කව්පි ඇටයක් හින්දා ඉස්පිරිතාලෙත් ගියා- නිරෝෂා තලගල




නිරෝෂා.. චූටි දුවගේ නම මොකක්ද?


අපේ චූටි දුවගේ නම ඕජි අව්රංගනා. දැන් එයාට වයස අවුරුදු තුනයි.


දැන් එයා කොහොමද? දඟයිද?


අම්මෝ.. ඔව්. චූටි දූ දැන් දඟ මල්ලක්. හරිම හුරතල් දරුවෙක්. එයා හරියට එක එක්කෙනා අනුකරණය කරනවා. පුංචි කාලේ ඉඳන් එයා එහෙමයි. ඒ හුරතල්කම වැඩිපුරම විඳින්නෙ මමයි. එයා මාත් එක්ක ගොඩක් හුරතල් වෙනවා. මගේ අක්කගේ සහ නංගිගේ පුතාලා හතරදෙනත් එක්ක තමයි දූ හැදෙන්නෙ. අපේ මුළු පවුලෙම එකම දුව නිසා එයා කට්ටිය අතරේ හරියට සුරංගනාවියක් වගෙයි හැදෙන්නෙ. අයියලත් "අපේ නංගිනේ.." කියලා හැම වෙලාවෙම එයාට මුල් තැන දෙනවා. දූ ඒක දන්නවා. ඒ නිසා දුවට ඕන විදිහට එයා දැන් අයියලා හතරදෙනත් පාලනය කරගෙනයි ඉන්නෙ. ඒ හතරදෙනාට දූ හරි ආදරෙයි. හැමවෙලේම කොල්ලො කරන වැඩමයි කරන්නෙ. පුටුවක් මේසෙ ළඟ තියලා ඒකට නැගලා මේසෙ ඉඳන් බිමට පනිනවා. ඒ නිසා හැමවෙලේම එතන මෙට්ටයක් දාලයි තියෙන්නෙ. අපේ මහ ගෙදර පේර ගහක් එක්ක නාරං ගහක් තියෙනවා. පුතාලා ඒ ගස්වල උඩටම නගිනවා. මෙයා පොඩිකමට තරමක් දුරට නගිනවා. සමහර වෙලාවට එයාගේ ලෝකය විඳින්න දීලා මම බලාගෙන ඉන්නවා.


ඔයා ගෙදර ඉන්න වෙලාවට චූටි දුවගේ ප්‍රතිචාර කොහොමද?


රෑගත කිරීම් නිසා මම ගෙදර රුඳෙන කාලය ටිකක් අඩුයි. අසේලත් රුකියාවට යනවා. හැබැයි තාත්තා ගෙදර නැති එකට වඩා අම්මා ගෙදර නැති එක එයාට දැනෙනවා වැඩියි. රෑගත කිරීම් කරලා මම ගෙදර එද්දි 'අම්මා' කියලා මගේ ඇඟට පනිනවා. මම ගෙදර හිටියොත් එයා තනියෙන් කන කෑම එක මට කියලා කවාගන්නවා. එයා රූපවාහිනය බලද්දි මාත් එයා ළඟට වෙලා ඉන්න ඕනෙ. මගේ ඇඟට හේත්තුවෙලා තමයි එයා කාටූන් බලන්නෙ. ඒ නිසා මම ගෙදර ඉඳිද්දි මට හුරතල් වදයක් දෙනවා. එයාට මම ඉඳිද්දි මගේ ඇඟේ ගැටි ගැටී ඉන්න ඕනෙ. ගෙදර වැඩත් එක්ක මම එයාගේ ඒ ආසාවන්ටත් ඉඩ දෙනවා. එයා තාත්තට හරි ආදරෙයි. හැබැයි හැමදේකදිම 'අම්මා' කියලා තමයි කියන්නෙ.


දූ වැඩිපුරම කැමති මොනවටද?


චූටි දූ චොක්ලට්වලට හරි ආසයි. බීම බොන්න ගියත්, කිරි පැකට් එකක් බොන්න ගියත් චොක්ලට් රසැති දේ තමයි හොයන්නෙ. ඒ වගේම එයා බත්වලටත් ආසයි. කිරිබත් හැදුවොත් නම් දවස් හතර පස් වතාවක්ම කිරිබත්ම කනවා. තාත්තයි දූයි දෙන්නම කිරිබත්වලට හරි ආසයි. සමහර වෙලාවට රෑට කන්න ගියත් "අම්මා කිරිබත් නැද්ද?" කියලා අහනවා. එයා චයිනීස්, බටහිර පන්නයේ කෑමවලට එතරම් කැමැත්තක් නැහැ.


නිරෝෂාව රූපවාහිනියෙන් දකිද්දි එයාගේ ප්‍රතිචාර කොහොමද?


චූටිම කාලෙදි මාව රූපවාහිනියෙන් දකිද්දි එයා ඇඬුවා. රූපවාහිනියෙන් මාව දකිද්දි මම එයා ළඟ හිටියේ නැත්නම් එයා හයියෙන් ඇඬුවා. එයා රූපවාහිනිය දාද්දි මාව හැමවෙලේම රූපවාහිනියෙන් දකින්න ඕනෙ කියන හැඟීම තිබුණු කාලයක් එයාට තිබුණා. "බේබිට අම්මිව බලන්න ඕනෙ" කියලා කිව්වා. රූපවාහිනියෙන් මම අඬනවා නම්, කවුරුහරි මට ගහනවා නම්, බණිනවා නම් එයා කැමති නැහැ.


දුව නිසා හිත කලබල වුණු සිදුවීමක් කිව්වොත්?


එයාගේ දෙවැනි උපන් දිනය දවසේ උදේ චූටි දුව නැගිටලා හිටියා. මම එයාව මගේ අම්මටයි නංගිටයි දීලා නර්තන පුහුණුවීමකට ගියා. යන අතරමගදි "දූ නහයේ කව්පි ඇටයක් හිර කරගෙන" කියලා ගෙදරින් ඇමතුමක් ආවා. මම ගෙදරට වාහනය පදවගෙන ආවේ කොහොමද කියලා අදටත් මට මතක නැහැ. මම එද්දි නහයේ ලොකු කව්පි ඇටයක් හිරවෙලා. නහයේ තෙතට ඇතුළත් ඉදිමිලා. මම එදා පුදුම විදිහට බය වුණා. කොවිඩ් පටන් ගත්තු අලුතමයි. ඒ වෙලාවේ අසේල වැඩට ගිහින් හිටියෙ. මගේ නංගි ගෙදර හිටියා. අපි රෝහලට අරන් ගියාම පී.සී.ආර්. කරන්න ඕන කිව්වා. මගේ අතපය වෙව්ළුවා. මුලින්ම මගේ පී.සී.ආර්. කළා. දුවගෙත් කළා. කොහොම හරි ඊට පස්සෙ වෛද්‍යවරු දුවගේ නහයේ තිබුණු කව්පි ඇටය ගත්තා. ඒ සිදුවීම මට කවදාවත් අමතක වෙන්නෙ නැහැ. මගේ ජීවිතේ නතර වුණා වගෙයි දැනුණෙ. 


චූටි දූ ළදරු පාසල් යනවනෙ. මුලින්ම ගිය දවසේ එයාගේ ප්‍රතිචාර කොහොමද?


ඇත්තටම එයා ළදරු පාසල් ගිය දවසේ මම හරිම බයෙන් හිටියෙ. එයා හරිම ආසාවෙන් ලස්සනට ඇඳුම් ඇන්දා. මල් වට්ටිය අරගෙන එයා ගියේ. එයා දාලා මට එන්න හිත ඉඩ දුන්නෙ නැහැ. "දූ ඇඬුවොත්.." කියලා මම ළදරු පාසල එළියේ ඉන්නයි හිතාගෙන ගියේ. ඒත් එදා ඉඳන් අද වෙනතුරු දූ ඇඬුවේ නැහැ. ළදරු පාසල ඇතුළට ගිහින් ගුරුතුමිගේ අත අල්ලගත්තට පස්සේ අම්මා ඉන්නවාද.. අම්මා ගියාද?.. අම්මට බායි කියන්නවත් දූ පිටිපස්ස හැරිලා බැලුවෙ නැහැ. දූ ගැන මට හරි සතුටුයි.


තාත්තයි දුවයි ගෙදර ඉඳිද්දි මොනවද කරන්නෙ?


තාත්තයි දුවයි ගෙදර ඉඳිද්දි දෙන්නා ආසා දේවල් තනියම හදාගෙන කනවා. දෙන්නා එකට නානවා. මම දුවගේ දත් මදින්න ලෑස්ති වෙද්දි දූ වත්ත හතර මායිමේ දුවනවා. තාත්තා දත් බුරුසුව අරගෙන "බබා.. දත් මදිමු" කියපු ගමන් දූ තනියම දත් ටික මැදගන්නවා. තාත්තට කියලා කොණ්ඩෙ පීරගන්නවා. දෙන්නා ගෙදර ඉඳිද්දි තාත්තා සින්දු කියනවා. දූ නටනවා. ඒ දෙන්නා ගෙදර ඉඳිද්දි වෙනම ලෝකයක්. ඒක හරි ලස්සනයි.


අසේල, චූටි දූ එක්ක අද ගත කරන ජීවිතේ ගැන මොකද හිතෙන්නෙ?


අසේල චුට්ටක් සැර කෙනෙක්. හැබැයි දැන් දූ තාත්තගේ කේන්තිය පාලනය කරගෙනයි ඉන්නෙ. දූ තාත්තා එක්ක දඟලන්න, හුරතල් වෙන්න හරි ආසයි. හැබැයි අසේලගේ වැඩ කටයුතු එක්ක එයාට දූ එක්ක ගත කරන්න තියෙන කාලය චුට්ටක් අඩුයි. ඒ ගැන මට දුකයි. ඇත්තටම අද අපි තුන්දෙනා ජීවිතේ පුදුම විදිහට විඳිනවා.


දිශානි






Previous Post Next Post