න පුළුවන් වෙන්නේ කියලා.


ජිවිතේ ඕනෑම දෙයක් සිද්ධ වෙන්න කාලය අවශ්‍යයි. කාලයට බාරදීමක් නෙවෙයි. මගේ කලා ජීවිතේ හෝ මගේ පෞද්ගලික ජිවිතේ මම හිතේ තියන් ඉන්න දේවල් ලැබෙන්න කාලයක් ඇති. හැබැයි ඒ දේවල් ලැබෙන්නේ කවදද කියන්න මම දන්නේ නැහැ. හැබැයි මම ඒ දේවල් ඉටු කරගන්න උත්සහ ගන්නවා මේ දවස් වල.


ජිවිතේ දිහා ආපස්සට හැරිලා බලද්දී මම ආ ගමන් මඟ ගැන තෘප්තිමත්. මෙච්චර ඉක්මනට අධ්‍යක්ෂවරයෙක් විදියට තමන්ගේ අනන්‍යතාවක් හදන්න පුළුවන් වෙයි කියලා හිතුවේ නැහැ. නමුත් මේ වෙද්දී මගේම අනන්‍යතාවක් හදාගෙන තියෙනවා.


අනුෂා රණසිංහ





Previous Post Next Post