මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන තරගවලදී කාගේත් ඇස් යන ක්‍රීඩකයා ඔහුය. ඊට හේතුව ක්‍රීඩාපිටිය තුළදී දකින්නට ලැබෙන ඔහුටම ආවේණික ක්‍රීඩාශීලී ඉරියව්ය. පරාජය වෙන්නට අකැමැති ක්‍රීඩකයෙක් ලෙස නම් දරා ඇති මේ ක්‍රීඩකයා අන්තිම මොහොතේ හෝ උත්සාහ කරන්නේ තම කණ්ඩායම ජයග්‍රහණය කරවීමටය. ඒ නිසාම කවුරුත් ඔහුට කියන්නේ උනන්දුවා කියාය. මේ කියන උනන්දුවා වෙන කවුරුත් නොව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්නය. පසුගියදා අප ඔහුගේ නිවස වෙතට ගොඩවැදුණේ මුළු රටම ආදරේ කරන තම පුතා ගැන චාමිකගේ මවගෙන් අසන්නට. ඇය මිත්‍රා මෙන්ඩිස්.
අම්මට ඉන්නේ එසේ මෙසේ පුත්තු ටිකක් නම් නෙවෙයි නේද?
නිලූක කරුණාරත්න, ඩිලූක කරුණාරත්න, දිනූක කරුණාරත්න වගේම චාමික කරුණාරත්න තමයි මගේ දරුවෝ. ඒ හැමෝම ලංකාවට කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයෝ. ඉතින් ඒ දරුවෝ හතර දෙනාගේ අම්මා විදිහට මං ගොඩාක් සතුටු වෙනවා.
ඒත් දැන් නම් කරළියේ ඉන්නේ අම්මගේ බාල පුතා වෙන චාමික කරුණාරත්න නේද?
ඇත්තටම ඔව්. මේ වෙනකොට එයා ක්‍රිකට්වලින් ගොඩාක් ඉදිරියට ඇවිත් තියෙනවා. චාමික කියන්නේ මගේ පණ. මං එයාව පුංචි කාලේ ඉඳන්ම මැණිකක් රකිනවා වගේ පරිස්සම් කළේ. එහෙම පරිස්සම් කරපු නිසයි එයා අද මේ වගේ තැනකට ඇවිත් ඉන්නේ. ඇත්තටම මට පොඩි පුතා ගැන ගොඩාක් ආඩම්බරයි.
ඔබේ අනෙක් දරුවෝ බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ. එතකොට චාමික විතරක් ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණේ කොහොමද?
චාමික ගියේ කොළඹ රාජකීය විද්‍යාලයට. එයත් ඉස්සර බැඩ්මින්ටන් ගැහුවේ. ඒත් දවසක් ඉස්කෝලේ ක්‍රිකට් ගහන ළමයි තෝරගන්න පුහුණුවක් තිබුණා. ඒකට චාමිකත් ගියා. එක ඕවරයක් ලැබෙනවා ඒ ඕවරේ බැට් කරන්නයි තිබුණේ. මෙයා ඒ වෙනකොට ක්‍රිකට් ගැන කිසිම දෙයක් දන්නේ නෑ. හැබැයි පළවැනි බෝලෙටම හයක් ගහලා. එදා ඉඳන් චාමික ක්‍රිකට් ගහනවා.
එදා එහෙම ක්‍රිකට්වලට ආපු චාමික කවදා හරි ජාතික කණ්ඩායමට තේරෙයි කියලා අම්මට හිතුණද?
ඇත්තටම හිතුවේ නෑ. පාසල් මට්ටමෙන් ඉහළට යයි කියලා විතරයි හිතුවේ. ඒත් එයාගේ කැපකිරීම් හින්දා චාමික හරිම ඉක්මනට ජාතික කණ්ඩායමට තේරුණා.
පසුගිය ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රහණයට චාමිකත් ලොකු සහායක් දුන්නා. එයා ගෙදර ආපු ගමන් අම්මට කිව්වේ මොනවද?
ලොකුවට දෙයක් නොකිව්වත් ඇත්තටම ඒ ජයග්‍රහණය ගැන එයා ලොකු සතුටකින් හිටියේ. එයාගේ මූණෙන් මං ඒ සතුට දැක්කා. තාමත් ඒ සතුට එයාගේ මූණේ තියෙනවා.
පුතා පරාජය භාරගන්න එහෙම පොඩ්ඩක්වත් කැමැති නැති කෙනෙක් වගේ නේද?
එයා විතරක් නෙවෙයි මමත් පරදිනවට ආස නෑ. මොකද ජය පරාජය දෙකම විඳ දරාගන්න ඕන කිව්වට මගේ හිතේ තියෙන්නේ ජයම විතරයි. ඇත්තටම මට පරදිනවා දරාගන්න බෑ. ඔන්න ඔය ආරේ තමයි පොඩි පුතාටත් ඇවිත් තියෙන්නේ. එයත් පරදින්න ආස නෑ. අන්තිම මොහොතේ හරි එයාට ඕන දිනන්න.
ක්‍රීඩා පිටිය තුළදි චාමිකගෙන් අපි ඔහුටම ආවේණික ක්‍රීඩා විලාසයක් දකිනවා. ඒ ගැන කිව්වොත්?
ඒක තමයි එයාගේ ශක්තිය උනන්දුව, ධෛර්යය සහ ජවය. ඒක මගේ දරුවෝ හැමෝටම තියෙන දෙයක්. මං පොඩි කාලේ ඉඳන්ම එයාලට කියලා තියෙන්නේ ඔයාලා අනාගතේ මොන විදිහක ජයග්‍රහණයක් ගත්තත් ඒක ඔයාලට ඕන හැටියකට සමරන්න කියලා. ඒ වගේම මං චාමිකට නිතරම කියන දෙයක් තමයි “පුතේ ඔයාගේ කකුලක් කැඩුණත් තනි කකුලෙන් හරි ගහලා මැච් එක දිනවන්න” කියලා.
චාමික ගෙදරදි මොන වගේ කෙනෙක්ද?
ගෙදර ඉන්නේ මමයි, චාමිකයි, එයාගේ තාත්තයි විතරයි. කොළඹ පැපිලියානේ ඉන්නේ. ගෙදරදි පුතා පාඩුවේ ඉන්න කෙනෙක්. එයාට බල්ලෝ දෙන්නෙක් ඉන්නවා. ගොඩාක් වෙලාවට ඒ දෙන්න එක්ක සෙල්ලම් කරන එක තමයි පුතා කරන්නේ.
මේ වෙනකොට අපේ රටේ තරුණියන්ගෙන් චාමිකට තියෙන්නේ නම් එසේ මෙසේ ආකර්ෂණයක් නෙවෙයි නේද?
ඒක නම් ඇත්ත. මමත් දකිනවා චාමිකට ගෑනු ළමයි හරි ආදරෙයි කියලා. ඔය ෆේස්බුක් එකේ එහෙම චාමික ගැන ගොඩාක් දේවල් මං දකිනවා. මං හිතන්නේ ඒ තරම් ආකර්ෂණයක් ආදරයක් ලබාගන්න ලේසි නෑ. මගේ පුතා ඒ අතින් නම් හරිම වාසනාවන්තයි.
චාමික පින් අතේ වැඩවලටත් හරිම උනන්දුයි නේද?
ඔව්. එයා එයාගේ වියදමින් බලපිටියේ රාහුලාරාමයේ ලොකු දාන ශාලාවක් හැදුවා. ඒත් ඒක විවෘත කරපු දවසේ එයාට මැච් එකක් වැටුණු නිසා එන්න බැරිවුණා. එදා චාමික “මං කරපු දේ මට බලාගන්න බැරිවුණානේ” කියලා පුදුම විදිහට ඇඬුවා.
චාමික මුලින්ම ටැටූ එකක් ගහහෙන ගෙදර ආපු දවස අම්මට මතකයිද?
මොකද අමතක… එදා එයාට චාමිකගේ තාත්තයි, අයියලා ටිකයි එකතුවෙලා හොඳටම බැන්නා. හැබැයි මං නම් මුකුත් කියන්න ගියේ නෑ.
චාමිකගේ අම්මා විදිහට ඔහුගේ ක්‍රිකට් ජීවිතයේ දකින්න කැමැතිම හීනයක් තියෙනවද?
මං ආසම එයා හයේ පාරවල් ගහනවා බලන්න. එයා බෝල් කරලා විකට් එකක් ගන්නවටත් වඩා මං චාමික හයේ ඒවා ගහනවා බලන්න ආසයි. එයා බැට් කරන වෙලාවට ටීවී එක දිහා බලාගෙන වැඳගෙන ඉන්නේ හයක් වැදෙන්න හයක් වැදෙන්න කියලා. ඒ තරම් පුතාගේ හයේ පාරවල් බලන්න මං පුදුම ආසයි.
රුවන් එස්.සෙනවිරත්න