මටත් ආදරේ කරන කෙනෙක් ඉන්නවා - දමිත්‍රි සුබසිංහ



නර්තනය නිසා ඉදිරියට පැමිණි ඇය අද වන විට කවුරුත් හඳුනන්නේ නිළියක් ලෙසිනි. ඒ ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ රංගනය නිසාය. ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ නැටුම් ටීචර්ගේ චරිතය රඟන ඇය මේ දිනවල කාගේත් ප්‍රසාදය දිනාගත් නිළියකි. දේශපාලන හස්තයට හසු වී වැසී යෑමට යන ‘ඉස්කෝලේ’ බේරා ගැනීමට වෙර දරන නැටුම් ටීචර්ට පණ පොවන ඇය දමිත්‍රි සුබසිංහයි.


 “මේ දවස්වල ඉස්කෝලෙත් එක්කයි වැඩිපුරම කාලය ගත කරන්නේ. ඊට අමතරව මගේ උපාධියේ අවසන් අවුරුද්ද මේ ගත කරන්නේ. ඉගෙනීමේ වැඩත් කරගෙන මගේ නැටුම් පන්තිත් කරගෙන යනවා මේ දවස්වල. අද වන විට විහාරා ප්‍රේක්ෂකයන් අතරේ ගොඩක් ජනප්‍රියයි. පසුගිය රයිගම් සම්මාන උලෙළේ ජනප්‍රියම නිළියන් අතරින් අවසන් පස්දෙනා අතරට එන්න ලැබීමත් සතුටක්. නිළියක් වෙන්න මං කවදාවත් හීන දැකපු කෙනෙක් නෙවෙයි. මං වෘත්තියෙන් පෞද්ගලික බැංකු නිලධාරිනියක්. රාජකාරි වැඩ කරන අතරතුරේ තමයි මං ඩාන්සිං වැඩත් කළේ. මට රංගන ක්ෂේත්‍රයට එන්න අවස්ථාව ලැබෙන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය වීම නිසා.”


දෙරණ නිෂ්පාදනය කළ, දිලුක ගුණතිලක අධ්‍යක්ෂණය කළ නොනිමි ටෙලි චිත්‍රපටය ඔස්සේ තමයි දමිත්‍රි සුබසිංහව ප්‍රේක්ෂකයා දකින්නේ ‘පාවෙලා වලාකුළේ ඒවිද අම්මා‘ ටෙලි නාට්‍ය හරහා ප්‍රේක්ෂකයා දමිත්‍රිව හොඳින්ම හඳුනා ගත්තා. එහි උදාරා සහ මධාරා කියන ප්‍රධාන ද්විත්ව චරිතය ඔස්සේ ප්‍රේක්ෂකයා ඇයව වඩාත් හොඳින් හඳුනා ගත්තා.


“පාවෙලා වලාකුළේ ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දි දෙර‍ෙණ ලක්සිරි වික්‍රමගේ සර් සහ චරිත් කොතලාවල අයිය මට කිව්වා අලුත් නාට්‍යයක් කරනව එහි නැටුම් ටීචර්ට ඔයාව තමයි සිලෙක්ට් කරගෙන ඉන්නෙ කියලා. සමන් එදිරිමුණිගේ තිර රචනයකට දිලූක ගුණතිලක අධ්‍යක්ෂණය කළ ‘ඉස්කෝලේ’ නාට්‍යයේ විහාරා ටීචර්ගේ චරිතය මට ලැබුණේ එහෙමයි. ‍ අධ්‍යක්ෂවරයාගේ සිට ඉස්කෝලේ කණ්ඩායමේ හැමෝගෙන්ම ලොකු සහායක් ලැබුණා. ‘සිහිනයක් මැවුණා’ ගීතය රූගත කරද්දී ටිකක් දුර ඉඳන් ඩාන්ස් කර කර වෙල දිගේ දුවන් එන්න තියෙනවා. එක තැනක වළක් තිබිලා මං ඒකට වැටුණා. කැමරාවට පේන්නෙ නැතිකොට එයාල බලනවා මං කෝ කියලා. ඒ වගේ සොඳුරු අත්දැකීම් තියෙනවා.


රැකියාව කරන අතරතුර විනෝදාංශයක් විදියට මං කළේ නැටුම්. බාස්කර් ප්‍රකාශ් යටතේ වෙස්ටර්න් ඩාන්සින් ස්ටයිල් හැදෑරුවා. ඊට පස්සේ වෙස්ටර්න් ඩාන්සින්වලදි වැඩිපුරම සම්බන්ධ වුණේ ඔෂාන් එක්ක. විනෝදාංශයක් විදියට ඩාන්සින් කළත් ඉදිරියට ඒ ගැන තවදුරටත් හදාරන්න ඕන. තාත්තගේ නම් වැඩි කැමැත්තක් තිබුණෙ නැහැ මං රංගන ක්ෂේත්‍රයට එනවට. තාත්තට ඕන කළේ මං බැංකු ක්ෂේත්‍රයේ ඉහළටම යනව දකින්න. අම්මා නම් කලා ක්ෂේත්‍රයට ගොඩක් ආසයි. නිතර ප්‍රේක්ෂකයා හා නොගැටුණත් මෙතෙක් කළ චරිතවලින් ඔවුන් මාව හඳුනාගත් බව පැහැදිලියි. ටෙලි ෆිල්ම් කිහිපයකට රංගනයෙන් දායක වෙලා තියෙනවා. ටෙලි ෆිල්ම් එකක් සහ වෙළෙඳ දැන්වීම් දෙකක් ඉදිරියට එන්න තියෙනවා. ආරාධනා ලැබුණත් යම් යම් හේතූන් නිසා තවමත් සිනමාවට සම්බන්ධ වෙන්න බැරි වුණා.”


ස්වාභාවික සුන්දරත්වයක් උපතින්ම හිමි දමිත්‍රි චරිත තෝරා බේරා ගැනීම වගේම පැෂන් කිරීමේදීත් ගොඩක් සැලකිලිමත් වන තරුණියක්.


“මොන චරිතය ලැබුණත් මං මුලින්ම බලන්නේ ඒක මට ගැළපෙනවද කියලා. මගේ පෞද්ගලික ජීවිතේට හානියක් වන කිසිම දෙයක් මං භාර ගන්නේ නැහැ. තිරය ඉදිරියේ කරන කැරැක්ටර් එක වගේම සාමාන්‍ය ජීවිතේ මං මේන්ටේන් කරන කැරැක්ටර් එකක් තියෙනව නේ. ඉතින් ඒ කැරැක්ටර් එකට හානි වන දෙයක් මං කොහොමත් කරන්නෑ. මං මගේ පෞද්ගලික ජීවිතේට ලොකු තැනැක් දෙන කෙනෙක්. පැෂන් කළත් ඒ මට ගැළපෙන විදියට විතරයි.” දමිත්‍රිට හිමි තැන්පත් අහිංසක පෙනුමක්. ඒ නිසා දමිත්‍රිටත් ආදර ඇරයුම්වලින් නම් අඩුවක් නැතුව ඇති.


“මටත් ආදරේ කරන කෙනෙක් ඉන්නවා. එයාගේ නම කේසර. එයා බැංකු ක්ෂේත්‍රයේ. අපි එකට වැඩ කළා. හොඳ යාළුවො වගේ ඉඳලා තමයි ආදරවන්තයින් වුණේ. 2021 සිරස අවුරුදු කුමරා තරගයේ දෙවැනි ස්ථානය දිනුවේ එයා. එයාටත් රංගනයට ඇරයුම් ලැබුණා. ඒත් එයා කැමති වුණේ බැංකු ක්ෂේත්‍රයේම ඉදිරියට යන්න. මං මේ ක්ෂේත්‍රයේ ඉන්නවට එයාගෙ අකැමැත්තක් නෑ. එයා මට මේ ගමන යන්න ලොකු සපෝට් එකක් දෙනවා.”


නාමලී ගමගේ





Previous Post Next Post