කාර් එකක් වෙනුවට කාර් සේල් එකක් ගත්තා - බුවනි දියලගොඩ




පුංචි තිරයේ එදත් අදත් වැඩිය නොදකින නමුත් අදටත් එදා වගේම ජනතාව අතර නම තියා ගත්ත ඈ බුවනි දියලගොඩ. වත්සලා දියලගොඩගේ ආදරණීය නැගණිය වූ ඈ සීමිත නිර්මාණ කිහිපයකට පමණයි රංගනයෙන් දායක වුණේ. නිහඬව කල් ගෙවන ඇ ගැන  විස්තර තබන්න අපි හිතුවා. ඒ කතාබහට ඇයගේ ආදරණීය සැමියා වූ කසුන්වත් එකතු වුනා.



වුරුදු පහකින් විතර ටෙලි නාට්‍යයකට හෝ චිත්‍රපටයකට පෙනී ඉඳලා නැහැ, ඒ ඇයි බුවනි ..? 


මම විවාහ ගිවිස ගත්ත දවසේ හිතුවා ඊට පස්සේ නිර්මාණ සඳහා සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ පොරොන්දුව දුන්නේ මට. තවම මම ඒ පොරොන්දුව ඉටු කරමින් ඉන්නවා.


පවුල රැක ගැනිමේ වෑයමක්ද ඒ..?


එක පැත්තකින් ඔව් කියන්න පුළුවන්. අක්කා වගේම මමත් විවාහ වුණාට පස්සේ හිතුවා පවුල අංක එක වෙන්න ඕන කියලා. කසුන් කියන්නේ පොළොන්නරුවේ කෙනෙක්. ඒ වගේම එයා පවුලට හරිම ළැදි කෙනෙක්. මට ඕන වුණා එයාගේ සිතුම් පැතුම් තේරුම් අරගෙන පවුල වෙනුවෙන් කැප වෙන්න.


ඔහු බිය ඇති ඇතැම් නළු නිළියන්ගේ වගේ පවුල් ජීවිතේ දෙකඩ වෙයි කියලා ..?


කසුන් මට කවදාවත් කියලා නැහැ ඔයා මේක කරන්න මෙහෙම ඉන්න කියලා. මේ මගේ කැමැත්ත. එයා මට නිතී දාලා නැහැ. මට හිතුණොත් ආයෙමත් රඟපාන්න පුළුවන්. එයා එපා කියන්නේ නැහැ .


ඔබ කලාවට එන්නේ ඔබේ සහෝදරිය රංගනයට සමුදෙනවත් එක්කම, එතරම් නිර්මාණ සංඛ්‍යාවකට ඔබ හිටියෙත් නැහැ , නැවත රංගනයට අවතිර්ණ වුණොත් ..?


මම රංගනයට ආවේ 2012 අවුරුද්දේ. නිර්මාණ සුළු ප්‍රමාණයක් විතරයි කරලා තියෙන්නේ. ටෙලි නාට්‍ය දෙක තුනක් විකාශය වෙන්නත් තියෙනවා. චිත්‍රපට තුනකට සම්බන්ධ වුණා. ඒකෙන් දෙකක් විකාශය වුණා. ඉදිරියට ආසයි නාට්‍යයකට සම්බන්ධ වෙන්න. හොඳ අවස්ථාවක් ලැබුණොත් දැන් නම් සම්බන්ධ වෙනවා. ආසාවකින් ඉන්නවා.


කාලයක් නිර්මාණ සඳහා සම්බන්ධ නොවුණු නිසා ආරාධනා නොලැබෙනවත් ඇති..?


මම මුලින්ම කිව්වව නේ සම්බන්ධ වෙන්නේ නැහැ කියලා. ඒ නිසා වෙන්න ඇති ඊට පස්සේ ආරාධනා නොලැබුණේ. ඒ වගේම දැන් ෆීල්ඩ් එකේ අලුත් අය ගොඩක් ඉන්නවා. ඒකත් හේතුවක් වෙන්න පුළුවන්.


ඔබ කෙටි කලකින් ජනප්‍රිය වෙලා තවමත් ඒ ජනප්‍රියත්වය රඳවාගෙන ඉන්න රංගන ශිල්පිනියක්, ඇත්ත කියන්න නාට්‍ය දකිද්දී දුකක් හිතුණෙම නැද්ද...?


නැත්තේ මොකද, දුකක් දැණුනු අවස්ථා බොහොමයක් තියෙනවා. මට මේ චරිතයට ඉන්න තිබ්බා නම් කියලා හිතලා තියෙනවා. නමුත් ඒ සැණින් ඒ දුක නැති වෙනවා මම ලස්සන පවුල් ජීවිතයක් ගත කරන එක මතක් වෙද්දී.


කසාදයට නිළියෝ සියයට හැත්තෑවක් විතර තෝරාගෙන ඉන්නේ ව්‍යාපාරිකයින්, ඔබත් එහෙමයි, යැපෙන්න ලේසියි කියලා හිතුවද..?


මම හිතන්නේ මට කසුන් දේවින්ද කියන චරිතය මුණගැහුණේ දෛවය නිසා කියලා නේ. ඒ හමුවීම නම් ඇත්තටම අහම්බයක්. හිතලා ව්‍යාපාරිකයෙක් එක්ක යාළු වුණෙත් නැහැ නේ. විවාහ වුණෙත් නැහැ. යැපෙන්න ඕන නිසා එයාව සැමියා කර ගත්තෙත් නැහැ. එහෙම වුණා නම් මම තවම රඟපානවා. ආදරයක් නිසා තමයි අපි හොඳින් ඉන්නේ.


කසුන්ව මුණගැහෙන්නේ වාහනයක් මිලට ගන්න හොයමින් ඉන්න කාලෙක, එහෙම නේද ..?


දවසක් කසුන්ගෙන් ෆේස්බුක් රික්වස්ට් එකක් ඇවිත් තිබ්බා. එයාගේ ප්‍රොෆයිල් එක බලද්දී දැක්කේ කාර් සේල් එකක් තියෙනවා කියලා. ඊට පස්සේ මම කැමති වාහන ටිකක් ගැන කියලා මැසේජ් කළා. එයා මට උත්තර දීලා කාර් හොයන්න උදව් කරා.


අන්තිමට වාහනයක් ගත්තද..? 


නැහැ නේ, වාහනේ හොයන එක පැත්තකින් තියලා අන්තිමට අපි දෙන්නා හිතවත් වුණා. කාර් එකක් වෙනුවට කාර් සේල් එකක් ගත්තා.


ඔහු වාහනයක් තෑගි කරලා නැද්ද ..?


තෑගි කරෙත් නැහැ වාහනයක් දුන්නෙත් නැහැ. ඒ වුණාට කාර් සේල් එකට එන මම කැමැති වාහනයක් තිබ්බොත් කියනවා ඇති තරම් පැදලා දෙන්න කියලා. මට ඇති වුණාම වාහනේ ගිහිං දානවා.


බුවනිගේ කතාබහෙන් අනතුරුව ඔහුගේ සැමියා කසුන් මෙලෙසින් කතාබහ ට එකතු වුණා .


කසුන් බුවනිට ෆේස්බුක් රික්වස්ට් එක්ක දැම්මේ ඔයා එයාගේ රසිකයෙක් නිසාද..?


මම එයාගේ රසිකයෙක් නම් නෙමෙයි. බුවනිව දැක්කම රික්වස්ට් කරන්න හිතුණා. මම එයාගේ නාට්‍ය අදටත් බලලා නැහැ. නමුත් විශේෂ දෙයක් හිතිලා දැම්මෙත් නැහැ. හැමදේම වෙන්නේ අහම්බෙන් තමයි.


ඒ එකවුන්ට් එක ෆේක් එකක් කියලා හිතුණේ නැද්ද ..?


එකවුන්ට් එක බලද්දී නම් එහෙම හිතුණේ නැහැ. ඒ ගැන ඇත්තටම වැඩිය හිතුවේ නැහැ කිව්වොත් හරි.


ඇය වාහනයක් මිලදී ගන්න අහද්දි මොකද හිතුණේ..?


එයා නිළියක් කියන එක මට වැදගත් වුණේ නැහැ නේ. මට කස්ටම කෙනෙක් කියලා විතරයි හිතුණේ. ආදරයක් හිතිලත් තිබුණේ නැහැ. ‍


ආදරේ හිතෙන්නේ..?


අපි දෙන්නා වාහන ගැන කතාබහ කරන අතරතුර හිතවතුන් වුණා. මුලින්ම ෆෝන් නම්බර්ස් හුවමාරු කර ගත්තේවත් නැහැ. මාස හයක් විතර ෆෝන් එකෙන් කතාබහ කළා. එයාගේ ගෙදර තියෙන ලේන් එකේමයි මම හිටපු ගෙදර තිබ්බේ. ගෙවල් ළඟ නිසා මම එයාලගේ ගෙදර ගියා. ඊට පස්සේ මට හිතුණා එයාට ආදරේ කරන්න වගේම විවාහ කර ගන්න. මම ගෙදර ගිහිං එයාගේ දෙමාපියන්ගෙන් ඇහුවා. අකැමැත්තක් තිබ්බේ නැහැ කාගෙන්වත්. අපි විවාහ වුණා.


නළු නිළියෝ එක්ක විවාහ වුණාම විවාහ වූ සැණින් දික්කසාද වෙනවා කියලා සමාජයේ කතාබහක් තියෙනවා, ඒ ගැන බයක් තිබ්බේ නැද්ද?


මොන ක්ෂේත්‍රය ගත්තත් පවුල් අවුල් දික්කසාද තියෙනවා. ජනප්‍රිය නිසා නළු නිළියන්ගේ විවාහ හෝ දික්කසාද ගැන කතා වෙනවා වැඩියි. කවුරු කොහොම හිටියත් අපි හරියට හිටියා නම් හරි. මට නම් අවුලක් නැහැ. බයකුත් නැහැ


ඒ කියන්නේ බුවනි හොඳ බිරියක් ..?


එයා හොඳ බිරියක් නිසා නේ එයා කැමති දේ කැප කරලා පවුල් ජීවිතේට මුල් තැන දුන්නේ. රස්සාව කරන තැන රස්සාව තියලා ආවම පවුල් ජීවිතේ කොහොමත් ලස්සනයි. මමත් එහෙමයි. මම ව්‍යාපාරිකයෙක් කියලා ඒක ගෙදර අරන් ඇවිත් හරියන්නේ නැහැ . බුවනි නම් එයාගේ වගකීම් ඉටු කරනවා. හැමදේකටම උදව් කරනවා. රසට කෑම බීම හදනවා.


නිළියක් මේන්ටේන් කරන්න ලෙහෙසි නැහැ නේ..?


එයා හිටපු විදිහට ඉන්නවා. ජිම් යන්න ඕන කියලා හිතුණොත් යනවා. හොඳට කන්න බොන්න ඕන කියලා හිතුවොත් ඒකත් කරනවා. මහත් වුණා කියලා ඩයට් කරනවා. ඒ දේවල් කරන්නේ එයාගේ කැමැත්තට. නිළියක් නිසා නෙමෙයි . නිළියක් කියලා ලොකුවට හිතන්නේත් නැහැ.


ඔබේ ගම පොළොන්නරුව, ඇය කොළඹ , ඇගේ විලාසිතාවලට ඔබ නිතිරීතී දාන්නේ නැද්ද ..?


එයා ලස්සනට අඳිනවා. මම ගමක ජීවත් වුණා කියලා මට ඕන විදිහට එයාට ඉන්න කියන්නේ නැහැ. එයා කොහොමත් සංවර විදිහට විලාසිතා කරන්නේ.





Previous Post Next Post